ජීවත් වෙන්න මරු කටට පනින ගාලු කොටුවේ “ජම්ප්” කාරයෝ

ගාලු කොටුව පිරෙන්නට සෙනඟය. එක සීරුවට කඩා හැලෙන ගිනියම් හිරු ඒ සෙනඟ දවන්නේය. එහෙත් හිරුට අභියෝග කරන මිනිස්‌සු ගාලු කොටු බැම්ම දිගේ ඇවිද යමින් අවට මුහුදේ සිරි නරඹන්නාහ. පෞරාණික කොටු පවුරේ නටඹුන් නරඹන්නාහ. පුංචි ළමයි දුව පැන සෙල්ලම් කරන්නාහ. සති අන්ත ඉරු දිනයේ ගාලු කොටුවට එක්‌රැස්‌ වූ දෙස්‌-විදෙස්‌ හැම කෙනෙක්‌ම සිත පුරා සතුටු වන්නාහ.

ඒ සතුටු සාගරයේ කිමිදෙමින් ජීවිතය සොයන තරුණයන් තිදෙනකුව ගාලු කොටුව රැම්පාට්‌ වීදියේදී අපට හමු විය. ඔවුන් ‘පිම්ම’ ජීවිතය කරගත් තරුණයන්ය. ලොවම අගයන අපට අගය නැති මේ කණ්‌ඩායමට තරුණයන් පස්‌ දෙනෙකි. ඔවුන්ගේ ජීවන වෘත්තිය වී ඇත්තේ ගාලු කොටුවේ දෙවැනි උසම තැනින් එනම් අඩි හතළිස්‌ අටක්‌ පමණ උසක සිට මුහුදට පැනීමය. ‘පිම්ම’ හරි ගියොත් සල්ලිය. පොඩ්ඩ වැරදුනොත් ජීවිතේ කුඩුය. ජීවන පිම්ම අතිශය අවධානම්ය.

එක්‌ තරුණයකු කොටු බැම්ම මත සිට පිම්මක්‌ පැනීමට ලංසුවක්‌ තබමින් විදේශිකයන් කිහිපදෙනකුට ‘ඇල්බමයක්‌’ පෙන්වමින් සිටියි. තවත් තරුණයන් දෙදෙනකු කොටු බැම්මට පහළ කොට්‌ටන් ගස යට තම තමන්ගේ වාරය එන තෙක්‌ බලා සිටිති.

වයසින් සේම කණ්‌ඩායමේ පළමුවැනියාද අනුරය. උප්පැන්න සහතිකයේ නම අනුර වුවද ඔහුව කවුරුත් හඳුනන්නේ ‘රේඩ්’ නමිනි. අනුරලාගේ කණ්‌ඩායමට පස්‌ දෙනෙක්‌ වුවද අද නම් සිටින්නේ තිදෙනෙක්‌ පමණි. අනුර හැර අනෙක්‌ දෙදෙනා අසංක සහ බුද්ධිකය. කොටු බැම්ම මත පිම්මකට ලංසු අල්ලන්නේ අසංකය. ඔවුන් රැකියාවට පැමිණි පිළිවෙළ මත පිම්ම තීරණය වේ. පාන්දර හත වන විට මෙතැනට පැමිණි අනුර දැනට එක්‌ පිම්මක්‌ පැන සිටියි. දැන් දහවල් දොළහ පසු වෙමින් තිබේ. එහෙත් අනෙත් දෙදෙනාටම තවමත් පිම්මක්‌ පැන ගැනීමට නොහැකිව ඇත.

“පැන්නොත් සල්ලි. නැත්නම් බඩගින්නේ. ඉස්‌සර නම් අපිට පැන ගන්න බැරි තරමට බිස්‌නස්‌. දැන් එහෙම නැහැ. දැන් කොටුවට එන මිනිස්‌සු හදන්නේ නිකම් ජම්ප් බලන්නයි” අනුර කතාවට මුල පුරමින් එසේ කීවේය.

