ඒක සෙල්ලම් පිස්තෝලයක් – නගරාධිපති

0
122

මත්තල ගුවන්තොටුපල හා හම්බන්තොට වරායේ නිරීක්ෂණ සංචාරයක යෙදුන එක්සත් ජාතික පක්ෂ (එජාප) පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රතික්ෂේප කරයි.

https://www.youtube.com/watch?v=kA80NgTmiTM

අජිත් පී පෙරේරා, අජිත් මාන්නප්පෙරුම, එරාන් වික්‍රමරත්න, ආර් යෝගරාජන් සහ නලීන් බණ්ඩාර ජයමහ යන මන්ත්‍රීවරු පිරිසට කුණු බිත්තර සහ මැර ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ අමාත්‍ය ප්‍රියංකර ජයරත්නගේ ආරාධනයෙන් හම්බන්තොට නිරීක්ෂණ චාරිකාවක යෙදුනු අවස්ථාවේ.

පිස්තෝලයක් අතැතිව නගරාධිපතිවරයා දිව එන ආකාරය දැක්වෙන ඡායාරූපද ජනමාධ්‍යවල පළ වී තිබුණි.

එම ඡායාරූපය පිළිබඳව විමසූ විට නගරාධිපතිවරයා කියා සිටියේ, තමන් සතුව තිබුනේ සෙල්ලම් පිස්තෝලයක් බවයි.

‘වඳින්න ගිය දේවාලේ’
“වඳින්න ගිය දේවාලේ මගේ හිසේ කඩන් වැටුන වගේ වැඩක් වුනේ. මම බේරන්න ගියේ නමුත් අද කියන්නේ මම පිස්තෝලයක් අරන් වෙඩි තියන්න ආවයි කියලා,” යන්න එජාප මන්ත්‍රීවරුන්ගේ චෝදනාවට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු පළ කරන ප්‍රතිචාරයයි.

කෙසේ නමුත් නගරාධිපතිවරයා පිස්තෝලයක් අතැතිව තමන් ලුහුබැඳි බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිස පවසති.

“මගේ අතේ තිබුනේ සෙල්ලම් පිස්තෝලයක් ඒක මම ඉදිරිපත් කරන්නම්. එතන ඉන්න කෙනෙකුගේ ඉණ මම අතගාන කොට සෙල්ලම් ප්ලාස්ටික් පිස්තෝලයක් තිබුනා. මම ඒක උදුරගෙන මගේ අතේ තියන් හිටිය එකෙන් මම ඒ හිටපු පිරිස් බය කරන්න තමයි මේක අරන් ගියේ,”යනුවෙන්ද නගරාධිපතිවරයා කියා සිටියේය.

කොළඹින් පැමිණි එජාප මන්ත්‍රීවරුන් පිරිසකට මත්තල ගුවන්තොටුපළේදී කිසියම් පිරිසකගෙන් බාධා එල්ලවූ බව සැලවීමෙන් අනතුරුව ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා එම ස්ථානයට ගිය බවත් නගරාධිපතිවරයා පවසයි.

“මම එතනට ගිහිල්ල මන්ත්‍රීවරුන්ට කිව්වා මේ කණ්ඩායමත් එක්ක විවාද කරලා තේරුමක් නැහැ. ඒ පිරිස මාත් එක්ක තමයි ප්‍රශ්න ඇතිකරගන්න ආවේ. මමයි මන්ත්‍රීවරු අතින් අල්ලාගෙන ගිහිල්ල බස් එකට නැන්ගුවේ,” යනුවෙන්ද ඔහු පැවසීය.

එජාප මන්ත්‍රී පිරිසට බාධා කලේ ගමේ පිරිස් හා වාරයේ සේවකයන් බව පවසන හම්බන්තොට නගරාධිපතිවරයා එම ස්ථානයේ කිසිදු මැර කණ්ඩායමක් නොසිටි බවද සඳහන් කරයි.

“හම්බන්තොට සිදුවන සංවර්ධනයේ ප්‍රතිලාබ ලබන රැකියාලාභීන් පිරිසකුත් ප්‍රාදේශීය ජනතාවත් එතන හිටියේ. ඔවුන් විරෝධයක් දැක්වුවා කොළඹ සිට මාධ්‍ය සංදර්ශන පවත්වන අයට,” යනුවෙන්ද නගරාධිපති එරාජ් ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසීය.