මෑත ඉතිහාසයේ රියදුරෙකු නොමැතිව වැඩිම දුරක් දුම්රිය එන්ජිමක් ධාවනය වීමේ අහඹු සිදුවීමක් අද අලූයම වාර්තාවුණා. මෙලෙස ධාවනය වී ඇත්තේ මාළිගාවත්ත දුම්රිය අංගනයේ දුම්රිය හැසිරවීමට යොදාගන්නා වසර 50 ක් පමණ පැරණි වයික්ලාස් වර්ගයේ දුම්රිය එන්ජිමක් බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න ප‍්‍රකාශ කළේ. පණගන්වා තිබූ මෙම දුම්රිය එන්ජිම අද අලූයම 1.45 ට පමණ කොටුව දුම්රිය ස්ථානය පසු කරමින් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වී තිබෙනවා. රත්මලාන සහ ගල්කිස්ස දුම්රිය ස්ථාන අතර පිහිටි ප‍්‍රදේශයකදී මෙම දුම්රිය නවතා ගැනීමට දුම්රිය සේවකයින්ට හැකිවුණා.
කිලෝමීටර් 15 ක් පමණ මෙම දුම්රිය එන්ජිම රියදුරෙකු නොමැතිව ධාවනය වී ඇති අතර එලෙස දුම්රිය එන්ජිම ධාවනය වූයේ කෙසේද යන්න පරීක්ෂා කිරීම සඳහා ත‍්‍රිපුද්ගල කමිටුවක් පත්කළ බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ප‍්‍රකාශ කළේ. එමෙන්ම මෙම දුම්රිය එන්ජිම භාරව සිටි රියදුරාගේ සහ එහි සහයකයාගේ සේවය මේ වනවිට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
කෙසේ වෙතත් රියදුරෙකු නොමැතිව මෙම දුම්රිය එන්ජිම ධාවනය වන අවස්ථාවේදී මුහුදුබඩ මාර්ගයේ කිසිදු දුම්රියක් ධාවනය වී නැහැ. එලෙස දුම්රියක් ධාවනය වූයේ නම් විශාල අනතුරක් සිදුවීමට ඉඩ තිබූ බව දුම්රිය වෘත්තීය සමිති පෙන්වා දෙනවා. එමෙන්ම රියදුරෙකු නොමැතිව දුම්රිය එන්ජිමක් ධාවනය වන බවට දුම්රිය පාලක මැදිරියද දැනසිට තිබෙනවා.
රියදුරෙකු නොමැතිව දුම්රිය එන්ජිමක් ධාවනය වන අවස්ථාවක දුම්රිය හරස් මාර්ගවලදී අනතුරකදී අනතුරක් සිදුවීමට ඇති ඉඩකඩ පිළිබඳව ද හිරු ප‍්‍රවෘත්ති අංශය දුම්රිය පාලක මැදිරියෙන් විමසීමක් කළා. එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම දුම්රිය එන්ජිම ධාවනය වූ සීමාව තුළ දුම්රිය හරස් මාර්ගයන්හි ස්වයංක‍්‍රීය සංඥා පද්ධතියක් ක‍්‍රියාත්මක වන බවයි. එබැවින් දුම්රිය එන්ජිම ධාවනය වූ අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයන්හි අදාළ අනතුරු ඇගවීමේ සංඥා ක‍්‍රියාත්මක වී ඇති බවද දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළා.
Source : Hiru News