කළු-මහත-උස-වයසක භූතයෙක් බළන්ගොඩම බය කරගෙන

සැන්දෑවේ තනි මඟ යනෙන සහ සිටිය කාන්තාවෝ කිහිප දෙනකු පමණක් නොව පිරිමි කීප දෙනෙකුත් මේ අද්්භූත ආගන්තුකයා දුටුව බව ගම්වාසීහු පවසති. මේ භූත බිය නිසා ගම්වාසී කිසිවකු සැන්දෑකාලය වනවිට තනිමඟ නොයන බව දැනගන්නට ඇත. කාන්තාවන් ළිඳකට පවා යන්නේ තවකකුගේ රැකවල් පිටය. භූතයාට බිය වූ කාන්තාවන් කීප දෙනකුට ශාන්තිකර්මද සිදුකර ඇත.

හවස පහෙන් පසුව ගම්මානයේ කොතනින් හෝ මේ අද්භූත රුව දකින්නට ලැබේ. ඒ රුව වයෝවෘද්ධ අයෙකුගේ කළුය, මහතය, දකින ක්‍ෂණයෙන්ම අතුරුදන් වෙයි. මේ බිය වැඩිපුර පැතිරී ඇත්තේ වෙලඟේ නෙත්තිමැල්වත්තේ ජනතාව අතරය. අද්භූත රුව දෑසින් දුටුව ආර්. හල්ලි මිය මෙසේ කීය. එදා රාත්‍රි හතට විතර කෑම කාලා පිඟාන හෝදන්න එළියට ආවා. එනකොට ගේ ඉස්සරහා කළු මහත උස කෙනෙක් ඉන්නවා දැක්කා. මුහුණ හරියටම පේන්නේ නැහැ. මා දකිනවාත් එක්කම මෙයා එකපාරටම අතුරුදන් වුණා. ඊට දවස් තුනකට පස්සේ අපේ අයියාගේ ගේ ළඟ වතුර ටැප් එක ළඟත් මේ මනුස්සයා ඉන්නවා දැකලා මට එකපාරටම කෑගැහුණා. එතකොටම මේ මනුස්සයා අතුරුදන් වුණා.

මෙම අද්භූත රුවට බියවූ ගීතා ජෝසප් මහත්මියට නූල් මැතිරීමටද සිදුවිය. ඇය මෙසේ කීය. මම හවස හයට විතර කඩේට යනකොට කුරුඳු කැලය මැදින් ආපු උස මහත මනුස්සයෙක් මා දිහාම බලාගෙන ඉන්නවා දැක්කා. එකපාරටම අතුරුදන් වුණා.

නෙත්තිමලේ වත්තේ ශෂිකලා මිය මෙසේ කීය. අපිට දැන් ළමයෙක්වත් එළියට පහළියට යවන්න බයයි. දැන් මාසයකට උඩදී තමයි ඔය භූතයා මුලින්ම දැකලා තියෙන්නේ. දැන් සති දෙක තුනක ඉඳලා ළඟ ළඟම දැකලා තියෙනවා. ගමේ ගුරුවරියකුයි, සමෘද්ධි මිසුයි මේ රූපය දැකලා තියෙනවා. කලින් අපේ වත්තට විතරයි මේ කරදය තිබුණේ දැන් වෙනකොට වෙලඟෙ, පහළගම, රුක්අත්තන ආදී ගම්මානවලටත් පැතිරිලා. භූතයා අතුරුදන් වුණ කැලෑවල ගමේ අය කණ්ඩායම් හැදිලා හෝදිසි කළත් මෙහෙම කෙනෙක් ගැවසුණ බවට සලකුණක්වත් හම්බ වෙලා නැහැ. ගමේ කාන්තාවෝ වගේම පිරිමි උදවියත් මේ භූතයව දැකලා තියෙනවා.”

නෙත්තිමලේවත්ත, වෙලඟ, පහළගම, රුක්අත්තන ප්‍රදේශ භීතියට පත්කරමින් යන භූතයා කවුරුදැයි තොරතුරු නොබෝ දිනකින්ම හෙළිවීමට ඉඩ ඇත. ප්‍රදේශයට යාබද පනන්කන්ද ප්‍රදේශයේ ජීවත්වන දඩයක්කරුවකුට මෙසේ බිය වෙන්නට ඇතැයි සිතන තවත් පිරිසක් ඇත. මෙම අද්භූත රුව දෑසින් දුටුවා දැයි පවසන ඇතැම්හු මාධ්‍යයට ප්‍රකාශ දීමට මැළි වෙති. සැබෑම භූතයකු යැයි මිථ්‍යා මතයේ සිටින බොහෝ දෙනා හේතුවෙන් මේ අද්භූත ආගන්තුක චරිතයට මුවාවී වෙනත් අපරාධයක් සිදු කිරීමට යම් කණ්ඩායමකට බැරිකමකුත් නැත. මේ භූත වසංගතය තවදුරටත් පැතිරී යෑමට ඉඩ නොදී සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීම බලධාරීන් සතු වගකීමකි.

සටහන – වැලිගෙපළ – මැණිකේ කොළොම්බුගම (උපුටාගැනීම මව්බිම පුවත්පත​)

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...