එක්‌ පිම්මක ලංසුව විදේශීය සංචාරකයන්ට ඩොලර් 20 කි. දේශීය නරඹන්නන්ගෙන් රුපියල් 2000 කි. එක පිම්මකට එපමණ මුදලක්‌ අය කරනවා යෑයි කියූ විට මේ තරුණයන්ට දවසකට හොඳ ආදායමක්‌ ලැබෙනවා ඇතැයි කියා යමෙකුට සිතේ. එහෙත් එය එසේ නොවේ. ඇතැම් දිනවල උදේ සිට ගාලු කොටුවේ වේලි වේලී සිට පිම්මක්‌ පැනීමට ලංසුවක්‌ නොමැතිව හිස්‌ අතින්ම ගෙදර යන්නේය. අප අසළ සිටින තරුණයන් තිදෙනාගෙන් දෙදෙනෙක්‌ම විවාහ වී දරුමල්ලන් ද සිටිති. අනුරට දුවකු සහ පුතෙක්‌ද සිටිති. අසංකට පුංචි පුතෙක්‌ සිටින්නේය. ඔව්හු තම පවුල් ජීවත් කරවන්නේ ‘පිම්මෙන්’ ලැබෙන ආදායමෙනි.

“අපේ ගෙවල්වල උදවිය මේ ජොබ් එකට කැමති නැහැ. ‘මේ දරුවෝ දෙන්නා ගැනවත් හිතලා වෙන ජොබ් එකක්‌ හොයා ගනිං බං’ අපේ අම්මා හැමදාම මතුරන මන්තරය ඕක තමයි. ඒත් අපි මොනව කරන්නද? ඉස්‌කෝලවල ගිහිල්ලා විභාග පාස්‌ කරලා නැහැ. ඒත් අපිට ඉංග්‍රීසී, ප්‍රංශ, දෙමළ භාෂා හොඳට කතා කරන්න පුළුවන්. එහෙම හරි කතා කරන්න පුරුදු වුණේ පොඩි කාලේ ඉඳලා මෙතැනට ආපු නිසයි.

අපිත් කැමතියි හොඳ ජොබ් එකක්‌ කරලා ස්‌ථිර පඩියක්‌ අරගෙන ජීවත් වෙන්න. ඒත් විභාග පාස්‌ කරන්නේ නැතුව අපිට කවුරුවත් ජොබ් දෙන්නේ නැහැ. අනිත් එක අපි මේ විදිහට කොණ්‌ඩ වවාගෙන පාට කරලා ඉන්න නිසා අපේ මිනිස්‌සු අපි දිහා බලන්නේ ගංජ උරන රස්‌තියාදුකාරයෝ වගෙයි. කනට කරාබුq දලා, පච්ච කොටලා ‘රස්‌ත බොයිස්‌’ ලා වගෙ හිටියේ නැත්නම් ‘ගෙස්‌ට්‌ලා’ අපි දිහා බලන්නේ නැහැ. විදේශිකයෝ කැමති අපි මේ විදිහට ඉන්නකොට. ඉස්‌සර අපිට වැඩියෙන්ම බිස්‌නස්‌ තිබුණේ සුද්දන්ගෙන්. ඉතිං අපි ඒ අයට ඕනා විදිහට වෙනස්‌ වුණා” අනුරගේ කතාවට බුද්ධික එසේ අඩු වැඩි එකතු කළේය.

ගාලු කොටුවේ රැම්පාට්‌ වීදිය කෙළවරේ කොටු බැම්ම මුල්ලක කරන මේ සෙල්ලම බලන්න ගාලු කොටුවට එන සෑම කෙනෙක්‌ම කැමතිය. මන්ද දියමත කරණම් ගහන ක්‍රීඩාව ලෝකයේ සෑම රටකම පාහේ තිබෙන බව සැබෑය. එහෙත් මේ අපූරු මිස්‌මිත මුහුදු පිම්ම ලෝකයේ වෙන කිසිම රටකදී නැරඹීමට නොහැකිය. එමෙන්ම අඩි හතළිස්‌ අටක්‌ වැනි උසක සිට අඩි 3-4 ක්‌ පමණ ගැඹුරැති වතුරකට පනින්නේ අපේ ගාල්ලේ තරුණයන්ම පමණි.

