ශ්වේත වර්ණ ගැන්වූ ඒ මහා මන්දිරය ඒකාලෝක කරමින් දැල්වුණු දොළොස් මහේ පහන සදහටම නිවී ගොස් දහනව වසරක් පිරෙන්නේ මේ මාසයේ විසි හතර වැනිදාටය. මුවමඬල පුරා නැගෙන හිනාවත් ඔහුගේ මිහිරි කට හඬත් ඒ ගෘහයේ දැන් ඇසෙන්නේ නැත. ඔහු නැති එම නිවසේ පාළුව තනිකම අපට වඩා හොඳින් දැනෙන්නේ හිමිසඳු අහිමි වූ ඇයටය.
දහනව වසරකට ඉහතදී ඔහු ඇයට සමුදී යන්නම යන්න ගියේ බොහෝ සුන්දර සමරු සටහන් පමණක් ඉතිරි කරමිනි. ඔහුගේ මතක සුවඳ රැඳි කදිම ඡායාරූප රැසකින් කොල්ලුපිටියේ” ඇල්ෆ්‍රඩ් හවුස්් උද්‍යානයේ අංක 45 දරන නිවසේ පුස්තකාල කාමරයේ බිත්ති සැරසීි තිබේ.
“අපි හරිම සතුටින් හිටපු පවුලක්. ගාමිණි දරුවන්ට දැක්වූයේ පුදුමාකාර ආදරයක්.” බිත්තියේ සවි කර තිබූ පවුලේ ඡායාරූපයක් පෙන්වමින් ශ්‍රීමා දිසානායක අපට කීවාය. ශ්‍රීමා දිසානායක. ඇය දිවංගත ගාමිණි දිසානායකගේ බිරියය. ගාමිණි දිසානායක අනූ හතරේ ඔක්තෝබර් විසි හතර වැනිදා ඝාතනයට ලක්වූයේ තොටළඟදී එල්ල වූ ස්වයං ඝාතන බෝම්බ ප්‍රහාරයකිනි.
“එදා රෑ හරි පුදුම දෙයක් වුණා. ගාමිණි තොටළඟ රැස්වීමට යන්න කලින් මඟුල් මුද්දයි, සුර තුනකුයි, සතුරු උපද්‍රවවලින් ආරක්ෂා වීමට සායි බාබා දුන් යන්ත්‍රයයි. ගලවලා බුදු මැදුරේ තැන්පත් කළා. ගාමිණි මැරුණාට පස්සේ මාස තුනක් යනකම් මම බුදු මැදුරට ගියේ නෑ. දවසක් අපේ ගෙදර හිටපු සෙනෙවිරත්නට මම කීවා අනේ සෙනෙවි මාස තුනකින් මල් පූජා කළේ නෑ. බුදු මැදුර අස් කරමු කියලා. එදා ඉරිදා දවසක්. මම පත්තර කියවමින් හිටියේ. සෙනෙවි බුදු මැදුර අස් කරමින් සිටින විට එක පාරට කෑගහලා කීවා අනේ මේ බලන්න හාමු. හාමු මහත්තයාගේ සුර ටික බුදු මැදුරේ තියලා. රත්තරන් ච්ෙන් එකයි, සුර තුන. මුද්ද සායි බබා දුන් ලිංගම් යන්ත්‍රයත් තිබුණා. සායි බාබා ඒක දීලා ගාමිණිට කීවේ“නෝ වෙයාද බුලට්ස් ආ” කියලා ගාමිණි එදා තොටළඟ රැස්වීමට එන විට ඒකවත් ගෙනිහින් තිබුණෙ නෑ. ඈ කියන්නීය.
මේ ශ්‍රීමා දිසානායක ගාමිණි දිසානායකගේ පෞද්ගලික හා දේශපාලන ඉතිහාසයේ මෙවැනි මතක සටහන් දිග හරින කතා පෙළක පළමු කොටසය.
විවාහයට පෙර ඔබගේ නම?
ලොකුගේ වජිරා ශ්‍රීමති ලේනදූව.
ඔබගේ පවුලේ විස්තර ?
මගේ පියා එල්.පියසේන. විශ්‍රාම ලබන විට ඔහු දේශීය ආදායම් බදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස රාජකාරි කළා. මගේ අම්මා ෆ්ලෝරන්ස් විනීතා ගෝමස්. මගේ අයියා ලොකුගේ කීර්ති බන්දු ලේනදූව. මගේ අක්කා යශෝජා රුක්මණී ලේනදූව. විවාහ වීමෙන් පසු ඇගේ වාසගම මුතුකුඩ වුණා. ඇය වෛද්‍යවරියක්. අයියා ඉංජිනේරුවෙක්. මම නීතිඥවරියක්.
