පළාත් සභා දෙකක් පත්කර ගැනීමට මැතිවරණ පැවැත්වෙන මේ සමයෙහි ඡන්දයේ වටිනාකම එන්න එන්නම ඉහළ යමින් පවතී. වර්තමානයේ ඒ ඡන්දය ඉහළ යන්නේ ජනතාවගේ වාසියට නොවේ. ආණ්ඩුවේ වාසිය සඳහාය. ආණ්ඩුවෙන් ඡන්දය ඉල්ලන අපේක්ෂකයන්ම ඡන්ද ලබා ගැනීමට වරදාන බෙදති යැයි චෝදනා කරති. රටේ නීතිය අනුව ඡන්දයක් අපේක්ෂාවෙන් වතුර කෝප්පයක් හෝ දීම වරදකි.
එහෙත් මහනුවර ජනාධිපති මන්දිරයට කතා කළ හැකි නම් පැවැත් වූ දන්සල් ගණන සහ ඊට වැය කළ මුදල් කොපමණදැයි කියනු නොඅනුමානය. 2013 සැප්තැම්බර් මස 21 වෙනි දින පැවැති පළාත් සභා මැතිවරණයේදී වයඹ මධ්‍යම පළාත් දෙකේ ඡන්ද ආණ්ඩුව මහ ඉහළින් දිනා ගත්හ. එයින් වයඹ කුරුණෑගල ඡන්දය දිනා ගත්තේ විපක්ෂයේ දුර්වලකම කියා හෝ එජාපයෙන් ඩැහැගත් දයාසිරි ජයසේකරගේ හැඩ වැඩ සමග ඔහුගේ ගීත අසන්නට සලස්වලාත් නොවේ. කුරුණෑගල ගම්වල දියත් වුණේ වෙනත් ඡන්ද උපක්‍රමයකි. ඒ දයාසිරිගේ බෞද්ධාකම සහ ජෙහාන් පෙරේරාගේ අබෞද්ධ කම එකට හප්පා වාසිය ගැනීමකි. ආණ්ඩුවේ කූප්‍රකට සාත්තරකාරයා ජෙහාන්ගේ වේදිකාවට ගැන ජොහීගේ පුතා මහ ඇමැතිවන බවට හූනු සාත්තර කියවීය. ඉන්පසුව තව තැනක දයාසිරි මහ ඇමැති බවට ඉඟි කළහ. ඉන්පසුව ගම්වැසියන්ට පුංචි තේරවිල්ලක් මුදා හළහ. තේරවිල්ල මෙසේය. කොහොමටවත් වයඹ මහ ඇමැති පත්වන්නේ කුරුණෑගලිනි. මෙවර මහ ඇමැති ක්‍රිස්තියානි ජෙහාන්ද? බෞද්ධ දයාසිරිද? කුරුණෑගල ජනතාව සිය ආගම ධර්මය සිහි කැරගෙන බුලත් කොළය දිනවූහ. අන්තිමේ වයඹ සන්ධානය ජය ගත්හ.
එහිදී රාජපක්ෂවරු උපයෝගී කර ගත්තේ ලොකු න්‍යායක් හෝ ක්‍රමවේදයක් නොවේ. ඉස්සර පාසල් පොතක තිබුණ පුංචි පාඩමකි. හා හා හරි හාවා නම් පාඩමට අනුව හාවෙකු මහ කැලයක ජීවත් විය. ඒ කැලය හරහා ගලන මහ ගඟකි. එක් හාවෙකුට ඒ ගඟෙන් එගොඩවීමට වුවමනා විය. එහෙත් සුපුරුදු තනි පිම්මකින් ගඟෙන් එගොඩ විය නොහැකි තරමට ගඟ පළල්ය. ඒ බව තේරුම්ගත් හාවා ගං ඉවුරට පැමිණ නිතර දත් විරිත්තා සිනාසෙන කිඹුල් මොටෙකුට කතා කළේය. යාළුවා දන්නවාද දැන් මේ ගඟේ කිඹුලන්ට වඩා කැලේ හාවුන් වැඩියි කියලා. මෝඩ කිඹුලාට ඒ කතාව අසා කේන්ති ගියේය. කෙහෙම්මල හාවුන්ට වඩා කිඹුල්ලු වැඩියි කියා වාද කළේය. අන්තිමේ දෙන්නා එකතුව කිඹුලන් ගණන් කර බලන්නට තීරණය කළහ. කතිකාව අනුව කිඹුලන් සියලු දෙනා ගඟේ එක පිළිවෙළට සිටිය යුතුවේ. හාවා කිඹුලන් ගණන් කරනු ඇත. වැඩේ. ඒ විදිහයට සිද්ධ විය. අපේ හාවා පිමි තුන හතරකින් ගඟ තරණය කර කැලේමාරු විය. ඒ සමග අර මෝඩ කිඹුලා කිඹුලන් කී දෙනාද ඇසීය. මේ කතාව අර ඉස්කෝලේ පොතේ ලියා තිබුණේ කවියෙනි. ගඟින් එතෙරව කැලේ මාරු කළ හාවා දුන් කවි උත්තරය මෙහෙමය.
හාවුන් වැඩි වුණත් එකයි
කිඹුලන් වැඩි වුණත් එකයි
මට ඕනෑ කළේ එකයි
එගොඩට පැන ගන්න එකයි
රාජපක්ෂවරු ඒ විදියට වයඹ දිනා ගත්තේ එහෙමය. ඔවුන් බස්නාහිර දකුණ දිනා ගන්නට උත්සාහ කරන්නේත් එහෙමය. ඡන්ද ගැන්නාට පසුව සේරම ඉවරය. ජනතාව රාජපක්ෂවරුන්ට දිනා දුන් වයඹ පාලනය කෙසේද? වෙනස් වෙලාද? ජනතාවාදීද? නැත. නැත. වයඹ නව මහ ඇමැති වුණාට දයාසිරි ජයසේකර කෙනෙක් එහි නැත. ඇත්තේ රාජපක්ෂලාගේ රටේ පාලනයේ සෝදාපාලුව පමණකි. ඒ ටිකම මෙවර බස්නාහිරත් දකුණෙත් ක්‍රියාත්මක කරති. දෙපළාතේම මහ ඇමැතිවරු දුසිම් ගණනකි. හැම පුරවැසියාම තම ප්‍රදේශයටම මහ ඇමැතිකම ගන්න කැමතිය. එයට අමතරව කොළඹ ශ්‍රී ලංකාකාරයන් කොඩිකාරට ඡන්දෙ දෙති. කොඩිකාරට අකමැති අය ගම්මන්පිලට ඡන්දෙ දෙති. දෙපිරිසම පෝලිමේ ගොස් කතිර ගසන්නේ බුලත් කොළයටය.
අන්තිමේ ජයග්‍රාහී රාජපක්ෂවරු වයඹ මෙන් මේ පළාත් දෙකට අත යටට ගනිති.
කුරුණෑගල ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ විදුහල්පති මේ වනවිට සිටින්නේ ඇප මතය. ඔහු අත්අඩංගුවට ගත් කාරණාව ගැන තවමත් පරීක්ෂණ අවසන් කර නැත.
එහෙත් ඔහු සම්බන්ධව ජාතික ළමා රක්ෂණ අධිකාරිය අධිකරණයට ගොනු කළ වාර්තාවේ දක්වා ඇත්තේ බරපතළ සිද්ධීන් රාශියකි. අදවන විටත් කුරුණෑගල ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති ඩබ්.එම්. සමන් ඉන්ද්‍රරත්න මහතා සේවයෙහි යෙදී සිටිති. හෙවත් ගන්න පඩියට වැඩක් ගන්නේ නැත. එහෙත් ආණ්ඩුවේ කන්තෝරුවක පැමිණීමේ ලේඛනයක පිටවීම පැමිණීම අත්සන් කරනවාය. ඔහු සිය නිල රාජකාරියට නොගැළපෙන නොකළයුතු සිද්ධි ගණනාවකට චෝදනා පෙළකට සැකකරුව සිටී. ඒ සිද්ධි හෝ ක්‍රියා ගැන රටම දනිති. ඒ ගැන මේ වනවිට පරීක්ෂණ සිදුවේ. අවසානයෙහි ඔහු නිදොස් කොට නිදහස් විය හැකිය. එය වෙනම කතාවකි. මේ සැකකාර විදුහල්පති අධිකරණයෙන් ඇප ලබාගෙන පාසලට පැමිණියේ පෙරහරෙකිනි. හරියට ඡන්දයක් දිනුවා වාගේය. මේ තත්ත්වය ගැන ගොරක දඩමස් කරමින් සිටින්නේ වයඹ පළාත් සභා පරිපාලනයයි. වැරදිකරුවන් වීරයන් ලෙස හැසිරෙන්නේ යහපාලනය නැතිකම නිසාය.
සිද්ධිය පටන් ගන්නේ අර දැරිවිය දිවිනසා ගැනීමෙනි. ඒ සමග මහා විරෝධයක් දියත් විය. ඒ විරෝධය නැගුණේ පාසලට එරෙහිව නොවේ. පාසලේ විදුහල්පතිට එරෙහිවය. එක් දිනයක් ගවෛන්නට පළමුව පොලීසිය විදුහල්පති වෙනුවෙන් පෙළ ගැසිණ. එහෙත් ජනතා විරෝධය මැඩීමට අසමත් වූ පොලීසිය උසාවි ගියේය. ඒ පාසල ඉදිරිපිට විදුහල්පතිට එරෙහිව කෙරෙන උද්ඝෝෂණය තහනම් කිරීමටය. හේතුව ලෙස දැක්වුණේ විදුහලට අයත් රජයේ දේපළ ආරක්ෂාවය. දෙවැන්න විදුහලේ ෙදෙනික ක්‍රියාවන්ට ඇති බාධාවන්ය. සියල්ල සලකා බැලූ කුරුණෑගල මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා පොලීසියේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය. එහිදී හේතුකාරණා ලෙස දැක්වුණේ වර්ජන උද්ඝෝෂණ මානව හිමිකම් බවය. සිද්ධියට පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් වයඹ මහ ඇමැතිවරයාත් කීවේ ෆේස්බුක් වැනි නූතන තාක්ෂණය අතර දරුවන් ගැවසීම ගැන දෙමාපියන් වගබලා ගත යුතු බවය.
මේ ප්‍රකාශ දෙකම නිකුත් වන්නේ රජය වෙනුවෙනි. ඒ පාලකයන් දෙදෙනාම අර පාසලේ විදුහල්පතිට එරෙහි චෝදනා ගැන කිසිවක් කියා නැත. එහි ප්‍රතිඵලය කුමක්ද? කුරුණෑගල ජෝන් කොතලාවල මහා විද්‍යාලය ඉදිරිපිට දෙමාපියන් දෙපිරිසක් උනුන් මරා ගැනීමය. එක් පිරිසක් වෙනූෂා ඉමන්දි බණ්ඩාර දැරිය වෙනුවෙනි. දෙවන පිරිස පාසලේ විදුහල්පති ඩබ්.එම්. සමන් ඉන්ද්‍රරත්න මහතා වෙනුවෙනි. ආරවුල ඇතිවුණේ දැරියගේ අභාවය නිසාය. දෙවන කණ්ඩායම වීදි බැස්සේ ඇයි? විදුහල්පතිගේ ආරක්ෂාව සඳහා පොලීසිය අපේක්ෂා කළ නියෝගය අධිකරණයෙන් නොලැබුණ නිසාය. පාසල, විදුහල්පති සහ පොලීසිය ආණ්ඩුවේය. පළාත් සභාවත් ආණ්ඩුවේය. මෙයින් හෙළිදරව් වන හාස්‍යය හෝ ඛිෙදවාචකය මතු කරන්නේ එකම ප්‍රශ්නයකි. ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින්නෝ දරුවෙකුගේ මරණයකට හේතුව නොතකා හරින නරුමයන්ද යන්න නොවේ. වර්තමාන පාලකයන් ප්‍රශ්න විසඳන්නේ මෙහෙමද කියාය. මේ විදියේ පාලනයකට ජනතාව ඡන්දය දියයුතු නැත.
වයඹ මහ ඇමැතිකමෙන් අතුල විජේසිංහ ඉවත් කළේ ජනතාවට අවශ්‍ය නිසාය. සමහරවිට වැඩ බැරි නිසා විය හැකිය. තුන් ලක්ෂ ගණනක් මනාප දී දයාසිරි ජයසේකර පත් කර ගත්තේ ජනතාවට අවශ්‍ය නිසාය. නව අපේක්ෂාවකිනි. එහෙත් මහ ඇමැති වෙනස් වුණාට පළාත් සභා පාලනය වෙනස් වෙලා නැත. කවුරු මහ ඇමැති වුණත් පාසල් පාලනය කරන්න මහ ඇමැතිට බලය නැත. කුරුණෑගල ජෝන් කොතලාවල මහා විද්‍යාල සිද්ධිය අනුව පාලකයන්ට පාසලක දරුවන්ට වඩා පාසලක විනයට වඩා රටේ නීතියට වඩා තකතීරු එහෙයියන් වටී. මෙහෙම කල්පනා කරන රාජපක්ෂ පාලනයට බස්නාහිර, දකුණ පළාත් සභා පාලනය භාර දී වෙනසක් අපේක්ෂා කළ නොහැකිය. ඔවුනට අවශ්‍ය කතිර ටික පමණකි. ඉන්පසුව වතුර ඉල්ලා සිටි රතුපස්වලට සිද්ධ වූ දේ, කුරුණෑගල ජෝන් කොතලාවල මහා විද්‍යාලයට සිද්ධ වූ දේ, වනාතමුල්‍ලේ සුමනධීර සුනිල්ට වෙච්ච දේ නැවත නැවත ඇසිය දැකිය හැකිවේ. තමන්ට හිතකර පාලනයක් ලබා දීමට ආණ්ඩුව අසමත් බව දැන්වීමට සුදුසු කාලය පැමිණ ඇත. තම කැමැත්තට කවුරු පත් කළද, අන්තිමට සිද්ධ වෙන්නේ අතුල විජේසිංහ වෙනුවට දයාසිරි පත්කළාවාගේ මායාවකි. යථාර්ථය මෙයයි. මේ ඡන්ද ප්‍රතිඵල කොම්පියුටර් ජිල්මාට් නම් නොවේ. නිදහස් සාධාරණ මැතිවරණ වෙති. සුද්ධ ජනතා තීන්දු වෙති. රාජපක්ෂවරු එක් වසරකට ඡන්ද දෙක තුන පවත්වති. ඒවා උදාහරණයට ගෙන අතිගරු ජනාධිපතිතුමා විශිෂ්ට ප්‍රශ්නයක් නගති. මෙච්චර ඡන්ද තියෙන රටේ මට ඒකාධිපතියා කියන්නේ ඇයි? ඒ ප්‍රශ්නය විවෘතව තැබිය යුතුව ඇත. අප ආණ්ඩුවට දිනාගත නොහැකි වූ උතුරු පළාත් සභා ඡන්දය වෙත හැරෙමු.
රාජපක්ෂ ආණ්ඩුව රටේ දකුණේ එක් වසරකට ඡන්ද හත අට පවත්වති. එහෙත් උතුරු පළාත් සභාව ගැන ඒ ප්‍රජාතන්ත්‍රවාදය තිබුණේ නැත. එහෙත් ජාත්‍යන්තරය හෝ දෙමළ ඩයස්‍පෝරාව මිස උතුරේ ජනතාවට පළාත් සභා ඡන්දය ලබා දුන්නේ රාජපක්ෂ ආණ්ඩුව නොවේ. එළඹි ඡන්දය දිනා ගැනීමට ආණ්ඩුව නොකළ දෙයක් නැත. එහෙත් විග්නේෂ්වරන් පිරිවරාගත් ලංකාවේ උත්තරාන්තයේ සාමාන්‍ය මිනිස්සු ආණ්ඩුවට සිය අකමැත්ත පළ කළහ. යන්න පාරක් නැතිව සිටි උතුරට කාපට් පාරවල් දිග හැර දුන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසිනි. එහෙත් උතුරේ ජනතාව පළාත් සභා ඡන්දයේදී කාපට් පාරවල් ලබාදීම අමතක කළහ. තුවක්කු ගත් එල්.ටී.ටී.ඊ.යෙන් තම දරුවන් මුදා ගත්තේ රාජපක්ෂ ආණ්ඩුව බව අමතක කළහ. ඔවුන්ට පාසල් තනා දුන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසිනි. එහෙත් උතුරේ ජනතාව පළාත් සභා ඡන්දයේදී තම දරුවන්ට පාසල් තනා දුන් බව අමතක කළහ. ප්‍රභාකරන් වනසා දැමූ දුම්රිය සේවය රාජපක්ෂවරු වහ වහා නැවත උතුරට ළඟා කළහ. එහෙත් උතුරේ ජනතාව පළාත් සභා ඡන්දයේදී දුම්රිය සේවය නැවත උතුරට ළඟා කර දීම අමතක කළහ.
එහෙම කළේ ඇයි සිවිල් පාලනයක වුවමනාව මෙන්ම සාමාන්‍ය මිනිසා සතු ආත්ම ගෞරවය ආණ්ඩුවට මතක් කර දීම පිණිසය. උතුරේ ජනතාව ආණ්ඩුව පරදවා බොහෝ දේ ලබා ගත්හ. ඒ නිසා එතෙක් වසා සිටි පාරවල් විවෘත කළහ. ඉවත් නොකළ බොහෝ හමුදා කඳවුරු ඉවත් කළහ. තවත් දකුණේ ආණ්ඩුවට උතුරට දැනෙන බොහෝ දේ කළහ. ඒ නිසාම පළාත් සභාවේදී ඉදිරිපත් වූ බොහෝ යෝජනා ඔවුන් සම්මත කර ගත්තේ ඒකච්ඡන්දයෙනි. එහිදී ඩග්ලස් දේවානන්දාලාත් රාජපක්ෂවරු දෙස බල බලා විග්නේෂ්වරන් සමග පෙළ ගැසුණාහ. ඒ ඇයි? ද්‍රවිඩ ජනතාවට උතුරේ ජනතා ප්‍රශ්න ඇති බව පළාත් සභා ඡන්දය හරහා ඩග්ලස් දේවානන්දාලාට තෙරුම් ගිය නිසාය.
