• කැරකි කැරකි මිරිකි මිරිකි, පැණි බේරෙන කතා කියනවා, ආදරෙ ඉල්ල ගන්නවා, පස්සෙ අමතක වෙනවා මෙහෙම කියන ජින්ජර්ගේ දේශපාලන කෙරුවාවටත් මේ ටිකම වෙයිද?
අන්න හොඳ ප්රශ්නයක්. එතැනින්ම පටන් ගමු. මෙවර මැතිවරණයට බස්නාහිර පළාතෙන් කලාකරුවෝ හුඟ දෙනෙක් ඉදිරිපත් වෙනවා. මට කියන්න තියෙන්නෙ මෙතැන කලාකරුවෝ කිව්වම සීයට අනූවක්ම ඉන්නෙ නළු නිළියෝනේ.
මම විතරයි ඔතන ගායිකාවකට ඉන්නේ. මම ඇවිල්ලා ප්රසංග වේදිකාවේ ඉන්න කෙනෙක්. ප්රසංග වේදිකාවේ මගේ එක්ස්පීරියන්ස් ඇවිල්ලා අවුරුදු 12ක්නේ. එදා ඉඳන් අද වෙනකල් මං හිටියේ මිනිස්සු ඉස්සරහා. නළුවෙක් නිළියක් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස්. එයාලව අපි දකින්නේ කැමරාවක් පිටිපස්සෙදි. මේ මැතිවරණය ගත්තොත් ලොකුම අභියෝගය තියෙන්නේ මට. මොකද මම මනාප අරගෙන දින්නොත් මං ආයේ එතැනට යන්න ඕනෙ. බොරුකාරයෙක් වෙන්න බෑ කිසි විටෙකත්. මම පීක් එකේ ඉන්න සින්ගර් කෙනෙක්. මම එක රෑට ෂෝස් කරනවා පහක් හයක්. ඒ නිසා මට හැංගිලා ඉන්න බෑ.
• අහසින් කඩාගෙන වැටුණා වගේ එකපාරටම කොහොමද මේකට කඩා පාත් වුණේ?
එහෙම කියන්න එපා. මම හැම මැතිවරණ වේදිකාවකටම ගොඩ වෙච්ච කෙනෙක්. ඇත්තටම මම ආශික් වගේ තමයි. ඇයි මාව නග්ගන්නේ. ඒගොල්ලෝ දන්නවා මට ඡන්දයක් ගන්න පුළුවන් කියලා. අනිත් එක මට බය නැතිව කියන්න පුළුවන් අද වෙනකල් මං නැගපු කිසිම වේදිකාවක කවුරුත් පැරැදිලා නෑ.
• ස්ටේජ් එකක නැඟලා සින්දුවක් කියලා බහිනවා වගේ ලේසි දෙයක්ද පොලිටික්ස් කියන්නෙ. කෝ මොනවද ඔයාට තියෙන සුදුසුකම්?
මම හිතන්නේ දේශපාලනය කියන්නේ වරමක්. අපි ඔක්කොම ඉපදිලා මුලින්ම බඩගානවනේ. කවුරුවත් එකපාරට ඇවිදින්නෙ නෑනේ. එදා පරීක්ෂණයට ගියාම අනුර ප්රියදර්ශන යාපා ඇමැතිතුමා මගෙන් ඇහුවෙ ඇයි ඔයා පළාත් සභාවෙන් ඉල්ලන්නෙ. ඔයාට පුළුවන්නෙ පාර්ලිමේන්තුවෙන් ඉල්ලන්න කියලා. ඒත් මම කියන්නෙ මම කැමැතියි කන්ද නඟින්න ඉගෙන ගන්න. කන්ද මුදුනට එකපාරටම ගිහින් දැම්මොත් මොකද වෙන්නේ මං බහින්න දන්නෙ නෑ. ඒ නිසා මං කැමැතියි මේක මගේ මොන්ටිසෝරිය කරගන්න.
• ඒ කියන්නේ දැනට මුකුත් ප්රතිපත්තියක් නෑ.
දේශපාලනය කරනවා කියන්නේ මැජික් කරනවා වගේ දෙයක් නොවෙයි. මේක දුවන අශ්වයෙක්. හුඟාක් අය කරන්නේ ලොකුවට ප්රතිපත්ති කියාගෙන ඇවිත් දින්නට පස්සෙ ගිහින් මේ අශ්වයාව ගාල් කරනවා. ඒකෙන් මිනිසුන්ට වැඩක් නෑ. අශ්වයා දුවන්න ඕන. ඒ නිසා මං කරන්නේ මොනවද කියලා දිනලම පෙන්නන්නම්.
• ජින්ජර්ගේ පරමාදර්ශී දේශපාලන චරිතය කවුද?
ආර්. දුමින්ද සිල්වා.
•දේශපාලනය කරන්න කතා කරපු නිසාද?
අනේ නෑ. මම 2004 ඉඳලා එතුමගේ ස්ටේජ්වලට නැග්ග කෙනෙක්. පුද්ගලයෙක් විදියට ගත්තොත් මිනිස්සුන්ට උදව් කරන එකමයි කරන්නෙ. ඒ වගේ හොඳ කෙනෙක් පහළ වෙන්න හුඟක් කල් යනවා.
•හොඳයිද නරකයිද කියන්න අපි නම් දන්නෙ නෑ. හැබැයි ඔහු මිනීමැරුම් චෝදනා තියෙන, අත්වල ලේ ගා ගත්තු කෙනෙක්. කොහොමද ඔච්චර ලොකු සහතිකයක් දෙන්නෙ.
ඒක ගැන නම් දැන්මම කතා කරන්න මං කැමැති නෑ. මොකද වරදකරු කියලා තාම ඔප්පු වෙලා නෑනේ. මට ආදර්ශයක් ගන්න පුළුවන් තැනක් විතරයි කිව්වෙ.
• අපකීර්තියට ලක්වුණු දේශපාලන චරිතයක් පස්සෙ ගිහින් දිනන්න පුළුවන් වෙයි කියල ෂුවර්ද?
අපිට ඒකත් බලාගන්න පුළුවන්නේ මේ මැතිවරණයෙන්. මාව ගත්තත් මං ගැන එක එක තක්සේරු තියෙනවානේ. අපිට මිනිස්සුන්ගේ කටවල් වහන්න බෑ.
• කැම්පේන් එකට සල්ලි විසි කරන්නේ ඔහුද?
අපෝ නෑ. මං කිව්වනේ මං මිනිස්සු අතර ගැවසෙන චරිතයක්. මං නිකං සයුරක් වගේ. මං මේ ලංකාවෙ හතර කොණටම ගිහින් තියෙනවා. යාපනෙන් පවා කෝල් කරලා අහන්නේ ජින්ජර් අපෙන් මොකද වෙන්න ඕනෙ කියලා.
•කොළොන්නාව ආසනේට තියෙන ලොකුම ප්රශ්නය මොකක්ද ජින්ජර්
බොරු කියන්නෙ මොකටද හැමෝම කියන්නෙ කුඩු ප්රශ්නයක් තියෙනවා කියලනේ. ඒකනේ ඔයා කියන ප්රශ්නේ. ඒ ප්රශ්නේ විතරක් නෙවෙයි ඉතින් කොළොන්නාවෙ තියෙන්නෙ?
• මං ඇහුවේ ලොකුම ප්රශ්නේ මොකක්ද කියලා?
ඊට වඩා මිනිස්සුන්ට කොච්චර ඕනෑ එපාකම් තියෙනවද? මට පටන් ගන්න පුළුවන් තැන්වලින් මං පටන් ගන්නවා.
• කුඩු සබ්ජෙක්ට් එක ගැන කතා කරන්නෙ නැත්තෙ බයයිද?
අනිවාර්යයෙන්ම මං ඒ පැත්තටත් අත තියනවා. කොළොන්නාවේ ජනතාව මට තාම ඇසුරු කරන්න ලැබිලා නෑ. මං ඇවිල්ලා සුපර්මෑන් නෙවෙයිනේ. පුළුවන් විදියට හැමෝගෙම ප්රශ්නවලට උත්තර දෙනවා.
mawbima
• කෙළින්ම කියන්න කුඩු නැතිකරන්න පුළුවන්ද? බැරිද?
නැති කරලා දාන්න පුළුවන් නම් ඇයි අපි බලාගෙන ඉන්නේ?
• ඇත්තම කතා කළොත් ජින්ජර්ගේ ස්ටයිල් එකට මිනිස්සු කැමැති නෑලු නේද?
අපි මෙහෙම ගමුකෝ. අපේ වැදි පරපුර ගන්න. ඒගොල්ලෝ මේ වාගේ ඩෙනිම් කලිසම් ගහගෙන හිටියේ නෑ. කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මට කැමති පිරිසක් වගේම අකමැති පිරිසකුත් ඉන්නවා.
• එදා පරීක්ෂණයට යද්දි ස්කාෆ් එකක් බැඳගෙන ආවේ ඔයාගේ ඇත්තම ඉමේජ් එකට මිනිසුන්ට දිරවන්නෙ නැති නිසා නේද?
අනේ නෑ. දවල් කාලේට හුඟාක් රස්නෙයි. ඒ නිසා දවල් කාලේ එළියට යද්දි කොහොමත් යන්නෙ මගේ කොණ්ඩෙ වහගෙන. ඒ පුරුද්දට එදත් එහෙමම ගියා.