විශ්වකර්මයා ඇවිත් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා යළි නැගිටුවන්න උත්සාහ කළත් තමන් ඊට ඉඩ නොදෙන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (01 දා) එම පක්‍ෂයේ මැයි දින රැලියේදී ප්‍රකාශ කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ මැයි දින රැලිය නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
රාජගිරිය එන්. එම්. පෙරේරා පිළිරුව අභියසින් පස්‌වරු 2.00 ට ඇරැඹි ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ මැයි දින පෙළපාලියේ මහා සංඝරත්නය පෙරටු කර ගනිමින් පක්‍ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නියෝජ්‍ය ලේකම් අනෝමා ෆොන්සේකා මහත්මිය ආසන සංවිධායකවරු ඇතුළු පිරිස නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය වෙත පැමිණියහ.
ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ ජාතික සංවිධායක කපිතාන් ගයාන් විතානගේ මහතා විසින් පිළිගැනීමේ කතාව සිදු කරමින් මැයි දින රැලිය ආරම්භ කෙරිණි. අභිමානවත් ලක් දියණියෝ සභාපතිනි, ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නියෝජ්‍ය ලේකම් අනෝමා ෆොන්සේකා මහත්මිය මැයි රැලියේදී මෙසේ කීවාය.
අද තියෙන්නේ අඩු පාඩු සහිත යහපාලනයක්. යහපාලන ගමනේදී මෛතීS්‍රපාල සිරිසේන මහතා පත්කර ගන්න අපි විශාල දායකත්වයක් දැක්‌වූවා. අපේ ඊළඟ ඉලක්‌කය පාර්ලිමේන්තු නියෝජනයයි. කම්කරුවන් වෙනුවෙන් හඬ නගන නියෝජනයක් පාර්ලිමේන්තුවේ නෑ. ඒ සඳහා ශක්‌තියක් අපට අවශ්‍යයි.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා – කම්කරුවන් අපි දකින්නේ මේ ලොව ගොඩනගපු අය විදියටයි. කම්කරුවාගේ කැපවීම, දුක් ගැහැට නොවන්නට අද අපි ජීවත්වන තත්ත්වයට ළඟා වන්න අපහසුයි. පාලක පන්තිය කම්කරු දින සැමරුවාට කම්කරුවාගේ ජීවිතයට වටිනාකමක් ලබාදෙන්නේ නෑ. රටේ භාරකරුවන් වන්නට සූදානම් වන අප පක්‍ෂයේ වගකීම කම්කරුවාගේ වටිනාකම තේරුම් ගැනීමයි. රට අද දුප්පතුන්ගෙන් පිරිලා. මධ්‍යම පන්තියක් නෑ. ඔවුන් වෙනුවෙන් තමයි අපේ පක්‍ෂය ගොඩනැගුවේ. අපේ පක්‍ෂය ගැන අද රටේ ජනතාව දන්නවා. ජනාධිපතිවරණයේදී අපි විශාල භූමිකාවක් ඉටු කළා. අපේ ලක්‍ෂ හතක ඡන්ද ප්‍රමාණය සමගයි අපි මෛත්‍රීපාල සිරිසේන මහතාට උදව් කළේ.
අපේ ඒ කැපවීම නොවන්නට රට අද මේ තත්ත්වයේ තියෙන්නේ නෑ. අපි මේ රටට විශාල ප්‍රතිලාභයක් ලබා දුන්නා. දූෂිත පාලකයා සමග අපි සටනට බැස්‌සේ 2010 වසරේ ඉඳලයි. මගේ දේශපාලන ජීවිතයේ සියයට විසිපහක කාලයක් හිරබත් කෑවා. ඒකට මම උතුමාණන්ට ස්‌තූතිවන්ත වෙනවා. අපි උතුමාණන් ඉදිරියේ දණ ගැහුවේ නෑ.
අක්‌කර සීයක් දෙන්නම්, නැතිවූ දේ පැය විසිහතරෙන් දෙන්නම් කියා ජනාධිපතිවරණ කාලෙදී උතුමාණෝ රාවණා බලය හරහා මට පණිවුඩ එව්වා. මම මේ ආණ්‌ඩුවෙන් ප්‍රතිලාභ ගත්තෙත් නෑ. ෆීල්ඩ් මාර්ෂල් ධුරය ලැබුණත් අදටත් මම ජෙනරාල් ධුරයට හිමි විශ්‍රාම වැටුපෙන් ජීවත් වෙන්නේ.
ඉදිරි මහා මැතිවරණයේදී අපි මේ රටේ අලුත් ශක්‌තියක් බලවේගයක් ඇති කරලා රට නව මාවතකට ගෙනියනවා. එදා අපිට කළ දේ අද රාජපක්‍ෂලාට පලදීලා. අද ජනතාව ඉදිරියට එන්න රාජපක්‍ෂලාට බැරිවෙලා. හොරෙන් පෙළපාලි බලනවා. හොරකම් කළා නම් පාලකයා නොවේ පාලකයාගේ අප්පච්චි වුණත් පොලිසියට යා යුතුයි. උසාවි යා යුතුයි.
අද ජනතාව පහසුවෙන් ජීවත්වෙනවා. බය නැතිව ජීවත් වෙනවා. රාජපක්‍ෂලාගේ සෙවනැලිවලට තවමත් අත වන වනා ඉන්නා අයට ඒ අය යන තැනටම යන්න පුළුවන් කියා අපි කියනවා. ජනාධිපතිවරණ වේදිකාවේදී අපි පොරොන්දු වූ දේවලින් සියයට පහක්‌වත් තවම ඉෂ්ට කරලා නෑ, රට පාලනය කරන ප්‍රබල පක්‍ෂ දෙකේ තවම දාමරිකයෝ දූෂිතයෝ ඉන්නවා. මැරුණු ගසට වතුර දමා එය නැගිටුවන්න ඇතමුන් උත්සාහ කරනවා. මොන විශ්වකර්මයා ආවත් එයට ඉඩ දෙන්නේ නෑ. දැන් කතා කරන කටින් සමන්මල් සුවඳ ආවට අපි ඔහු කවුද කියා හඳුනනවා.
හිරෙන් එළියට ඇවිත් මම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා මහින්ද රාජපක්‍ෂව 2015 දී ගෙදර යවනවා කියලා. මම කිව්වොත් යමක් කරලා පෙන්වනවා. අතීතයේදීත් එහෙමයි. වර්තමානයේදීත් එහෙමයි.
අපිට විශ්වාසයි මේ රට වෙනස් කළ හැකියි. ජනතාව ඉදිරියේ දේශපාලකයා දණ නමන ජනතාවගේ රජයක් ගෙන එන්න තව අවුරුදු හතර පහක් ඇතුළතදී සිදු කරන බව පොරොන්දු වෙනවා. ඉදිරි මැතිවරණයේදී අපි තනිව තරග කරනවා. අපි පසුගිය කාලේ ඉවසීමෙන් බලා සිටියා. අපිට විශ්වාසයි ජනතාව අපිට ආශීර්වාද කරන බව.