බස්නාහිර දකුණු ඡන්දය හරහා දකුණේ මිනිස්සු උතුරේ ජනතාව දුන් පණිවුඩය තේරුම් ගත යුතුව ඇත. අධිවේගී මාර්ග, නැව් නොඑන වරායන්, යානා නොඑන ගුවන්තොටුපළ මෙන්ම ප්‍රකෝටි ගණන් පාඩු ලබන මිහින් ලංකා රටට දායාද කළාට රට සශ්‍රීක වෙලා නැත. දකුණේ මිනිසුන් සුරක්ෂිත නැත. දහසක් ප්‍රශ්න ඇත. ඒ බව ආණ්ඩුවට කියන්න මේ පළාත් සභා ඡන්දය අත් නෙහැරිය යුතු අවස්ථාවකි.
වනාතමුල්‍ලේ මිනිසුන් බය ගන්වන බව හැබෑය. එහෙත් කොළඹ නගරය අලුත් වෙමින් ඇත. එය රාජපක්ෂලාගේ හපන්කමකි. මුඩුක්කු ඉවත් කර කොළඹ හැම බිම් අඟලටම නිසි වටිනාකම් දෙති. එය රාජපක්ෂලාගේ හපන්කමකි. එහෙත් සියනෑ කෝරළේ පොළොවේ ජලයට විස මුසු කළ කර්මාන්ත ශාලා ඉවත් කරන්නට රාජපක්ෂලා සමත් වෙලා නැත. එළිපිට මැතිවරණ නීති කඩනු බලා සිටි මැතිවරණ කොමසාරිස් හෝ ආරක්ෂක ලේකම් ගෙදර යවන්නට රාජපක්ෂ ආණ්ඩුව සමත් වෙලා නැත. අල්ලස් ගත් බවට චෝදනා නැගෙන අල්ලස් කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි ගෙදර යවන්නට රාජපක්ෂ ආණ්ඩුව සමත් වෙලා නැත. තම දුව නුගේගොඩ අනුලා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව කරන්නට බලකළ ප්‍රතිභා මහානාම හේවා තවම මානව හිමිකම් කොමිසමේ වැඩ කරති. ප්‍රතිභා මහානාම හේවා ගෙදර යවන්නට රාජපක්ෂ ආණ්ඩුව සමත් වෙලා නැත. බාල පැට්රල්, බාල ඩීසල් වසර ගණනාවක සිට රටට ගෙන්වති. ඒ හොරුන් අල්ලන්නට රාජපක්ෂ ආණ්ඩුව සමත් වෙලා නැත. මේවා ජිනීවා නොගිය ලංකාවේ කඩපිල්වල කතා කරන ආණ්ඩුවට එරෙහි චෝදනාය. සුළු වාසියට හෙළ උරුමය ආදී දේශප්‍රේමී පක්ෂ ආණ්ඩුවේ කුණු සුද්ධ කරමින් ඡන්දය ඉල්ලති. ආගම්, දේශප්‍රේමය ආදී රටක් අවදි කරන හැම ප්‍රාණ ජීවයම මේ අංජබජල් පාලනය වෙනුවෙන් වීදි බැස ඇත. මේ සියල්ල අතර දේශීය වශයෙන් රාජපක්ෂ ආණ්ඩුව ජනතා ජයග්‍රහණ හරහා ලබාගත් පුද්ගලික ලාභ බොහෝය. තිස් අවුරුදු යුද්ධය නිම කිරීම වෙනුවෙන් රටේ ජනතාව බොහෝ දේ ආණ්ඩුවට පූජා කර හමාරය. එහෙත් ආණ්ඩුව තම කොටස ඉටුකර නැත. ඒ නිසාම උතුරේ ජාතියේ තීන්දුවක් දකුණේ බස්නාහිර ජනතාව ගනියි නම් ආණ්ඩුවත් රටක් දෙකම යහමගට යනු ඇත.
නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
(Lakbima)