වසර තුනක් කල් ඉකුත් වූ පලතුරු යුෂ මහා පරිමාණයෙන් පාසල් දරුවන්ට බීම පැකට් නිෂ්පාදනය කිරීම සඳහා බෙදාහැරීම් කළ බියගම මධ්‍යස්‌ථානයක් වටලා බැරල් 193 ක් සමඟ සැකකරුවන් දෙදෙනකු පෑලියගොඩ පොලිසියේ නොවිසඳුණු අපරාධ අංශයේ නිලධාරීන් කණ්‌ඩායමක් විසින් ඉකුත්දා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් බියගම පාරේ පෙතියාගොඩ බහලු අංගනයක් පවත්වාගෙන යමින් මෙම ජාවාරම සිදුකර ඇති බවට ද තොරතුරු හෙලිවී ඇත.
අත්අඩංගුවට ගත් එම පලතුරු යුෂ 2011 ජුලි 15 වැනිදා කල් ඉකුත් වී ඇති අතර එක් බැරලයක පලතුරු යුෂ කිලෝ 215 ක් අඩංගු වන අතර එවැනි පලතුරු යුෂ සහිත අඹ යුෂ බැරල් 43 ක්, සුදු පේර බැරල් 57 ක්, චෙරිබෙරි බැරල් 16 ක්, රතු මිදි බැරල් 15 ක් සහ දොඩම් යුෂ බැරල් 52 ක් පොලිස් භාරයට ගෙන තිබේ.
කල් ඉකුත් වූ යුෂ බැරලයක් සැකකරුවන් රුපියල් 3000 ක මුදලකට අලෙවි කරන බවට පොලිසියට ලද තොරතුරක් මත පලතුරු බැරල් මිලදී ගැනීමට යන බීම පැකට් වෙළෙඳුන් ලෙස ගිය නිලධාරීන් විසින් මෙම ස්‌ථානය වටලා ඇත.
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී පොලිස් භාරයට ගත් බැරල් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මෙම ස්‌ථානයේ තිබී ඇති බවත් ඒවා බීම පැකට් නිපදවීම සඳහා විවිධ පුද්ගලයන්ට අලෙවි කර ඇති බවත් හෙළි වී තිබේ. මෙම පුද්ගලයන්ට කල් ඉකුත් වූ පලතුරු බැරල් මෙරට කිරිපිටි අලෙවි කරන ප්‍රධාන ආයතනයකින් ලබා දී ඇති බව හෙළිකරගෙන තිබෙන අතර එම ආයතනයට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටී.