Google වල Sex හොයලා ලංකාව 1 වීම ගැන නියම​ අදහස්

පසුගියදා, අන්තර්ජාලය ලංකාවට ජංජාලයක් වෙන පුවතක් පළ කළා. ලෝකෙන්ම සෙක්ස් හොයල ලංකාව පළමුවැනිය වෙලා. අහපු ගමන් එක පාරට හිනා ගියා. මේ ඇතුළෙ වෙනමම සමාජ විද්‍යාත්මක හේතුවක් තියෙන්න ඕනෙ. ඊට ලැබුණ බොහෝ ප්‍රතිචාර මත අපිට හිතුණ මේ රටේ සිවිල් බලයක් තියෙන කීප දෙනෙක්ගෙන් අදාළ ප්‍රස්තුතය ගැන අහල බලන්න. බොහෝ අය අදහස් ප්‍රකාශ කරන්න බෑ කියද්දි මේ පිළිබඳ තමන්ගෙ මතය ඉදිරිපත් කළ සිවිල් බලධාරීන්ට, බලධාරිනියන්ට අපි ස්තුතිවන්ත වෙනව.

 

හිත ආගමට දහමට යොමු කරන්න – මංජුලා කුමාරි

මට නං මේ දේ හිතාගන්න බෑ. මම අපේ තරුණ පරපුරෙන් ඉල්ලා හිටින්නෙ රාගයට ඇබ්බැහි වෙන්න එපා. පුළුවන්තරං ආගමට දහමට හිත යොමු කරන්න කියල.

 

මා නමැති වැඩිහිටියා භද්‍ර යෞවනය කලදී ලිංගික කුතුහලය දැනී තිබෙනවා – ජැක්සන් ඇන්තනී

මුලින්ම අප කළ යුත්තේ අන්තර්ජාලය හරහා ලැබුණු මේ වාර්තා දත්ත නිවැරැදි දැයි පරීක්‍ෂා කිරීමයි. අන්තර්ජාලය හරහා ලබාදෙන සියල්ල සත්‍යය නොවේය යන්නට මෑත ඉතිහාසය තුළත් ඕන තරම් උදාහරණ තියෙනව. ලෝක විනාශය පිළිබඳ වැඩිපුරම වාර්තා වුණේ අන්තර්ජාලයේ. ලෝක ජනගහනයෙන් 10%ක් ඒ කියන්නෙ කෝටි 7ක් මෙය පරම සත්‍යයක් ලෙස විශ්වාස කළා. ඒ නිසා අප පළමුව මේ පිළිබඳ විධිමත්ව සොයා බැලිය යුතුයි.

හරි අපි හිතමු මේ වාර්තා නිවැරැදි බවට සහතික වුණා කියලා. පැහැදිලිවම මම බරපතළව තැතිගත් බව සඳහන් කරන්නම ඕන. මේ පිළිබඳ ටිකක් ගැඹුරට ගිහිං බැලුවාම තමයි තවත් බිහිසුණු දේවල් එළිවෙන්නෙ. SEX කියන වචනය අන්තර්ජාලයේ අපේ අය හොයල තියෙන්නේ වැඩිපුරම අප්‍රේල් හා අගෝස්තු මාසවල. ඒ කියන්නෙ පාසල් නිවාඩු මාසේ. මේ කාරණේදී මා ඇතුළු වැඩිහිටි පරම්පරාවට දොස් නඟනවා. අපේ ඊළඟ පරම්පරාව රැක ගැනීමේ නොහැකියාව පිළිබඳ. ඒ විතරක් නොවෙයි තමන්ගේ දරුවට වසංගත රෝගයක් වැලඳී ඇති බවට ලැබුණු වෛද්‍ය වාර්තාවක් පිරික්සූ පියෙක් මෙන් කලබල වෙනව.

අන්තර්ජාලය නිවැරැදිව භාවිත කරන්න වැඩිහිටියන් දන්නේ නෑ. පරිගණක සාක්‍ෂරතාව ඉතා අඩුයි. යම් හෙයකින් මේ පුවත මූලික කරගෙන මගේ රටට කුමන හෝ ක්‍රමයකින් අන්තර්ජාලයට යෑමට වැට බැ‍ඳෙනවනං ඒක තවත් ඛේදවාචකයක්. නිවැරැදිව අන්තර්ජාලය භාවිතකොට ලබා ගතහැකි දෑ බොහොමයි. මා යෝජනා කරනව වැඩිහිටියන්ට මුලින්ම පරිගණක අධ්‍යාපනය, සාක්‍ෂරතාව ලබාදිය යුතුයි. ඔවුන් හරහා දරුවා වෙත පරිගණකය ළඟා කළ යුතුයි.

සඳහන් කළ යුතු තවත් කරුණක් තමයි, ලංකාවෙ ලිංගික අධ්‍යාපනය ඉතා දියුණුයි. දකුණු ආසියාවෙ ඇතැම් රටවලට සාපේක්‍ෂව බොහොම හොඳ මට්ටමක තියෙනව.

මා නමැති වැඩිහිටියාට පවා භද්‍ර යෞවන අවධියේදී ලිංගික කුතුහලය දැනී තිබෙනවා. එහෙම දැනුණු පමණින් ඒවා අපල වෙන්නෙ නෑ. කෙසේ වෙතත් මේ පුවත හරහා මගේ රටට වුණ අපකීර්තිය පිළිබඳව තවම මා කම්පනයෙන් ඉන්නෙ.

 

අපි කොච්චර වංචනිකද මේ විෂයට හා නොදැනුවත් කියල පේනව – අශෝක හඳගම

අපි වාරණය කරල රැකගන්න හදන වටිනාකමේ පිළිඹිඟුව තමයි ලෝකයා හමුවට ඇවිත් තියෙන්නෙ. මේ වාර්තාව හොඳින් බැලුවාම පේනව ඔච්චර උනන්දුවෙන් ලිංගිකත්වය පිළිබඳ හොයන්නේ අපි වගේ සංස්කෘතික වාරණයක් තියෙන රටවල් කියල. මේ අමාරුව චීනයට ජපානයට නෑ. මේ වාර්තාවෙන් තවත් දෙයක් පේනව. ඒ තමයි අපි මේ විෂය පිළිබඳ ඇති නොදැනුවත්කම. මොකද googleවල SEX කියල search කරල වැඩක් නෑ. ඒකට වෙන වචනයක් තියෙනව. අපේ අය ඒක දන්නෙත් නෑ. අපේ අය විතරක් නෙවෙයි පෙරදිග බොහෝ රටවල් මේ විෂය පිළිබඳව පුදුමාකාර ලෙස අවිධිමත්. මේ වාර්තාව එයට හොඳ උදාහරණයක්.

 

රටක් හැටියට අප ලද පරාජයක් – රංජන් රාමනායක

සාමාන්‍යයෙන් අපි අංක එකට එනව කිව්වාම හැමදාම සතුටු වුණා. ඒත් අද දුක් වෙනව. අංක එකට ඇවිල්ල. මතකද වර්ල්ඩ් කප් මැච් එකේදි අපි ඉන්දියාවට පැරදුණා. එදා අපි දුක් වුණා. අද අපි ඉන්දියාව වෙන පැත්තකින් පරද්දලා. ඒත් කෝ සතුටක්. කෝටි 200ක් අපි කෝටි දෙක එකතුවෙලා පරද්දල. අවුරුදු 2,500ක ශිෂ්ටාචාරයක් තියෙන රටක් හැටියට මේක අපි ලබපු පරාජයක්. ඩෙක්ස්ටොප් එකට තිබුණු ඉන්ටනෙට් අද ලැප්ටොප් එකටත් දැං මොබයිල් එකටත් ඇවිල්ලා.

තවත් වැදගත් කාරණයක් තමයි මේ වාර්තාවට අනුව මේ ප්‍රශ්නය තියෙන්නෙ දකුණු ආසියාතික රටවලට වීම. ප්‍රංශයට මේ තත්ත්වය 5%ක්වත් නෑ. ඔවුන්ට මෙහෙම ප්‍රශ්නයකුත් නෑ. තියනවනං නීතිමය ක්‍රමවේද වැඩි කරල ඊට විසඳුම් ලබාගෙන තියෙනව.

 

 මම මීට අවුරුදු 10කට කලින් මේ ගැන කිව්වාම වැඩිහිටියන්ට පමණයි ලේබලයට දැම්ම – ඉනෝකා සත්‍යංගනී

ලිංගිකත්වය සොබාදහමෙන් ලද දෙයක්. එය සොබාදහමේ තීන්දුවක්. ජීවත්වෙන නිරෝගිමත් මිනිසෙකුට ජලය, වාතය, ආහාර, ලිංගිකත්වය අනිවාර්යයි. අපි අනිත් හැමදේ ගැනම කතා කරල ලිංගිකත්වය ගැන කතා නොකර ඉන්නව.

මම මේ ගැන කතා කළේ මීට අවුරුදු 10ට කලිං. එදා, මගේ වටේට වැටක් බැඳල සුළං කිරිල්ලි චිත්‍රපටය 18ට වැඩි අයට ඒ කියන්නෙ වැඩහිටියන්ට පමණක් සීමා කළා. මේ හේතුව නිසා කොල්ලො කෙල්ලො ෆිල්ම් එක බලන්න හෝල් එකට එන්න බය වුණා. මොකද අපේ රටේ වැඩිහිටියන්ට පමණයි කිව්වාම සමහරු හිතන්නෙ කුණුහරුප කියල. අපි මේ සංස්කෘතිය කියල රැකගන්න උත්සාහ කරන දේට නේද ගල් වදින්නේ. ඇයි එහෙම වෙන්නෙ. එහෙම නොවෙන්න දැන්වත් මොනවද කරන්න ඕනෙ කියල හිතල බලන්න හොඳ කාලයක්.

 

 වැඩියෙන්ම ඉඥය හොයපු අයගෙ නම් ටිකක් ගත්ත නං කාගෙන්ද මේ පිළිබඳ විමසන්නෙ කියන ප්‍රශ්නය ඒවි – මනුරංග විජේසේකර

සකල ශ්‍රී ලංකාවාසී ජනතාවට මේ ලබපු ජයග්‍රහණය ගැන මගේ උණුසුම් සුබ පැතුම්. සංස්කෘතිය රැකගෙන බස්වල ජැක් ගහන අන්කල්ලට සමහරවිට රිදෙනව ඇති. දෙසැම්බර් 31 වැනිදා රෑ යාළුවො කට්ටිය සෙට් වෙලා යතුරු මාරු කරගෙන ලැබෙන යතුර අයිතිකෙනා සමඟ විනෝද වෙලා උදේට පත්තරවලට ඊ.ඍ.වලට සංස්කෘතිය ගැන කියන නෝටි ඇන්ටිලාට දුක ඇති.

ඉන්දියාවෙ කෝටි දෙසීයක් පරාද කරල අපි පළමුවැනිය වෙනව. බිලියන 7 ලෝක ජනගහනය අතරින් අපේ මිලියන 20 එකට එනව. ඉස්සර කිව්වෙ වර්ල්ඩ්කප් දිනපු රට, සුසන්තිකා ඉන්න රට කියල. දැං සෙක්ස් හොයල දිනපු රට වෙලා. එහෙම හොයන්නෙ ලෝකෙන්ම අපේ රටේ තමයි සෙක්ස් හංගල තියෙන්නෙ ඒකයි. අධ්‍යාපනයක් නෑ. කුතුහලය විතරයි. අම්මට කිරි එකට නිදි පෙති දාල පුතාල තිරිසන්නු වුණ සමාජයක්. දෙවියන්ට බාරවෙලා ළමයි ඉල්ලන කාන්තාවන් ඉන්න රටක්. සෙක්ස් හොයාගෙන දරුවො දෙන්නා පණපිටින් පුච්චනවා. මම නං කියන්නෙ හැමදාම පළමුවැනියට හිටියත් කමක් නෑ මෙහෙම දේවල් සිදුනොවී.

අනිත් කාරණේ තමයි මේ රිසර්ච් එක කරපු අයගෙන් වැඩිම සෙක්ස් හොයපු අයගෙ නාමලේඛනය ගන්නකෝ. පුළුවන් නම් අන්න වැඩේ. සමහරවිට එතකොට කාගෙන්වත් මේ ගැන පත්තරේට අදහස් ගන්නවත් පුළුවන් වෙයිද දන්නෙ නෑ.

 

 අපි සෙක්ස් හංගල, නවල, ඔතල, ඒක උඩ වාඩිවෙලා නවගුණවැල අතේ තියාගෙන ඉන්නේ – කමල් අද්දරආරච්චි

ලංකාව සෙක්ස් හොයල ලෝකෙන්ම පළමුවැනිය වුණ එක පුදුමයක් නෙවෙයි. අපිට හරියාකාර ලිංගික අධ්‍යාපනයක් නෑ. සදාචාරාත්මක ප්‍රශ්න නිසා කතිකාවතක් නෑ. තාම අපේ රටේ අයට

ළමයි හම්බවෙන්නෙ රෝස කැලෙන්. ‘මේ ළමයා කොහෙන්දෝ, රෝස කැලෙන් ගෙනාවෝ’ තමයි. සෙක්ස් කියන එක නවල, ඔතල, හංගල ඒක උඩ වාඩිවෙලා නවගුණවැල අතේ තියාගෙන ඉන්නෙ නැතුව විෂයක් විදියට ලිංගික අධ්‍යාපනය ලබාදීම වගකීමක්.

උපුටාගැනීම – මව්බිම යං අතිරේකය 

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...