ඔබගේ ගම් පළාත ?
මගේ පියා රත්නපුර බලංගොඩ. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ගමත් බලංගොඩ. එතුමියගේ ගෙදර තිබුණේ මහවෙලතැන්නේ. අපේ ගෙදර තිබුණේ මොරහැර. මේ සබඳතාව නිසා අපි බණ්ඩාරනායක පවුල ඉතා කිට්ටුවෙන් ඇසුරු කළා.
විවාහ වීමට පෙර ඔබ රැකියාවක් කළාද?
මම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරු නිලධාරිනියක් ලෙස සේවය කළා. මට රැකියාව ලැබුණේ පියා නිසා නොවේ. මගේ සුදුසුකම්වලට අනුව තමයි රැකියාව ලැබුණේ.
ඔබට ගාමිණි දිසානායක ඇමැතිවරයා මුණගැසුනේ කොහොමද?
අපි දෙන්නා නීති විදුහලේShrema2 ඉගෙන ගත්තේ එකම කාලෙක.
මොන කාලෙද ?
එක්දහස් නවසිය හැට එකේ සිට හැට හතර දක්වා.
නීති විදුහලේ කවුද සමකාලීනයෝ?
චිත්‍රාල් අමරතුංග හා එස්.ජේ.වී. චෙල්ලනායගම් මහතාගේ පුතා වූ චන්ද්‍රහසන් චෙල්ලනායගම් අපේ සමකාලීනයෝ. චන්ද්‍රහසන් හා ගාමිණි කිට්ටු යාළුවෝ. දෙන්නම හරි චණ්ඩියි. හැබැයි ගාමිණි නිසා තමයි චන්ද්‍රහසන් පාඩම් කළේ. ගාමිණි ඔහුව නුවර ගෙදරටත් එක්කන් ගිහින් පාඩම් කියා දුන්නා.
චෙල්ලනායගම්ගෙන් තමයි මෑත කාලීන උතුරේ දෙමළ නායකත්වය ඇරඹෙන්නේ. එම පවුල් පසුබිම නීති විදුහලේදී චන්ද්‍රහසන්ට බලපෑවේ කොහොමද?
ඉස්සර කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නෑ. චන්ද්‍රහසන් කියන්නේ හොඳ චරිතයක්. අපි එකට කාලා බිලා නාට්‍ය බලලා හරිම විනෝදෙන් හිටපු යහළුවෝ පිරිසක්.
ගාමිණි හා ඔබ අතර ප්‍රේම සබඳතාවක් ගොඩනැගුණේ නීති විදුහලේදීද ?
නෑ. ඒ කාලයේ ඔහුත් මමත් හොඳ යාළුවෝ මිසක් අප අතර ප්‍රේම සබඳතාවක් තිබුණෙ නෑ. ගාමිණි මාව විවාහ කර ගන්න කැමතියි කියලා කීවේ නීති විදුහලෙන් පිට වෙලා අවුරුදු දෙකක් පමණ ගියාට පසුවයි.
ඒ වෙලාවේ ඔබ එක පාරටම කැමති වුණාද?
මට තනි තීරණයක් දෙන්න බෑනේ. මම ඔහුට කීවා තාත්තාගෙන් අහන්න කියලා. අම්මා හා තාත්තා කැමති විවාහයක් කරගන්නවා මිසක් වෙනත් යෝජනාවක් පිළිගන්නේ නෑ කියලා මම ගාමිණිට කීවා.
ගාමිණි තාත්තාගෙන් ඇහුවාද?
ඔව්. ඔහු අපේ තාත්තා මුණ ගැහෙන්න ආවේ නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් විස්ටි ගුණතිලක සමගයි. ඔහු ගාමිණිගේ වගේම අපේ තාත්තාගෙත් හිතවතෙක්. ගාමිණි මාව විවාහ කරගන්න අහන කොටත් තාත්තාට තේරිලා තිබුණා අපි අතරේ ලොකු යාළුකමක් තිබෙනවා කියලා. මොකද නීති විදුහලේ විභාග ළං වෙන විට ගාමිණි මා ළඟට දුවගෙන ඇවිත් අහනවා මොනවාද මේ සැරේ එන ප්‍රශ්න කියලා. ගාමිණි, චන්ද්‍රහසන් ඇතුළු දෙතුන් දෙනෙක් දේශනවලට වැඩිය එන්නේ නෑ. නමුත් පුස්තකාලයට වෙලා ඔවුන් පොත්නම් කියවනවා.