“අපේ පිම්ම බලලා සුද්දොa පිස්‌සු වැටෙනවා. ඕනෑම රටක ‘ජම්ප්’ කරන ක්‍රීඩකයෝ පනින්නේ පූල් එකක වැඩි ජඹුරකට. ඒ වගේම ඒ ක්‍රීඩයෝ වතුරට ‘ලෑන්ඩ්’ කරන්නේ ඔළුව යටට ඉන්න. ඒත් අපි පනින්නේ අඩි 3-4 ක්‌ ගැඹුරකට. එතකොට ඔළුව යටට ඉන්න ලෑන්ඩ් කළොත් අපිව එකතු කරන්නේ වෙන්න සවලකින් තමයි. ඒ නිසා අපි දිය මතට ලෑන්ඩ් කරන්නේ මුළු සිරුරම දිය මත ඉන්න විදිහට. අඩි දහයක්‌ විතර වතුර තියෙනවා නම් අපිට පුළුවන් ඕනෑම උසක ඉඳලා පනින්න. අපිට පුහුණුකරුවෝ නැහැ. පුංචි කාලේ ඉඳලා ගලින් ගලට පැනලා, ටිකෙන් ටික වතුරට පැනලා තමයි මෙහෙම ‘ජම්ප්’ කරන්න පුරුදු වුණේ. දැන් නම් ගිනි තියාගෙන වුණත් මුහුදට පනින්න පුළුවන්. ඒත් අපේ දක්‍ෂතා අපේ රටට වටින්නේ නැහැ. නමුත් අපේ ‘ජම්ප්’ බලන්නම සමහර සුද්දෝ ලංකාවට එනවා. ඇවිත් උන් කියනවා මීට වඩා උස ‘ජම්ප්’ බලලා තියෙනවා. ඒත් මෙච්චර අඩු වතුරකට පනිනවා දැකලා නැහැ කියලා”

මේ ළඟකදී මාව හොයාගෙන ‘පාටියක්‌’ ආවා. ඇමරිකන් සුද්දෝ පස්‌ දෙනෙක්‌. ඇවිත් මගෙන් ඇහුවා ජම්ප් එකකට කීයක්‌ ගන්නවද කියලා. මම කිව්වා ඩොලර් 20 ක්‌ දෙන්න කියලා. උන් ඒ ගානට කැමති වෙලා මට ජම්ප් එක දාන්න කිව්වා. ජම්ප් එක දානවා වීඩියෝ කරන්න හොඳ කැමරා දෙකක්‌ ගෙනත් තිබුණා. මම ජම්ප් එක දාන්න සූදානම් වෙන තැන ඉඳලා සම්පූර්ණ ජම්ප් එක වීඩියෝ කර ගත්තා. වැඩේ ඉවර වුණාට පස්‌සේ සුද්දන්ට පට්‌ට සැටිස්‌. මගේ අතට ඩොලර් 25 ක්‌ දීලා ආයිත් යන්න ඉස්‌සෙල්ලා උඹව හම්බෙන්නෙ එනවා කියලා ‘පාටිය’ ගියා. ඒත් උන් ආවේ නැහැ. පස්‌සෙ දවසක ඒ ‘පාටියත්’ එක්‌ක ඇවිත් හිටපු ගයිඩ් මාව හොයාගෙන ආවා. ඇවිත් මට බැන්නා උඹට තිබුණු හොඳම චාන්ස්‌ එක නැති කර ගත්තා කියලා. මම ඇහුවා ඇයි එහෙම කියන්නේ කියලා. එතකොට එයා කිව්වා උඹ ‘ජම්ප්’ එක දාන්න හදනකොට මම ඇහෙන් කීප වතාවක්‌ම එපා.. එපා.. කියලා කිව්වා. ඒත් උඹ ඒක තේරුම් ගත්තේ නැහැ කිව්වා.

එදා ඒ සුද්දොa මගේ ‘ජම්ප්’ එක අරගෙන ගිහින් තියෙන්නේ ‘ෆිල්ම්’ එකකට. ඒ ‘ෆිල්ම්’ එකේ ඩිරෙක්‌ටත් ඇවිත් තිබුණා. ඒ සුද්දෝ කතා කරගෙන ඇවිත් තියෙන්නේ මාව ඇමරිකාවට ගෙනිහින් ජම්ප් එක දමන්න. එදා මට කියලා ‘ජම්ප්’ එක දම්මගෙන තියෙන්නෙ උන්ට බලන්න. ඒත් මගේ කරුමෙට එදා දාපු ‘ජම්ප්’ එක නියමෙටම සෙට්‌ වෙලා. ඒ ‘ෆිල්ම්’ එකේ ප්‍රධාන නළුවත් මම වගේලු. දැන් මගේ ‘ජම්ප්’ එක ‘ෆිල්ම්’ එකේ ප්‍රධාන නළුවා පනින විදිහට ෆිල්ම් එකට සෙට්‌ කරයි. දැන් මට තියෙන්නේ ඒ ෆිල්ම් එක බලලා සතුටු වෙන්න විතරයි. මගේ කරුමෙට ඇමරිකාවට යන්න තිබුණ චාන්ස්‌ එකත් මිස්‌ වෙලා ගියා. ඔය වගේ දෙවල් අපිට ගොඩක්‌ මිස්‌ වෙලා තියෙනවා” අසංක නැවත අප අසළින් ඈත් වී කොටු බැම්මට නැග්ගේය.

