නුගේගොඩ, හතේ කණුවේ, ජම්බුගස්මුල්ල මාවතේ පළවෙනි පටුමගෙහි මඳ දුරක් ඇවිද යන විට දැවැන්ත කොස් ගසකින් සෙවණ වුණු කුඩා තාප්පයක් සහ කළු පැහැති ගේට්ටුවක් සහිත නිවසක් දක්නට ලැබෙයි. මේ නිවසේ වසර ගණනක් පුරා සත්ව චිකිත්සාගාරයක් පවත්වා ගෙන යනු ලැබිණි. නමුත් කවදාවත් ‘සත්ව චිකිත්සාගාරය’ ලෙසින් හෝ ‘Animal Clinic’ යනුවෙන් සඳහන් කිසිදු බෝඩ් එකක් ගේට්ටුව අද්දර දක්නට ලැබුණේ නැත. එසේ වුවද පෝය දිනවල හැර සතියේ අන් සෑම දිනෙකම උදේ වරුවේ සහ සැන්දෑ වරුවේ සතුන් සඳහා ප්‍රතිකාර කරන ලද මෙම සත්ව චිකිත්සාගාරයට රෝගී සතුන්ගෙන් හිඟයක් නොවිණි. තිස් වසරකට අධික කාලයක් සතුන්ට ප්‍රතිකාර කර පළපුරුද්ද ඇති සුදුසුකම්ලත් ප්‍රවීණ පශු වෛද්‍යවරයකු මෙහි ප්‍රතිකාර කළ අතර මෙහි විශේෂත්වය වූයේ මෙම පශු වෛද්‍යවරයා, ප්‍රදේශයේ සෙසු පශු වෛද්‍යවරුන්ට වඩා දෙගුණයකටත් අඩු මිලක් අය කිරීම සේම දිළිඳු යැයි සිතෙන පුද්ගලයන්ගෙන් සත පහක්වත් අය නොකර සතුන්ට ප්‍රතිකාර කිරීමය. මෙබඳු සමාජයක ඉතා කලාතුරකින්වත් දක්නට නොලැබෙන අන්දමේ බෝසත් ගතිවලින් යුතු වූ මෙම පශු වෛද්‍යවරයා එස්.එස්.බි. දිසානායක හෙවත් සොමිසර සුන්දර බණ්ඩාර දිසානායකය. අද වනවිට මිහිපිට නොමැති මෙම අසිරිමත් මිනිසා පිළිබඳව කතා කිරිමට අප තීරණය කළේ උතුම් මිනිස්කම උදෙසා දක්වන උපහාරයක් ලෙසිනි.
වෛද්‍ය දිසානායක සිය ජීවිතයේ තුරුණු වියේදී නුගේගොඩ පදිංචියට ආවත් ඔහු හැදී වැඩුණේ ගාල්ලේය. ඔහුගේ පියා සමුපකාර පරීක්ෂකවරයෙකි.
මව ගුරුවරියකි. වෛද්‍ය දිසානායක ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේ දීප්තිමත් සිසුවෙක් විය.
උසස් පෙළ පළමු වතාවෙන්ම සමත් වූ මේ දීප්තිමත් සිසුවා විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට ඇතුළත් විය. ඔහු පශු වෛද්‍යවරයකු ලෙස සුදුසුකම් ලැබුවේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. වෛද්‍ය වෘත්තිය යනු හුදෙක් රැකියාවක්ම නොවේ. මෙම වෘත්තියෙහි නියුතු වන අය තුළ දයාව කරුණාව මෙන්ම හෘද සාක්ෂියට එකඟව වැඩ කිරීමේ ස්වභාවයද නිසගයෙන්ම පැවැතිය යුතුය. මෙය ඕනෑම වෛද්‍යවරයකුට පොදු තත්ත්වයක් වුවද අද එවැනි වෛද්‍යවරුනට වඩා දැකිය හැකි වන්නේ මුදල් අංක එක ලෙස සලකා මෙය සේවයක් නොව වෘත්තියක් පමණක් ලෙස සිතන පිරිස්ය.
නමුත් වෛද්‍ය දිසානායක එලෙස මුදල් ඉපයූ වෛද්‍යවරයකු නොවේ. ඔහුට මුදල් ඕනෑ තරම් උපයන්නට හැකියාව තිබිණි. ඒ ඔහු වෙත ප්‍රතිකාර පිණිස දිනපතා රැගෙන එන රෝගී සතුන් ගෙන් අඩුවක් නොතිබූ නිසාය. නමුත් සමහර අවස්ථාවලදී ඔහු අය කළේ තමන්ට එම රෝගී සත්වයා සඳහා වැය වූ ඖෂධවල මිල ගණන් පමණි. රෝගී සතුනට ශල්‍ය කර්ම පවා ඔහු එලෙස සිදු කළ අවස්ථා අපමණය. මෙම වෛද්‍යවරයාට සුඛෝපභෝගී යාන වාහන සුව පහසු මන්දිර කිසිවක් තිබුණේ නැත. වුවමනාවක් තිබුණා නම් ඔහුට එවැනි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නට බැරි කමක්ද නොතිබිණි. නමුත් එවැනි ජීවිතයක් ඔහු සැලකුවේ අමතර කරදරයක් හිස දරා ගැනීමක් ලෙසිනි. ඔහු ප්‍රිය කළේ සරල චාම් ජීවිතයකටය. එනිසා වෛද්‍ය දිසානායක තමන්ගේ ගමන් බිමන් සඳහා යොදා ගත්තේ කුලී ත්‍රිරෝද රථයකි.
වෛද්‍ය දිසානායක මුල් කාලයේදී තම සත්ව සායනය පවත්වාගෙන ගියේ නුගේගොඩ ගම්සභා හන්දියේය. ඒ කාලයේ සිටම ඔහු ගම්සභා හන්දිය අවට මහ පාරේ සිටින සුනඛයන්ට දිනපතා ආහාර වේලක් දීමට පුරුදු විය. ඒ සඳහා දිනකට හාල් කිලෝ ග්‍රෑම් 7-8 ක් පමණ තම අතින්ම පිසීම වෛද්‍ය දිසානායක නොවරදවාම කළේය. ඒ සහල්වලටම කුකුල් මස් පීකුදු, සත්ව ආහාර (Pet Foods) සහ මාළු වැනි දෑ එකතු කර පිස ඔහු තමන්ගේ අතින්ම බත් පාර්සල් තිහක් ඉක්මවන ප්‍රමාණයක් සකසා ගනියි. රාත්‍රි නවයට වෛද්‍ය දිසානායක තම චිකිත්සාගාරය වසයි. දහවල් දෙකට තුනට පමණ පිසින බත මේ වෙලාව වන විට නිවී හමාරය. ඔහු තමන්ගේ හිතවත් ත්‍රිරෝද රථ රියැදුරකුත් සමග ඉන් පසු මෙම බත් පාර්සල් රැගෙන පාරේ තැන් තැන්වල සිටින සුනඛයන්ට මෙන්ම බළලුන්ටද දෙයි. වෛද්‍ය දිසානායක සමග අවසන් කාලයේ ගමන් බිමින් ගිය ගම්සභා හන්දියේ ත්‍රිරෝද රථ රියැදුරකු වන ජයසිරි ද සිල්වා මහතා පවසන්නේ දහසක් ත්‍රිරෝද රථ මහ පාරේ ගියත් වෛද්‍යවරයා එන ත්‍රිරෝද රථයේ හඬ එම සතුන් වෙන් කර හඳුනා ගන්නට සමත් බවය.
ඒ අනුව රථයේ හඬට ඒ පසුපස දිව එන සතුන්ට වෛද්‍යවරයා පාර අයිනේ නතර වී බත් පාර්සල් ලිහා දී ඔවුන් කා අවසන් වන තුරු ළඟට වී සිටින්නේ සමහර සුනඛයන් තමන්ගේ කෑම එක කා අනෙක් සතාගේ කෑම එකත් බලෙන් කා දමන නිසාය. ජයසිරි ද සිල්වා මහතා පවසන පරිදි එක දිනකට මහ මග හිඳින සුනඛයන් තිස් ගණනක් බළල්ලු විසි ගණනක් වෛද්‍ය දිසානායක නිසා කුස ගිනි නිවා ගත්හ.
හොඳින් ඇඳ පැළඳ මංගල උත්සවයකට සහභාගි වන්නට යන අවස්ථාවක වුවත් මහ මග අසරණව හිඳින සුනඛයකු හෝ වෙනත් සතකු දුටුවොත් වාහනයෙන් බැස එම සතාව පරීක්ෂා කර ඌ කුසගින්නෙන් පෙළෙන බව දැනුණොත් අසල තිබෙන වෙළෙඳ සලකින් කෑම ටිකක් රැගෙන දී කුසගිනි නිවීම වෛද්‍ය දිසානායකගේ පුරුද්ද විය. වරක් ඔහුගේ නිවසට නුදුරින් මහ පාරේ තුවාල වී වැතිර සිටි හෝතඹුවකු දැක ඒ සතාව ගෙදරට ගෙනැවිත් දින කිහිපයක් තබාගෙන ප්‍රතිකාර ලබා දී සුව කර හරින්නට තරම් වෛද්‍ය දිසානායකගේ සත්ව කරුණාව අතිමහත් විණි. එසේම ගමන් බිමන් යන විට බෙහෙත් හේත්ද රැගෙන යාම වෛද්‍ය දිසානායකගේ පුරුද්දකි. ඒ මහ මගදී අහම්බෙන් හෝ රෝගී සතකු දුටුවොත් ප්‍රතිකාර ලබා දෙනු පිණිසය. මෙසේ දිනපතා මහමග හිඳින සතුන්ගේ කුසගිනි නිවන්නට කැප වී සිටි නිසාම කවදාවත් වෛද්‍ය දිසානායක විනෝද ගමන් බිමන්වල හෝ රාත්‍රියෙහි නිවසින් පිටව හිඳීම හෝ සිදු කළේ නැත. පෝය දිනයට සායනය වසන නිසා එදින පාන්දරින් අවදි වී සතුන්ගේ රෑ කෑම පිස ඔහු සිය බිරිඳ හේමමාලි සමග මහව බලා පිටත් වන්නේ එහි වෙසෙන තම පියාණන්ගේ දුක සැප බැලීමටය. මව මේ වන විට ජීවතුන් අතර නැත. එදිනම ආපසු එන ඔහු ඉන්පසු රාත්‍රියේ එකට දෙකට හෝ සතුන්ගේ කෑම පාර්සල් හදාගෙන ඔවුන්ගේ කුසගිනි නිවන්නට යාම නොවරදවාම සිදු කළේය. ත්‍රිරෝද රථ රියැදුරු ජයසිරි පවසන අන්දමට මේ සතුන්ගේ ආහාර වෙනුවෙන් වෛද්‍ය දිසානායක දිනකට වැයකළ මුදල රුපියල් එක්දහස් පන්සියයක් පමණ විය හැකිය.
තම බෙල්ලෙහි කුඩා ගෙඩියක් මතුව තිබෙනු මුලින්ම වෛද්‍ය දිසානායක දුටුවේ මේ වසරේම පෙබරවාරී මාසයේදීය. නමුත් ඔහු ඒ ගැන එතරම් තැකීමක් කළේ නැත. පසුව ඒ ගෙඩිය එන්න එන්නම ලොකු වන බවක් පෙනුණු නිසා ඔහු එය වෛද්‍යවරයකුට පෙන්විය. එහිදී කරන ලද පරීක්ෂණවල වාර්තා ලැබුණේ ඔහුට අසනීප තත්ත්වයක් නැති බව සනාථ කරමිනි. නමුත් මේ ගෙඩිය අඩුවන බවක් නොපෙනුණු නිසා යළිත් වෛද්‍යවරයකුට පෙන්වා බයොප්සි පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසු එය වසා ගැටිතිවල හට ගන්නා පිළිකාවක් බව තහවුරු විය. ඉන්පසු ඔහු වරින් වරම පුද්ගලික රෝහලක නතර වෙමින් මේ සඳහා ප්‍රතිකාර ගත් අතර ප්‍රතිකාර නොගන්නා දිනවල සත්ව චිකිත්සාගාරයෙහි රෝගීන්ට ප්‍රතිකාර ලබා දුන්නේය. ඒ අතර රාත්‍රියෙහි මහමග හිඳින සතුනට ආහාර දීමද සිදු කළේය.