ඔබ ගාමිණි හා විවාහ ගිවිස ගත්තේ ?
හැටඅටේ අගෝස්තු මාසයේ.
කවුද කේන්දර බැලුවේ?
අපේ තාත්තා කීවා හඳහන් බලන්න ඕනේ කියලා. හඳහන් ගැන තාත්තාට තිබුණේ ලොකු විශ්වාසයක්.
හඳහන් ගැළපුනාද?
ඔව්.
ඔබ විවාහ වන කාලයේත් ගාමිණි දිසානායක ලස්සන, ප්‍රියමනාප, ආකර්ෂණීය චරිතයක්ද?
ඔව්. නමුත් ඔහු ඒ කාලයේ වැඩිපුර කතා කළේ නෑ.
ඔහු දේශපාලනයට පැමිණෙන බව ඔබට කීවද?
අප විවාහ ගිවිස ගැනීමටත් පෙර සිටම ඔහු දේශපාලනය ගැන දැක්වූයේ පුදුම උනන්දුවක්. ඒ කාලයේ මට තේරුණා එතුමාට දේශපාලනයට එන්න ආසාවක් තියෙනවා කියලා.
ඒකට හේතුව වූයේ ගාමිණි දිසානායකගේ පවුල් පසුබිමද ?
ඔව්, ගාමිණිගේ තාත්තා (ඇන්ඩෲ දිසානායක) නුවරඑළියේ හිටපු මන්ත්‍රීවරයෙක්. නියෝජ්‍ය ඇමැතිවරයෙක්. ඔහු මුලින්ම හිටියේ එක්සත් ජාතික පක්ෂයේ. එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළ වෙලාවේ ඇන්ඩෲ දිසානායක මහත්මයත් ශ්‍රීලනිපයට ගියා.
ගාමිණි ඉදිරිපත් වූ මුල්ම මැතිවරණයේ අමතක නොවන අත්දැකීම් මොනවාද?
ගාමිණි මුලින්ම ඉදිරිපත් වූයේ හැත්තෑවේ මහා මැතිවරණයට. ඔහු ඉදිරිපත් වූයේ නුවරඑළිය ආසනයෙන්. එතකොට නවීන්ගේ වයස මාස හතයි. මම මාසයක් කොළඹ ගෙදර හිටියේ නෑ. අපේ අම්මයි තාත්තයි තමයි නවීන්ව බලාගත්තේ. හැත්තෑවේ ඡන්දයේ මට අමතක නොවන සිද්ධියක් තියනවා. ඒ ඡන්දයේදී යූඇන්පීි එක අන්ත පරාජයක් ලැබුවත් ගාමිණි නුවරඑළිය ආසනය ජයග්‍රහණය කළා.
අපි ඡන්දය දිනලා ආපහු කොළඹ ආවේ කෝච්චියෙන්. ඊට හේතුව වූයේ කාර් එකේ ආවොත් අතරමගදී අපට ප්‍රහාරයක් එල්ල වේවි කියලා. බයක් තිබූ නිසා. මේ නිසා ගාමිණියි මමයි කෝච්චියේ නැගලා කොළඹ ආවේ උදේ පහට විතර. අපි ගෙදර ගිහින් නවීන් නිදා සිටි කාමරයේ තිබූ තවත් ඇඳක වාඩි වෙලා පුතා දිහා බලාගෙන සිටියා. ඒ වන විට නවීන් කතා කරන්න පටන් ගත්තා විතරයි. අපි දෙන්නා ඇඳේ වාඩි වෙලා ඉන්නකොට ඇහැරුණු නවීන් හයියෙන් හිනාවෙලා “අප්පච්චි” කියලා කතා කළා. ඒක හරිම ලස්සන සිද්ධියක්. අපි පුදුම වුණා. අපි හිතුවේ නවීන්ට අපිව අමතක වෙලා කියලා. මොකද මාසයක් ගෙදර හිටියේ නෑනේ.
කෙසේ නමුදු ගාමිණි දිසානායකට මන්ත්‍රී ධුරය අහිමි වුණා නේද?
