17.1 C
London
Thursday, November 13, 2025
spot_img

ගාල්ලේ නායකයා ගයන්ත

ගාල්ල – ලලිත් රුහුණගේ සහ කේ.ඒ.එස්. කුමාර හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්

ගාල්ල දිස්ත්‍රික්කයේ ඉන්න එකම එජාප මන්ත්‍රිවරයා මෙන්ම මම දකින ගාල්ලේ සැබෑ එජාප නායකයා ගයන්ත කරුණාතිලක මන්ත්‍රිවරයා යැයි හම්බන්තොට දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ගාල්ල නාගොඩ ප්‍රදේශයේ පැවැති එජාප රැස්වීමකදී මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය. එජාප පළාත් සභා අපේක්‍ෂක බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාට ආධාර පිණිස මෙම රැස්වීම සංවිධානය කොට තිබිණි.

තවදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.
ගයන්ත මන්ත්‍රිතුමා පරිණත දේශපාලනඥයෙක්. එතුමා සියලු අභියෝග හමුවේ නිවැරැදිව තම ස්ථාවරයේ සිටියා. අද එජාප පාක්ෂිකයා පරාජයක් හමුවේ ඒ සියලු දුක් වේදනා විඳ දරාගනිමින් එජාප ආණ්ඩුවත් බිහිකිරීමට ඇප කැප වෙලා ඉන්නවා. දැන් බලන්න තිස් වසරක් තිස්සේ පැවැති යුද්ධය අවසන් වුණා. යුද ජයග්‍රහණයෙන් අපි හැමෝම සතුටු වුණා. අපිත් යුද ජයග්‍රහණයේදී කිරිබත් කෑවා.

නමුත් යුද්ධය ඉවර වෙලා වසර 5ක් ගතවෙලා තියෙනවා සාමයේ ප්‍රතිලාභ පොදු ජනතාවට ලැබී නැහැ. සාමයේ ප්‍රතිලාභ ලැබී ඇත්තේ මේ රටේ පාලකයන්ට හා ඔවුන්ගේ හෙන්චයියන්ට පමණයි. සාමයේ ප්‍රතිලාභ කෝ මහජනතාවට? එදා අපේ රටේ ජනතාව යුද්ධය වෙනුවෙන් පටි තදකරගෙන හිටියා. ලිප්ටන් වටරවුටම ගිහින් විරෝධතා දැක්වූයේ නැහැ. වැඩ වර්ජන කළේ නැහැ. රට වෙනුවෙන් සමඟි වුණා.

යුද්ධය නිසා රටේ ජනතාව දුක්විඳලා නමුත් සාමයේ ප්‍රතිලාභ ජනතාවට ලැබිලා නැහැ. එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා සියලුම පාසල් දරුවන්ට දිවා ආහාරය ලබාදුන්නා. දැන් යුද්ධය ඉවරයි නමුත් අද පාසල් දරුවන්ගෙන් දිවා ආහාරය ලබා දෙන්නේ 25%කටයි. 75%ක් කුසගින්නේ ඉන්නවා. මට තේරෙන්නේ නැහැ. මේ ආණ්ඩුව මඟින් දිවා ආහාරය ලබන නොලබන දරුවන් තෝරන්නේ කොහොමද කියලා.

සමෘද්ධිලාභීන් ලක්ෂ 15ක් ඉන්නවා. නමුත් සමෘද්ධිලාභීන්ට ලැබෙන්නේ රුපියල් 650,700,900 වශයෙන් සොච්චම් මුදලක්. නමුත් මේ ආණ්ඩුවට හැකියාව තියෙනවා මාසයකට රුපියල් 10,000ක මුදලක් සමෘද්ධිලාභීන්ට ලබාදෙන්න. ආණ්ඩුව හිතන් ඉන්නේ යුද ජයග්‍රහණ නාමයෙන් ඡන්ද දිනන්න පුළුවන් කියලා. අද වනවිට මේ රට කුඩු හා එනතෝල් රාජ්‍යයක් බවට පත්වෙලා. කුඩ්ඩන්ගේ රාජ්‍යයක් බවට රට පත්වෙලා. මෙදා පාරත් ආණ්ඩුව හිතන් ඉන්නේ රටේ ජනතාව ඉවක් බවක් නැතිව ආණ්ඩුවට ඡන්දය දේවි කියලා. රටේ සාරධර්ම පිරිහිලා. සදාචාර සම්පන්න බව බිඳ වැටිලා.

එජාප රජයක් යටතේ මේ රට සංවර්ධන යුගයක් කරා ගෙන යනවා. රටේ සංවර්ධන යුගයක් ඇති කරන එක තමයි මගේ දේශපාලන ආත්ම තෘප්තිය බවද මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම රැස්වීම අමතා එජාප මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක අපේක්‍ෂකයන්වන බන්දුලාල් බණ්ඩාරිගොඩ, විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරුද කතා කළහ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles