ජංගම දුරකථනත් නොතිබුණු, ස්ථාවර දුරකථනත් සුලබ නොවූ කාලයේ අවේලාවේ ටෙලිග්‍රෑම් බෙදන්නකු ගමට පැමිණි විට ගම්මුන් කලබලයට පත්වූයේ් නිරායාසයෙනි. ඒ අවේලාවේ ලියුම් බෙදන්නා ගමට එන්නේ අසුබ ආරංචියක් රැගෙන බව ඔවුන් අත්දැකීමෙන්ම දන්නා බැවිනි. එක්කෝ ලියුම් බෙදන්නා රැගෙන එන ටෙලිග්‍රෑමයේ ඇත්තේ කාගේ හරි මරණයක් ගැන විස්තරය. එසේ නැතිනම් දුරබැහැර සිටින නෑයෙකුු අසනීප වී රෝහල් ගත කළ පුවතය. මේ නිසා එකල ගම්මු ටෙලිග්‍රෑම් බෙදන්නාට “කණකොකා” යනුවෙන් නමක්ද පටබැන්දහ. මක්නිසාදයත් කණකොකා දැකීම අසුබ පෙර නිමිත්තක් ලෙස ගම්මුන් සැලකූ බැවිනි.
විදුලි පුවත් රැගෙන අවේලාවේ ටෙලිග්‍රෑම් බෙදන්නා ගමට එන කතාවක් මාර්ටින් වික්‍රමසිංහ ලියූ ”ගම්පෙරළියේද” ඇත්තේය. ඒ කතාවේ හැටියට වෙළෙඳාම පිණිස බිබිලට ගිය ජිනදාස ගැන පහු පහු වන විට නන්දාට කිසිදු ආරංචියක් නැති විය. ජිනදාස මියගිය බව කියූ නිසා නන්දා දෙවැනි වරටත් පියල් සමග විවාහ වූවාය. ටික දොහක් යන විට මහගෙදරට විදුලි පුවතක් තිබුණි. එතැන් සිට කතාව ගම්පෙරළියේ සඳහන් වන්නේ මෙසේය.
”උදය නවයට පමණ නන්දාගේ නමින් මහගෙදරට ලැබුණු විදුලි පුවතක් නිසා අනුලා අන්දුන්-කුන්දුන් වූවාය. “නුඹේ ස්වාමියාට අමාරුයි” යනුවෙනි අනුලා ඒ විදුලි පුවත මාතර හාමිනේට ඇසෙන සේ සිංහලයට නැගුවේ ඒ විදුලි පුවත රත්නපුරේ ඉස්පිරිතාලයෙහි දොස්තර මහතා විසින් එවන ලද්දක් බැවිනි. අනුලාගේ හිස වඩාත් අවුල් වූයේය.”
”ගම්පෙරළියේ” එන කතාවේ හැටියට මාතර හාමිනේට තේරෙන සේ අනුලා විදුලි පුවත සිංහලයට පරිවර්තනය කළේ එකල ටෙලිග්‍රෑම් හෙවත් විදුලි පුවත් ලැබුණේ ඉංග්‍රීසි බසින් නිසාය. මේ නිසා එකල පිටිසර ගම්මුන්ට සිය ළමුන්ගේ අධ්‍යාපනය ගැන තිබූ ඉහළම බලාපොරොත්තුව වූයේ අඩුම තරමින් ටෙලිග්‍රෑමයක් කියවා ගැනීමට තරම්වත් ඔවුන්ට අකුරු සාත්තරේ ඉගැන්වීමය. ඒ එක්දහස් නවසිය පනස් හය තෙක් ලංකාවේ රාජ්‍ය භාෂාව වූයේ ඉංග්‍රීසිය බැවිනි. ඉංග්‍රීසි වෙනුවට සිංහල රාජ්‍ය භාෂාව කිරීමට හේතු වූ කාරණාව උපන්නේද ටෙලිග්‍රෑමයක් නිසා සිද්ධ වූ ප්‍රශ්නයක් තිඹිරි ගේ කර ගනිමිනි.
ඒ කතාව මෙසේය. මරදානේ ශ්‍රී ලංකා මහ පරිවේනාධිපතිව වැඩ සිටි බද්දේගම විමලවංශ අනුනාහිමියෝ මීට දශක පහකට පමණ ඉහතදී ගම්‍පොළ පිරිවෙනක ඉගැන්නූහ. දිනක් හදිසි පණිවුඩයක් කොළඹට යැවීමට සිත් වූ බැවින් උන්වහන්සේ ගම්‍පොළ තැපැල් කන්තෝරුවට ගියේ විදුලි පණිවුඩයක් යැවීමටය. එකල ගම්‍පොළ තැපැල් ස්ථානාධිපතිවරයාව හුන්නේ දෙමළ ජාතිකයෙකි. ඔහු බද්දේගම විමලවංශ අනුනාහිමියන්ට දැනුම් දී ඇත්තේ විදුලි පණිවුඩ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් භාර ගන්නා බැවින් හාමුදුරුවන්ගේ පණිවුඩය ඉංග්‍රීසියෙන් ලියන ලෙසය. සිංහලයන්ගේ රටේ ඉංග්‍රීසියෙන් විදුලි පණිවුඩය පෝරමය පුරවන්නේ කුමටදැයි ප්‍රශ්න කළ උන්වහන්සේ එය ඉරා විසි කළහ. කෙසේ හෝ සිංහලය රජබස කරන්නෙමි යැයි අදිටන් කර ගත් උන්වහන්සේ ඒ වෙනුවෙන් භාෂා සටන පටන් ගත්හ. එම සටන් ව්‍යාපාරයේ ඉල්ලීම පිළිගත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක දිවුරා ශපථ කළේ තමා බලයට පත්වී පැය විසි හතරක් ගත වීමට මත්තෙන් සිංහලය රජබස කරන බවය.
කෙසේ නමුදු සිංහල රාජ්‍ය භාෂාව කිරීමට පෙර ගම්මුන් තමාගේ නමට ලැබෙන ටෙලිග්‍රෑමය කියවා ගැනීමට ගියේ ගමේ සිටින උගතෙකු ළඟටය. එවිට ටෙලිග්‍රෑමයේ සඳහන් කාරණාවලට අමතරව උගතාගේ රැස් බැලීමටද ගම්මුන්ට සිද්ධ විය. ඇතැම් විට රැකියාවක සම්මුඛ පරීක්ෂණයකට හදිසි කැඳවීමක් ලැබ ගැමි දරුවෙකුට ටෙලිග්‍රෑමයක් ලැබුණහොත් උගත් ප්‍රභූවරුන් එහි සඳහන් කාරණා නොකී අවස්ථාද තිබේ. ඒ තමාට ඉහළින් ගොස් පහළ පන්තියක අයකු රැකියාවක් කරනවාට තිබූ අකමැත්ත නිසාය.
ගම්මුන්ට හදිසි පණිවුඩ දැනගැනීමට පිහිට වූ ඉටු දෙවියා විදුලි පණිවුඩ වුවත් සුද්දන් එම සේවාව ලංකාවේ ආරම්භ කළේ සිය පරිපාලන හා සන්නිවේදන අවශ්‍යතා සපුරා ගැනීමටය. ඒ එක්දහස් අටසිය පනස් හයේදීය. ලංකාවේ මුල්ම විදුලි පණිවුඩය යවනු ලැබුවේ කොළඹ සිට ගාල්ලටය.
ඉක්බිතිව ලංකාව හා ඉන්දියාව අතර ද විදුලි පණිවුඩ සේවාවක්ද ආරම්භ විණි.
දහ අට වැනි සියවසේ අග භාගය වන විට මහා බ්‍රිතාන්‍යය ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල් දක්වාද ලංකාව සමග විදුලි පණිවුඩ සේවාව සම්බන්ධ විය. නගරබදව තිබූ විදුලි පණිවුඩ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත්වූයේ එක්දහස් නවසිය එකොළහේදීය.
එකල රාජ්‍ය නිලධාරීන්ගේ සේවා මාරුවීමද දැනුම් දුන්නේ විදුලි පණිවුඩ මගිනි. කීර්තිමත් සිවිල් සේවකයකු වන හිටපු අගමැති ලේකම් බ්‍රැඩ්මන් වීරකෝන් ලියූ “අරලිය ගහ මැදුරේ ස්පන්දනය” කෘතියේ ඔහු සඳහන් කර ඇත්තේ යාපනය කච්ච්ෙරියේ මුල්ම පත්වීම භාරගෙන දසමසක් ඇවෑමෙන් පසු තමා බදුල්ල උප දිසාපති ලෙස මාරුකර යවා ඇති බව එකල මහා භාණ්ඩාගාරයේ ලේකම්ව සිටි එම්. රාජේන්ද්‍ර තමාට දැනුම් දුන්නේද විදුලි පුවතක් මගින් බවය. අගමැතිවරුන් නව දෙනෙකුට සේවය කර ඇති ඔහුට රාජකාරි කටයුතුවලදී විදුලි පුවත් හොඳටම පුරුදු දෙයකි. සති අන්ත නිවාඩුවෙන් පසු පසුවදා රාජකාරියට ගිය විට ඔහුගේ රාජකාරි මේසය විදුලි පුවත්වලින් පිරී තිබූ බව ඔහු සඳහන් කර ඇත.
රජයේ නිලධාරීන්ගේ රාජකාරි කටයුතු පමණක් නොව විදුලි පුවතක් මගින් ඇමැතිවරයකුට ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන් රසවත් කතාවක්ද ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සඳහන්ව තිබේ. ඒ කතාව මෙසේය.
පනස් දෙකේදී ඩඩ්ලි සේනානායක බලයට පත්වූ අවස්ථාවේදී අගමැති පොරය නමින් කැලෑ පත්තරයක් ප්‍රකාශයට පත් කෙරුණි. එය පිටුපස හුන්නේ ජෝන් කොතලාවල ඇමැතිවරයා බව කවුරුත් දැනගෙන හුන්හ. මේ කතා පැතිර යන අතරතුරේ කොතලාවල ඇමැතිවරයා කැනඩාවට යාමට ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටියදී තානාපති නිලධාරියෙකු මගින් ඔහුට කේබල් පණිවුඩයක් ලැබුණි. ඒ අගමැති ඩඩ්ලි සේනානායකගෙනි. තවදුරටත් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස තබා ගත නොහැකි බැවින් වොෂින්ටනයේ තානාපති කාර්යාලය හරහා එවන අතිශය රහස්‍ය විදුලි පුවතකින් කොතලාවල ඉල්ලා අස්වනු දැකීමට සතුටු බව ඩඩ්ලි සේනානායක දැනුම් දුන්නේය.
ඊට පිළිතුරු ලෙස ජෝන් කොතලාවල තානාපති නිලධාරීන්ට දැනුම් දුන්නේ අගමැතිවරයා විසින් එවන ලද ලිපිය රෝල් කර….. ගසා ගන්නා ලෙස විදුලි පුවතක් යවන ලෙසය.
විදුලි පුවත් පිළිබඳ තිබෙන ප්‍රසිද්ධම කතාව ඇත්තේ හැත්තෑ එකේ කැරැල්ල සම්බන්ධවය. ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ සියලුම පොලිස් ස්ථානවලට එකවර පහර දීම සඳහා පිට පළාත්වල සිටි සිය නායකයන්ට දැනුම් දුන්නේ විදුලි පුවතකින් බව කියවිණි. ”ජේ.වී.පී අප්පුහාමි මියගියා. අවසාන කටයුතු පහට” යනුවෙන් එම විදුලි පුවතේ සඳහන් වී තිබූ බවත් වැල්ලවායේ ජවිපෙ සාමාජිකයන් වේලාව පටලවා ගෙන කලින් පහර දීම නිසා කැරැල්ල අසාර්ථක වූ බවත් මුඛ පරම්පරාවෙන් එන කතාවකි. කෙසේ නමුදු කැරැල්‍ලේ නායකයකු වන පියසිරි කුලරත්න (එකල අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක අල්ලා ගැනීමට ගිය පිරිසට නායකත්වය දුන්නේ ඔහුය) කියන්නේ එම කතාව අසත්‍ය බවය. ”පක්ෂය එවැනි විදුලි පුවතක් යැව්වේ නෑ. මහ නඩුවේදීත් එවැනි දෙයක් හෙළි වූයේ නෑ.” ඔහු කීවේය.
