ලංකා ඉතිහාසයේ පළමු වතාවට අගමැති උසාවි ගෙනයයි

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට භික්ෂුන් වහන්සේ අගමැතිවරයකුට එරෙහිව නඩු පැවැරීමට සූදානම් වෙති. ජාතික හෙළ උරුමය මඟින් මෙලෙස අගමැති දි. මු. ජයරත්න මහතාට එරෙහිව නඩු පැවැරීමට තීරණය කර ඇත්තේ අගමැතිවරයා සමස්ත සංඝරත්නයට අපහාස කිරීමට එරෙහිවය.

මත්කුඩු කන්ටේනරයක් මෙරටට ගෙන්වීමත්, එය රේගුවෙන් නිදහස් කර ගැනීමට අගමැති සම්බන්ධීකරණ ලේකම්වරයකු ලිපියක් නිකුත් කිරීමත් යන සිද්ධිවලට අදාළව අගමැති දි. මු. ජයරත්න මහතා හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ට ‘චීවරධාරියා’ යනුවෙන් පැවැසීමෙන් සංඝරත්නයට අපහාසයක් වීම නිසා වහාම අගමැතිවරයා සමාව ගත යුතු යැයි හෙළ උරුමය මීට පෙර පවසා තිබිණි.

සති දෙකක් ඇතුළත මෙලෙස අගමැතිවරයා සංඝරත්නයෙන් සමාව ගත යුතුයැයි ප්‍රකාශයට පත්කර තිබූ අතර එම සති දෙකේ කාලසීමාව පසුගිය සතියෙන් අවසන් විය.
ජාතික හෙළ උරුමයේ ඉහළ පෙළේ ප්‍රකාශකයකු සඳහන් කෙළේ ඒ සම්බන්ධයෙන් කඩිනමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නීතිඥ අංශවලට උපදෙස් දී ඇති බවයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා නම්‍යශීලී බුද්ධිමත් ධර්මානුකූල වැඩපිළිවෙළකට සූදානම් නොමැති බව පෙනීගොස් ඇති හෙයින් අගමැතිවරයාට විරුද්ධව නීතිමය පියවර ගැනීම පිළිබඳ හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් නීති අංශ සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවද ‘මව්බිම’ට දැනගන්නට තිබේ.
අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව මෙලෙස නඩු පැවරීම පිළිබඳ ලබන සතියේ පුවත්පත් සාකච්ඡාවක් මාර්ගයෙන් හෙළි කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

mawbima
ප්‍රේමලාල් විජේරත්න

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...