“මහත්තයෝ පනින එකක්‌ බලමුද” පිම්මක්‌ පැනීමට කූරුමානක්‌ අල්ලමින් අසංක දේශීය නරඹන්නන් පිරිසකගෙන් එසේ ඇසුවේය.

“වතුර අඩු නැද්ද”

නරඹන්නගෙන් අසංකට පැනයකි.

“ප්‍රශ්නයක්‌ නැහැ මහත්තයෝ අපිට මේ වතුර ටික හොඳටම ඇති…”

අංසක පිළිතුරු බැන්දේය. එහෙත් පිම්මට අය කරන ගාන වැඩියි කියා නරඹන්නන් අසංකගෙන් සමුගෙන පහළට බැස්‌සේය. ඒ පිම්මත් බොඳ වුණු අංසක නැවත අප අසළට ආවේය. අනුර නැවතත් චතුර ලෙස කතා කතා කරමින් සිටින්නේය.

“අපේ රටේ වගේම වෙනත් රටවල ප්‍රභූවරුත් මෙතැනට ඇවිත් අපේ ‘ජම්ප්’ බලලා පුදුම වෙලා තියෙනවා. චීනේ ආරක්‍ෂක හමුදාවේ ප්‍රධානියා ඇවිත් තියෙනවා. මාලදිවයිනේ ජනාධිපති ඇවිත් තියෙනවා. ලංකාවේ පොලිස්‌පතිතුමා ඇතුළු මුළු පවුල්ම අපේ ජම්ප් බලලා සතුටු වුණා. නාමල් රාජපක්‍ෂ ඇතුළු අපේ රටේ ගොඩක්‌ දේශපාලනඥයෝ ඇවිත් ‘ජම්ප්’ බලලා අපේ විස්‌තරත් අරගෙන ගියා. කරුණා අම්මාන් ගාල්ලට ආපු පළමු වතාවේම අපේ ‘ජම්ප්’ එකක්‌ බැලුවා. එයා පුදුමෙන් වගේ බලාගෙන ඉඳලා කිව්වා අපේ රටේ මෙච්චර දක්‍ෂයෝ ඉන්නවාද කියලා. ඒත් තවමත් අපි මෙතැනමයි.

සමහර අය අපේ ‘ජම්ප්’ ෆොටෝ ගහලා, වීඩියෝ කරගෙන ගිහින් ‘වෙබ් සයිට්‌’වල සඟරාවලට ලක්‍ෂ ගණන්වලට විකුණනවා. ඒ සඟරාවල, වෙබ් සයිට්‌වල අපේ විස්‌තර, ෆොටෝ පළ වෙලත් තියෙනවා. අපි ඒවා බලලා සතුටු වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක්‌ නැහැ. මේ අපි ලබා උපන් හැටි.

මම මෙතැන ‘ජම්ප්’ දාන්න පටන් ගත්තේ 1998 අවුරුද්දේ. දැන් අවුරුදු දහතුනක්‌ විතර වෙනවා. මට දැන් අවුරුදු 33 යි. ගාලු කොටුව වයසට ගියේ නැති වුණාට අපි දවසින් දවස වයසට යනවා. ඒ නිසා මේ රස්‌සාව හැමදාම කරන්න බැහැ. තරුණ ජවය තියෙනකම් මිනිස්‌සු අපේ ‘ජම්ප්’ බලයි. වයසට ගියාට පස්‌සේ නිකමටවත් අපේ දිහා බලන එකක්‌ නැහැ. ඒක තමයි ඇත්ත. දැන් අපිට ඕනා අපේ දක්‍ෂතා පෙන්වලා කාගෙන් හරි උදව්වක්‌ අරගෙන අපේ අනාගතය හදාගන්නයි.