ඒක ගාමිණිගේ වැරැද්දක් නිසා වූ දෙයක් නොවේ. වජිරබුද්ධි හාමුදුරුවෝ කී වැරදි කතාවකින් ගාමිණිගේ ප්‍රතිවාදියා වූ විලියම් ප්‍රනාන්දුට අසාධාරණයක් වුණා කියලා ඉදිරිපත් වූ ඡන්ද පෙත්සමකින් තමයි මන්ත්‍රී ධුරය නැති වුණේ. මේ සිද්ධිය විභාග කළ විනිසුරුවරයා සඳහන් කළා. මේ වගේ තරුණ බුද්ධිමත් අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ නමුත් වෙන කෙනෙක්ගේ වැරැද්දකට ඔහුට පාර්ලිමේන්තුවෙන් එළියට යන්න සිද්ධ වුණා කියලා.
ඊට පස්සේ මොකද වුණේ?
හැත්තෑ දෙකේ අතුරු මැතිවරණයත් ආවා. ඒ කාලයේ මම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැඩ කරනවා. තාත්තා තමයි මගේ ප්‍රධානියා. මම ගාමිණිගේ ඡන්ද වැඩට යන්න මාසයක් නිවාඩු ඉල්ලුවා. නමුත් තාත්තා නිවාඩු අනුමත කළේ නෑ.
තාත්තාගේ තීරණයට ඔබ දැක්වූයේ කෙබඳු ප්‍රතිචාරයක්ද?
මම ඔහුට කීවා අනේ තාත්තේ මට ඕනෑ කරන්නේ ගාමිණිට උදව් කරන්න කියලා. නමුත් තාත්තාගේ තීරණයේ වෙනසක් වුණේ නෑ. මම ඉල්ලා අස්වීමේ ලිපිය තාත්තාට භාර දීලා ගාමිණිගේ ඡන්ද වැඩට නුවරඑළියට ගියා.
ඔබගේ තීරණය ගැන තාත්තා මොනවාද කීවේ?
මගේ තීරණය ගැන ඔහු හුඟක් “අප්සට් වුණා”.
ඔබට දුව (වරුණි තාරුකා) ලැබුණේ මොන කාලේද?
එක්දහස් නමසිය හැත්තෑ එකේදී.
මයන්ත ඉපදුනේ?
හැත්තෑ හතරේදී
ඉතා කාර්යබහුල ජීවිතයක් ගත කළ ගාමිණි දිසානායක ඇමැතිවරයා හා දරුවන් අතරේ තිබුණු සබඳතාව කොහොමද?
ඔවුන් අතර තිබූ සබඳතාව කවදාවත් බිඳුණේ නෑ. දරුවන් ගැන ඔහුට තිබුණේ පුදුම ආදරයක්. ගාමිණි තුන්දෙනාගේම කාමරවලට ගිහින් ඔවුන් සමග බොහෝ වෙලාවක් ගත කරනවා. එහෙම නැතිනම් තුන්දෙනාම අපේ කාමරයේ ඇඳට ගෙන්නලා ඇති තරම් සෙල්ලම් කරනවා. ඔහු දරුවන් එක්ක පුදුමාකාර සතුටකින් ජීවත් වුණා. ඉස්කෝලෙ නිවාඩු දවස්වල නම් ගාමිණි දරුවන්ව පිට පළාත්වල උත්සවවලට එක්කන් යනවා. මාදුරුඔය ලුණුගම්වෙහෙර ජලාශ විවෘත කිරීමේ අවස්ථාවටත් දරුවන් ගියා.
ගාමිණි දිසානායක ඇමැතිවරයා වැඩියෙන්ම ආදරේ කළේ කාටද?
ඒක මට කියන්න බෑ. නමුත් ඔහු තුන්දෙනාටම පුදුමාකාර ලෙස ආදරය කළා.
ගාමිණි ජීවතුන් අතර සිටියත් නවීන් හා මයන්ත දේශපාලනයට එනවාද?
කොහොමටත් එනවා. ඒක ඒගොල්ලන්ගේ හදවතින්ම කරන්න ආස දෙයක්. රට වෙනුවෙන් වැඩ කිරීමට දෙන්නාගේම හිතේ තිබෙනවා.
දනවීන් ශ්‍රීලනිප ඇමැතිවරයෙක්. නමුත් මයන්ත එජාපයේ පළාත් සභා මන්ත්‍රීවරයෙක්. දෙන්නා දෙපැත්තේ සිටීම ගැන මොකක්ද හිතන්නේ ?
මම ඒ ගැන දුක් වන්නේ නෑ. ඒක තමන්ගේ අයිතියනේ.
ඇයි නවීන් එජාපයෙන් ගියේ ?
කාලයක සිට රනිල්ගෙන් ඔහුට කිසිම සහනයක් තිබුණේ නෑ. ඔහු රනිල්ගෙන් දිගටම බැට කෑවා.
රනිල් නවීන්ව නොසලකා හැරියේ ඔහු ගාමිණි දිසානායකගේ පුතා වීම නිසාද?
අනිවාර්යයෙන්ම. රනිල්ට නවීන් ගැන තිබුණේ ඊර්ෂ්‍යාවක්. එක්සත් ජාතික පක්ෂය දාලා යන්න නවීන් තීරණය කළේ පක්ෂය වෙනුවෙන් නායකත්වය එක්ක මුකුත් බැරි නිසා. ඔහුට ඉදිරියට එන්න දුන්නේම නෑ.
මම මේ කතාව කියන්නේ අම්මා කෙනෙක් විදියට. ඒ කතාව කියන්න මම බය නෑ.
මයන්ත තවමත් එජාපයේ සිටීම ගැන හිතන්නේ මොකක්ද?
පුතාලා දෙන්නම යූඇන්පී එකට හරිම ආදරෙයි. මොකද ඔවුන්ගේ අප්පච්චිට රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන්න ඉඩ ලැබුවේ යූඇන්පී එක නිසා. නමුත් නවීන් ගියා. රනිල් වැඩ කරන්න දුන්නේ නැති නිසා.
මයන්ත එයාගේ ආසාව නිසා එජාපයේ සිටිනවා. මයන්ත කීවේ මේක තමයි අපේ මහගෙදර කියලා.
ගාමිණි දිසානායක ඇමැතිවරයා වැඩියෙන්ම සතුටු වූ දවස මතකද?
ඒක කියන්නේ කොහොමද, ඔහු හැමදාමත් සතුටින් සිටි චරිතයක්.
ඔහුට තරහ යනවාද?
තරහ ගියත් මිනිත්තුවයි හිතේ තියෙන්නේ. සමහර දවස්වල මා දැක තියෙනවා ගෙදරට එන අයට කෑගහලා පන්නා ගන්නවා. නමුත් ඔහුට ගේට්ටුවෙන් එළියට යන්න දෙන්නෙ නෑ. ආරක්ෂක නිලධාරියාට කියනවා ඔහුට යන්න දෙන්න එපා ආපහු එන්න කියන්න කියලා. ඊට පස්සේ බැන්න පුද්ගලයා සමග කතා කරලා ඔහුගේ හිත හදලා තමයි යන්න දෙන්නෙ.
ඔහු වැඩියෙන්ම දුක් වුණේ කවදාද?
ඔහු වැඩියෙන්ම දුක් වූ පළමු අවස්ථාව තමයි බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය තහනම් කළ දවස. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ ලොකු ප්‍රහාරයක් කියලා ගාමිණි සැලකුවා. ගාමිණි දුක් වූ තවත් අවස්ථාවක් වන්නේ ආර්. ප්‍රේමදාස ජනපතිවරයා ඔහුව කැබිනට්ටුවෙන් දොට්ටු දැමූ දවස.
ගාමිණි කසාද බඳින වේලාවේ ඔබ හිතුවාද කවදා හරි ප්‍රබල ඇමැතිවරයකුගේ බිරියක් වේවි කියලා ?
මම එච්චර දුර හිතුවේ නැහැ. මට ඕනෑ වුණේ සතුටින් දරුවන් හදලා ගාමිණි සමග හොඳ පවුල් ජීවිතයක් ගත කරන්නයි. මොකද අපි පුංචි කාලේ දෙමාපියන් සමග හිටියේ සැනසිලිදායක ලෙස. අප ජීවත් වුණ ඒ කාලේ අපේ පියාට බණ්ඩාරවෙල ගෙයක් තිබුණා. හැම අවුරුද්දේම අප්‍රේල් මාසය පුරාම අපි හිටියේ බණ්ඩාරවෙල ගෙදර.
මිහිරි ෆොන්සේකා
ඡායාරූප: ශ්‍රීලාල් ගෝමස්