මීගමුව – විමල් කීර්ති
අතදරු වියෙහිදී ආර්ථික අපහසුතා නිසා කටාන ප්‍රදේශයේ ළමා නිවසකට භාරදුන් පුතුන් දෙදෙනා ස්‌වීඩනයේ සිට වසර 30 ක පමණ පසු ශ්‍රී ලංකාවේදී තම මව වූ වසන්තා නිර්මලී දිසානායක (53) මහත්මිය හමුවූ අනුවේදනීය අවස්‌ථාව.
මනුස්‌සකම එළිය වුණා
මව් දෙපළට සතුටු සිනා
තම කිරිකැටි පුතුන් දෙදෙනා හදා වඩා ගැනීමට එවක පැවති ආර්ථික අපහසුතා හේතුවෙන් මවක් විසින් කටාන ප්‍රදේශයේ ළමා නිවාසයකට භාරදුන් පුතුන් දෙදෙනා පසුව ස්‌වීඩනයේ හැදී වැඩී ඉන් වසර 30 කට පමණ පසු තම මව සොයා පැමිණ මවු සෙනෙහස ඉස්‌මතු වීමේ පුවතක් මීගමුවෙන් වාර්තාවේ.
මවු සෙනෙහස පතා ස්‌වීඩනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි තරුණ පුතුන් වූයේ සමීර ක්‍රිෂාන් අල්මේදා (32) සහ ක්‍රිෂාන්ත දීපාල් අල්මේදා (31) නමැති සොහොයුරන්ය. මෙම තරුණයන් දෙදෙනා කිරිකැටි අවධියේ දී එවකට කුරුණෑගල පදිංචිව සිටි වසන්තා නිර්මලී දිසානායක (53) මහත්මිය විසින් දැනට වසර 30 කට පමණ පෙර කටාන ලුවිස් ළමා සුබසාධක මධ්‍යස්‌ථානයට භාරදී ඇත.
මේ අතරතුර දරුවන් නොමැති දරුවන් සොයමින් හෝල්ග් සහ මරීනා රෙනී නමැති ස්‌වීඩන් යුවළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත. පසුව ඔවුන් තමන්ට හදා වඩා ගැනීමට සුදුසු දරුවන් ලබාගත හැකි ස්‌ථානයක් සොයමින් රටපුරා ඇවිද ඇත.
අවසානයේ ඔවුන් යොමුව ඇත්තේ කටාන ලුවිස් ළමා සුබසාධන මධ්‍යස්‌ථානයේ ළමා නිවාසය වෙතය. එහිදී මෙම සිද්ධියට අදාළව එවකට කිරිකැටියන් වූ තරුණයන් දෙදෙනා අධිකරණය මගින් ඔවුන් දරුකමට භාරගෙන ස්‌වීඩනය කරා ගොස් ඇත.
ඔවුන් තරුණ වියට පත්වෙද්දී තම ස්‌වීඩන් දෙමාපියන් දෙදෙනා සුදු වර්ණයෙන් පසුවීමත් තමන් දෙදෙනා පමණක් තළෙළු පැහැයෙන් පසුවීමත් පිළිබඳ ස්‌වීඩන් දෙමාපියන්ගෙන් විමසා සිටි අවස්‌ථාවේ ඔවුන් ළමා නිවාසයකින් දරුකමට හදා වඩා ගත් අවස්‌ථාව ඇතුළු සියලු තතු තරුණයන්ට හෙළිදරව් කොට ඇත.
ඒ මොහොතේ සිට තම නියම මව දැක බලා ගැනීමේ දැඩි අශාවකින් සහ මවු සෙනෙහස ලැබීමට ආශාවෙන් ඔවුන් පසුවී ඇත. එම තරුණයන් දෙදෙනාගේ ඉල්ලීම අනුව තරුණයන්ට තම මව මුණගැස්‌වීමේ අරමුණෙන් ස්‌වීඩන් යුවළ තෙවතාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත. එහෙත් ඔවුන්ගේ අපේක්‌ෂා ඉටුවී නොමැත.
ඉන් වසර ගණනාවකට පසු ස්‌වීඩන් යුවළට තම තරුණ පුතුන් දෙදෙනාගේ ශ්‍රී ලාංකික මව පිළිබඳ තොරතුරු ලැබී ඇත. ඒ වනවිට එම තරුණයන් දෙදෙනාගේ ශ්‍රී ලාංකික මව වන වසන්තා නිර්මලී දිසානායක (53) මහත්මිය ගෘහ සේවිකාවක වශයෙන් සයිප්‍රසයේ සේවය කරමින් සිට ඇත. ඇයට වසර 30 කට පමණ පෙර අහිමි වූ තම පුතුන් දෙදෙනා ගැන කනවැටුණ අවස්‌ථාවේ ඇය සිය රැකියාවද අත්හැර පඩිද නොගෙන ශ්‍රී ලංකාව බලා පැමිණ ඇත.
වසර 30 ක පමණ පෙර තමන්ට මවු සෙනෙහස අහිමි වූ තරුණයන් දෙදෙනාට තම නියම මව දැකීමත්, තම පුතුන් දෙදෙනා වසර 30 කට පසු මව දැකීමත් නෙතට කඳුළු ගලන අනුවේදනීය අවස්‌ථාවක් විය. මව වූ වසන්තා නිර්මලී දිසානායක (53) මහත්මියට ඉංගී්‍රසි බස කතා කිරීමට හොඳහැටි හැකිවීම මවු පුතුන්ගේ අදහස් හුවමාරු කර ගැනීමට පහසු විය. මේ වන විට ඇයගේ ලොකු පුතු වන සමීර ක්‍රිෂාන්ත අල්මේදා (31) ස්‌වීඩනයේ බන්ධනාගාරයක සේවය කරනු ලබයි. කනිටු පුතා වන ක්‍රිෂාන්ත දීපාල් අල්මේදා (30) ස්‌වීඩනයේ රෝහලක සේවය කරනු ලබන අතර ඔහු ස්‌වීඩන් ජාතික ජෙනී (25) නමැති හෙදිය සමග විවාහ වී ඇති අතර ඔවුනට ඡේසන් නමැති තුන් හැවිරිදි පුතෙක්‌ද සිටී. අවසානයේ දී තරුණ පුතුන් දෙදෙනා තම ශ්‍රී ලාංකික මවගෙන් සමුගෙන ස්‌වීඩනය බලා ගියේ නැවත දිනක තම මව බැලීමට පැමිණෙන බවට සපථ කරමිනි.