නමුත් එම පිළිකාව විසින් වෛද්‍ය දිසානායකව දිනෙන් දිනම අඩපණ කරමින් පැවැතියේය. නිරෝගී පුෂ්ටිමත් සිරුරකින් යුතු ඔහු දිනෙන් දිනම කෘශ විය. ඔහුගේ ආහාර වූයේ සුප්, කැඳ වැනි දියර වර්ග පමණි.
පසුගිය ජූලි 17 දා වෛද්‍ය දිසානායකට ප්‍රතිකාර සඳහා රෝහල් ගත විමට නියමිතව තිබිණි. ජූලි දහසය වෙනි දින ඔහුට පෙර මෙන්ම තමන්ගේම අතින් පිස සතුන්ට ආහාර දීමට වුවමනා විය.
‘අනේ මට ආයිමත් මේ සතුන්ට කන්න දෙන්න වෙයිද දන්නේ නෑ. ඒ හින්දා අද මං මගේ අතින්ම උයලා දෙන්න ඕනෑ’ යි කීවත් ඔහුට ඒ සඳහා කාය ශක්තියක් නොතිබිණි. බිරිඳ හේමමාලී එහිදී ඔහුට උපකාර කළාය.
එසේම වෛද්‍ය දිසානායක බොහෝ අපහසු තත්ත්වයෙන් සිටි නිසා ‘සත්ව සායනය ටික දිනකට වසා දමමු’ යැයි බිරිඳ යෝජනා කර කාඩ්බෝඩ් එකක ඇගේම අතින් ‘නැවත දන්වන තුරු සායනය වසා ඇත.’ යනුවෙන් ලිව්වාය.
‘ඔහොම බෝඩ් දාන්න එපා. මට ආයෙත් එන්න ලැබේවි නේද? වෛද්‍ය දිසානායක කී මුත් බිරිඳ එම බෝඩ් එක ගේට්ටුවේ ඇල වූයේ රෝගී සතුන් රැගෙන පැමිණෙන අය රස්තියාදු වීමද පාපයක් නිසාය.
වෛද්‍ය දිසානායක මුළු ජීවිතයම කැප කළේ සතුන්ගේ සුබ සිද්ධිය වෙනුවෙනි. එනිසා රෝගීව ඇඳේ සිටියදීත් ඔහු අඩ සිහියෙන් මෙන් සතුන්ට සිරින්ජරයට බෙහෙත් දමා විදින ආකාරයට සිය දෑත එක් කොට කළේය. ඒ අතරම තම සයනය ළඟ විසි හතර පැයේම සිටින සිය බිරිඳට ඔහු ඒ කාමර තැන් තැන් දක්වමින් ‘අන්න අතන බල්ලෙක් , පූස් පැටියෙක්’ යැයි වරින් වර කීවේ තිස් වසරකට අධික කාලයක් පුරා ඔහු ගත කළ ජීවිතය ඔහුගේ මොළය තුළ දැඩිව ස්ථාපනය වී තිබිම නිසාය.
පසුගිය සැප්තැම්බර් හය වෙනි දින වෛද්‍ය දිසානායකගේ පනස් නව වෙනි උපන්දිනය යෙදී තිබිණි. එදින ඔහු නතර වී සිටි පුද්ගලික රෝහලේ වාට්ටුවේ වෛද්‍යවරුනට මෙන්ම රෝගීන්ටත් දිවා ආහාරය ලෙස බුරියානිත්, අයිස්ක්‍රීමුත් ගෙනැවිත් දෙන්නට ඔහුට වුවමනා විය. දිසානායක මහත්මිය තම සැමියාගේ ආශාව ඉටු කළේ බොහෝ කැමැත්තෙනි.
නොවැම්බර් 07 දින උදාවිය. වෛද්‍ය දිසානායක සිය ජීවිතයේ අවසන් මාස දෙක ගත කළේ රෝහලේත්, අගලවත්තේ පිහිටි සිය සොයුරාගේ නිවසේත්ය. ඒ බිරිඳ හේමමාලිට නුගේගොඩ නිවසේ තනිව ඔහු බලාකියා ගැනීම අපහසු නිසාය. ඇයත් ඔහු සමගම එහි රැඳී සිටියාය.
නොවැම්බර් 07 දින සිය සයනය දෙපසින් සිටගෙන සිටි බිරිඳගේත් සොයුරාගේත් අත් දෙක තම දෑතින් අල්ලා ගත් ඔහු සුන්දර අතිශය සංතෘප්තිමත් සිනාවක් පෑවේය. ඉන්පසු අන්තිම හුස්ම පිටකර දෑස පියා ගත්තේය. ඔහු සිය බිරිඳ හේමමාලිත්, දැනට අබුඩාබි රටේ සහ පෘතුගාලයේ ජීවත්වන දියණිවරුන් දෙදෙනාත් ඔහු නිසා කුසගිනි නිවා ගන්නට නිරෝගී සුවය ලබන්නට සිටි සතුන් සිය දහස් ගණනකුත් සෙසු සියලු දෙනාමත් අතහැර සදහටම යන්නට ගියේ එලෙසිනි. සත්ව කරුණාවෙන් සපිරි මෙම අසිරිමත් මිනිසාගේ අපූරු ජීවන රටාව දැන සිටි රැජින කාර්තෘවරයා තුළ වෛද්‍ය දිසානායක පිළිබඳව ඡායාරූප විශේෂාංගයක් සම්පාදනය කරවීමේ ලොකු වුවමනාවක් ඇති විය.
මා ඒ පිළිබඳව වෛද්‍ය දිසානායකට කී විට ඔහු බොහෝ නිහතමානි සිනාවක් පාමින් හැමදාමත් දුන්නේ එකම පිළිතුරකි. ඒ, ‘පස්සේ බලමු’ යන්නය. අප විශ්වාස කරන අන්දමට ඔහු පස්සේ යනුවෙන් සඳහන් කළ ඒ දිනය දැන් එළැඹී තිබේ.
තිරිසන් සතුන් කෙරෙහි දක්වන දයානුකම්පාවද මිනිසත් බවේ පිරිපුන් බව තහවුරු කෙරෙන වැදගත්ම සාධකයකැයි භාරතීය මහා අවිහිංසාවාදියකු වන මහත්මා ගාන්ධි තුමන් පවසා ඇත. එමෙන්ම මිනිස් මොළය පරිනාමීය වශයෙන් දියුණුවත්ම සත්ව කරුණාව පිළිබඳව මිනිසා තුළ පවත්නා ආකල්පද දියුණු වන බව මානව විද්‍යාඥයෝ අනාවැකි පළ කරති.
ලෝක ප්‍රජාව තුළ එම තත්ත්වය මනාව තහවුරු වීම පිණිස තව වසර තුන්සියයක් පමණ ගත වෙතැයිද අනුමාන කෙරේ. ඒ අනුව අපට හැඟී යන්නේ
අප අතරින් වියෝ වූ වෛද්‍ය දිසානායකත් තව වසර තුන්සියයකින් මෙලොව පහළ විය යුතු උතුම් මිනිසකුගේ නොකල්හි ඉපදීමක් ලෙසිනි. ශේ්‍රෂ්ඨ
මිනිසාණෙනි, උරගාන තරමටම ඔප් නැංවෙන රන් තැටියක් සේ ඔබ පිළිබඳ කීර්ති කදම්භය එළැඹෙන අනාගතයේදී මොහොතින් මොහොත උද්දීප්තිමත් වනු ඇත. ඒ නිසාම ඔබ සැබැවින්ම මිය යන දිනය තව සියවස් ගණනාවක් අනාගතයට දිව යන බව ඒකාන්තය.
සැ.යු.
http//www.facebook.com/ahinsasrilankapage
වබේ අඩවිය මගින් මෙම ලිපිය ඔබගේ හිතවත් සත්ව ලෝලීන් වෙතද යොමු කළ හැක.
ඉන්දු පෙරේරා