“අනුර ‘ජම්ප්’ එක දලා පැය දෙකකටත් වැඩියි. ඊළට ඉන්නේ මම. ඒත් තවම ‘ජම්ප්’ එකක්‌ දාගන්න බැරි වුණා. තව කෙනෙක්‌ මට පස්‌සෙත් ඉන්නවා. මේ ‘ඇල්බමය’ සුද්දන්ට පෙන්න පෙන්න කතා කරනවා. උන් ඇල්බමය බලලා අහනවා රුපියල් 500 ක්‌ දෙන්න ‘ජම්ප්’ එකක්‌ දාන්න බැරිද කියලා. දැන් සුද්දෝ වියදම් කරන්නේ කිරලා මැනලා” ඔවුන්ගේ දක්‍ෂතා පෙන්වන පින්තූර එකතුවක්‌ අසංක මගේ අතට දිගු කළේය.

“දැන් එන සුද්දෝ හොඳයි කම්මැලිකමට කතා කරන්න. නැතුව මුන්ගෙන් නම් ඇති වැඩක්‌ නැහැ. සමහර සුද්දියන්ගෙන් ‘ජම්ප්’ එකක්‌ බලමුද කියලා ඇහුවම උන් අහනවා නිකං පෙන්වන්න බැරිද කියලා. ඒ වේලාවට කටට හොඳ කතා එනවා. මෙතැන ජොබ් එක කරන්න ඕනා නිසා හිනා වෙලා නිකම් ඉන්නවා. සමහර සුද්දොa දවල්ට කන්නේ නැතුව හවසට චූන් පාන් කරත්තේ එනකම් අර පඩිය උඩට වෙලා බලාගෙන ඉන්නවා. එහෙම ඉඳලා රෝස්‌ පාන් ගෙඩියක්‌ අරගෙන කඩෙන් ලූනු ගෙඩියක්‌ අරගෙන කනවා. ඉතිං අපිට හිනා… අර පේන පුංචි කඩේ උදේට අපිට කන්න ඉඩ නැහැ. තනිකරම කන්නේ සුද්දොa. කන්නේම පානුයි පරිප්පුයි. දවල්ටත් එහෙමයි. මේ වගේ සුද්දෝ ලංකාවට එලෝ කෝටියක්‌ ආවත් වැඩක්‌ නැහැ. මුං තනිකරම හිඟන සුද්දොa. දැන් සුද්දන්ට වඩා අපේ රටේ මිනිස්‌සු හොඳට කනවා බොනවා. විනෝද වෙනවා.

දැන් ලංකාවට එන ගොඩක්‌ම විදේශීය සංචාරකයෝ ඒ රටවල කුලී වැඩ කරන මිනිස්‌සු. පාර අතුගාන, ටොයිලට්‌ හෝදන අය. උන්ට හිතේ හැටියට වියදම් කරන්න සල්ලි නැහැ. යන්තමට ශේප් වෙලා සීත කාලේ ඉවර වුණාට පස්‌සේ යනවා. ඒ මිනිස්‌සුන්ට එහෙම හරි රට සවාරියක්‌ යන්න පුළුවන්. අපේ රටේ කීයෙන් කීදෙනාට ද රට සවාරියක්‌ යන්න පුළුවන්. අපේ සල්ලිවල වටිනාකමකුත් නැහැ. මිනිස්‌සුන්ගේ දක්‍ෂතාවලට වටිනාකමකුත් නැහැ. ඕවා කතා කරනකොට අව්වට කරවෙලා තියෙන ඔලුව ගිනි ගන්න එනවා. කතා කරලා වැඩක්‌ නැහැ… අපි හැමදාම අහසින් වැටෙන මිනිස්‌සු විතරයි…

ලෝකයට අභියෝග කළ හැකි දක්‍ෂයෝ ඕනෑතරම් අපේ රටේ සිටිති. එහෙත් ඒ දක්‍ෂයන්ව නිවැරදිව හඳුනාගෙන ලෝකය ඉදිරියට ගෙන යැමට අපේ රටේ දක්‌ෂ නිලධාරීන් නැත. දක්‍ෂතාවයට නිසි තැන දෙන ආයතන නැත. කතා කර වැඩක්‌ නැත. ඒ මේ රටේ කරුමයයි.

තරංග රත්නවීර

1009944_657261740987082_991177383_n

1604646_657261907653732_1311327458_n

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...