මේ කතා කෙසේ වුවත් විදුලි පණිවුඩ නිසා තැපැල් දෙපාර්තමේන්තුව අමාරුවේ වැටුණු අවස්ථාවක් ද ඇත්තේය. ඒ අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා පනස් නවයේදී ඝාතනය වූ අවස්ථාවේදීය. අගමැතිවරයාගේ ඝාතනය ගැන ශෝකය පළ කරමින් තැපැල් කන්තෝරුවට ලැබෙන විදුලි පණිවුඩ සෑම තත්පරයේම ගෙදරට ගොස් භාර දිය නොහැකි බැවින් විදුලි පණිවුඩ භාර ගැනීමට තාවකාලික මධ්‍යස්ථානයත් අගමැතිවරයාගේ නිවසේ පිහිටුවන්නට සිදුවීමය.
ඒ කෙසේ නමුදු මීට දශක පහකට පමණ ඉහතදී ටෙලිග්‍රෑමය වූ කලී සිය නෑයකුගේ මරණයක් දැනගැනීමට තිබූ ප්‍රධානම සන්නිවේදන ක්‍රමය වූවේය. එකල එය අයත් වූයේ තැපැල් දෙපාර්තමේන්තුවටය.
කෙසේ නමුදු දැන් විදුලි පුවත් සේවයට අයිතිවාසිකම් කියන දෙකොට්ඨාසයක් සිටින්නෝය. ඒ තැපැල් දෙපාර්තමේන්තුව හා විදුලි සංදේශ අමාත්‍යංශයයි. මීට දෙසතියකට ඉහතදී විදුලි සංදේශ අමාත්‍යංශය මුළු රටටම මළගෙවල් දැනුම් දුන් ටෙලිග්‍රෑම් සේවයේ මළගම ප්‍රකාශයට පත් කළේය. ඒ ඔක්තෝබරයේ අග සිට විදුලි පණිවුඩ සේවාව භාවිතයෙන් ඉවත් කරන බවය. ඊට හේතු වන්නේ තොරතුරු සන්නිවේදනයේ දියුණුවත් සමග විදුලි පණිවුඩ සේවාව ස්වයං මරණයක් වැළඳ ගනිමින් සිටීමය. විදුලි සංදේශ අමාත්‍යංශය කියන හැටියට ඉකුත් වසර හයක කාලය සමග පසුදා බලන විට 11-4විදුලි පණිවුඩ සේවාව භාවිත කරන්නන්ගේ පිරිස ශීඝ්‍රයෙන් අඩුවෙමින් තිබේ.
දෙදහස් හතේදී හුවමාරු වූ ටෙලිග්‍රෑම් සංඛ්‍යාව විසිනව ලක්ෂ අනූ අට දහස් දෙසීය විසි හයකි. දෙදහස් දොළහ වන විට එම සංඛ්‍යාව දහසය ලක්ෂ අසූ තුන් දහස් එකසිය පනස් හය දක්වා ශීඝ්‍රයෙන් පහළ බැස්සේය. විදුලි සංදේශ අමාත්‍යංශය කියන හැටියට මේ වසරේ ජනවාරියේ සිට ජූලි දක්වා භාවිතා කළ මුළු විදුලි පණිවුඩ ගණන අටලක්ෂ තිස් අට දහස් තිස් අටකි. මේ සංඛ්‍යා ලේඛන අනුව පැහැදිලි වන්නේ විදුලි පණිවුඩ සේවාව පණ අදිමින් සිටින බවය. තැපැල් දෙපාර්තමේන්තුව කියන හැටියට විදුලි පණිවුඩ යැවීමේ මුදල එන්න එන්නම වැඩි වනවා මිසක් අඩුවීමක් නැත. විදුලි පණිවුඩයක් යැවීමට ඔවුන්ට වැය වන මුදල රුපියල් දෙසිය පනහකට වැඩිය. එනමුත් විදුලි පණිවුඩයක් යැවීම සඳහා පළමු වචන දහයටම අය කරන්නේ රුපියල් තුනකි. එතැන් සිට වැඩි වන හැම වචනයකටම ශත විසි පහ බැගින් අය කෙරේ.
තැපැල් කන්තෝරුවලින් විදුලි පණිවුඩ යැවීමට අමතරව නිවසේ හෝ කාර්යාලයේ සිටද විදුලි පණිවුඩ යැවීමේ ක්‍රමයක් විදුලි සංදේශ ක්‍ෂේත්‍රයේ දියුණුවත් සමග හඳුන්වා දුන්නේය. ටෙලිකොම් දුරකථනයකින් 1212 කෙටි දුරකථන අංකයට කතා කර අංක 7 දිගුව ඔස්සේ විදුලි පණිවුඩ වෙන් කර ගැනීමට එම ක්‍රමයෙන් හැකි විය. පළමු වචන දහයට රුපියල් හතරයි ශත හැත්තෑ පහක්ද වැඩි වන සෑම වචනයකටම ශත විසිපහක අමතර ගාස්තුවක්ද ඊට අය කෙරුණි. එම මුදල එකතු වන්නේ මාසික දුරකථන බිල් පතටය.
මෙකල නම් විදුලි පණිවුඩ සේවාව වැඩියෙන් භාවිතා කරන්නන් අතරේ ඉදිරියෙන්ම සිටින්නේ රැකියාවල නිතර වූවන්ය. මක්නිසාදයත් කලින් නොදන්වා සේවයට නොපැමිණි අයකුට ඒ බව ලිඛිතව දැනුම් දීමට තිබෙන හොඳම නීත්‍යනුකූල ක්‍රමය වන්නේ සේවා ස්ථානයට විදුලි පණිවුඩයක් යැවීමය. තොරතුරු තාක්ෂණය මේ සා දියුණු නැති කාලයේ රැකියාවල නිරත වූවන්ට හදිසි නිවාඩුවක් ගැනීමට ඕනෑ වූ විට පිහිට වූවේද විදුලි පුවතය. ඒ තම ඥාතියකු මියගිය බවට බොරු විදුලි පුවතක් කිසිවෙකු ලවා කාර්යාලයට ලැබිමට සැලැස්වීමෙනි.
තාක්ෂණයේ දියුණුවත් සමග දැන් දැන් විදුලි පුවත් අවලංගු කාසියක් බවට පත්වෙමින් තිබේ.
ගිය වසර වන විට ලංකාවේ තිබෙන ස්ථාවර දුරකථන ගණන තිස් හතර ලක්ෂ හතළිස් නව දහසකි. භාවිතා කරන ජංගම දුරකථන ගණන දෙකෝටි තුන් ලක්ෂ විසි හතර දහසකි. මේ දියුණුව බලන විට නම් හදිසි පණිවුඩ දීමට විදුලි පුවත් දැන් ඕනෑ කරන්නේ නැත. එනමුත් රැකියාවල නිරත වූවන් පෙන්වා දෙන්නේ හදිසි නිවාඩුවක් ගැනීමේදී ලිඛිතව තිබෙන එකම නීත්‍යනුකූල ක්‍රමය විදුලි පුවත් සේවාව බවය.
කෙසේ නමුදු තැපැල් අමාත්‍යංශය කියන්නේ ඔක්තෝබර් තිස් එක්වැනිදා විදුලි පුවත් සේවාව අවසන් ගමන් යන බවය. එය එසේ වුවත් ටෙලිමේල් නමින් විදුලි පුවත්වලට වඩා කාර්යක්ෂම සේවාවක් හඳුන්වා දෙන බව තැපැල් අමාත්‍යංශය කියන්නේය.
මිහිරි ෆොන්සේකා
Lakbima