ඕමල්පේ හිමි අගමැතිගෙන් කෝටි 100ක් වන්දි ඉල්ලයි

ප්‍රෙමලාල් විජේරත්න

ජාතික හෙළ උරුමය නායක ඕමල්පේ සෝභිත හිමියන්ගේ ගෞරවයට, කීර්තිනාමයට හානිවන ලෙස අග්‍රාමාත්‍ය සහ බුද්ධ ශාසන අමාත්‍ය දි. මු. ජයරත්න මහතා විසින් කුඩු කන්ටේනර් සිද්ධිය පසුබිම් කරගෙන කරන ලද ප්‍රකාශයෙන් උන්වහන්සේට වූ අපකීර්තියට අලාභ වශයෙන් රුපියල් කෝටි 100ක වන්දියක් ඉල්ලා එම පක්‍ෂයේ නීති උපදේශක සභාවේ සාමාජික නීතිඥ ටියුඩර් පෙරේරා මහතා විසින් ඊයේ අග්‍රාමාත්‍යවරයාට එන්තරවාසියක් යවන ලදී.

අග්‍රාමාත්‍ය නිල නිවෙසට ඊයේ උදේ එම එන්තරවාසිය ලියාපදිංචි තැපෑලෙන් යැවූ බව හෙළ උරුමය මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත වර්ණසිංහ මහතා ‘මව්බිම’ට පැවැසීය.
පසුගිය ජනවාරි 1 වැනි දින ගම්පොළ ජාතික උරුම මධ්‍යස්ථානයේ පැවැති මහජන රැස්වීමකදී අගමැතිවරයා විසින් කරන ලද ප්‍රකාශයෙන් එම හිමියන්ට සිදුවූ අපහාසයට හා අපකීර්තියට අලාභ වශයෙන් රුපියල් කෝටි 100ක වන්දියක් අයකර ගැනීමට නඩු පැවැරීමට හෙළ උරුමය තීරණය කළ බවද වර්ණසිංහ මහතා පැවැසීය.
එම එන්තරවාසිය යැවූ දින සිට දින 14ක් ඇතුළත ඉල්ලා ඇති වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් අගමැතිවරයාට විරුද්ධව නඩු පවරා එම මුදල අයකර ගැනීමට නීතිමය පියවර ගන්නා බව ඕමල්පේ හිමියන් වෙනුවෙන් යැවූ එන්තරවාසියෙන් නීතිඥවරයා දැනුම්දී තිබේ.

ඕමල්පේ හිමියන් වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා වෙත එන්තරවාසියක් යවන නීතිඥ ටියුඩර් පෙරේරා මහතා සඳහන් කොට ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශ තම සේවාදායක ස්වාමින් වහන්සේ සම්බන්ධයෙන් කරන ලද ඒවා බව සාධාරණ ලෙස සිතන ඕනෑම කෙනකුට හැඟීයන බවත්, එයින් තම සේවාදායක ස්වාමීන් වහන්සේ කෙරෙහි ජනතාව දක්වන ගෞරවයට සහ උන්වහන්සේගේ කීර්ති නාමයට හානියක් සිදුවී ඇති බවයි.

තම සේවාදායක ස්වාමීන් වහන්සේ රාමඤ්ඤ නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, නිකාය ප්‍රධානී, පාර්ලිමේන්තු සංස්ථාගත ශ්‍රී බෝධිරාජ පදනමේ සභාපති, සිංගප්පූරු බෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන ආගමික උපදේශක, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ කාරක සංඝ සභික දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, උපරිමාධිකරණ විනිශ්චයකාර තනතුරු ඇතුළු තනතුරු රාශියක් දරන අතර උන්වහන්සේ ජාතික හෙළ උරුමය පක්‍ෂයේ නායකත්වය දරන බවත් පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රිවරයකු වන බවත් එම එන්තරවාසියේ සඳහන් කොට තිබේ. එහි මෙසේද සඳහන් වේ.

“ඔබතුමන් විසින් කරන ලද ප්‍රකාශ සමාජ පිළිගැනීමකින් ගෞරවයකින් සහ කීර්තියකින් යුත් බෞද්ධ භික්‍ෂුන් වහන්සේ නමක් වන මාගේ සේවාදායක ස්වාමීන් වහන්සේ කෙරෙහි සමාජයේ ඇති ගෞරවය සහ පිළිගැනීම අඩුකිරීමට හේතුවන සහ උන්වහන්සේට බලවත් චිත්ත පීඩාවක් ඇතිකරන ලද ප්‍රකාශ වේ.
එබැවින් මාගේ සේවාදායක ස්වාමීන් වහන්සේ වෙත උන්වහන්සේගේ කීර්තියට ගෞරවයට සහ සිදුවූ චිත්ත පීඩාව සම්බන්ධයෙන් වූ හානිය සඳහා අලාභ වශයෙන් රුපියල් කෝටි සියයක මුදලක් ඔබෙන් ඉල්ලා සිටීමට තමාට වැඩිදුරටත් උපදෙස් ලැබී ඇතැයි එම එන්තරවාසියේ දැක්වේ.

කුඩු කන්ටේනරය සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා කළ කතාවේදී කරන ලද අපහාසාත්මක ප්‍රකාශය දින 14ක් තුළ ඉල්ලා අස්කරගෙන ඕමල්පේ හිමියන් ඇතුළු මහා සංඝරත්නයෙන් සමාව ගන්නා ලෙස ජාතික හෙළ උරුමය අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කොට තිබිණි.
ඒ සම්බන්ධයෙන් ආචාරශීලීව නම්‍යශීලීව බුද්ධිමත් ලෙස මේ ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට කටයුතු නොකිරීම මේ නීතිමය පියවර ගැනීමට හේතුවූ බවද හෙළ උරුමය පවසයි.

mawbima

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...