අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා විසින් ගම්පොළ ජාතික උරුමයන් පිළිබඳ මධ්‍යස්ථානයේදී පෙරේදා (01දා) පැවැති රැස්වීමකදී ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ට චෝදනා නඟමින් හා බැන වදිමින් කරනු ලැබූ අපහාසයට එරෙහිව රුපියල් කෝටි සියයක වන්දියක් ඉල්ලා අධිකරණයේ නඩු පැවරීමට ක්‍රියා කරන බව, එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් බස්නාහිර පළාත් සභා ඇමැති උදය ගම්මන්පිල මහතා අවධාරණය කෙළේය.
කුඩු කන්ටේනර් සිද්ධිය පිළිබඳව සෝභිත හිමියන් කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් ද්වේෂ සහගතව අග්‍රාමාත්‍යවරයා කර ඇති පරිභවයට අනිවාර්යයෙන්ම ඔහු සෝභිත හිමියන් ඉදිරියේ සමාව ගත යුතු බව පැවැසූ ගම්මන්පිල මහතා එසේ නොකළහොත් අගමැතිවරයාට එරෙහිව නඩු පවරන බව කීය.
කුඩු කන්ටේනරය සම්බන්ධයෙන් තමන්ට එල්ල වූ චෝදනාවලින් නිදහස්වීමට නම් ඒ පිළිබඳ සැබෑ තත්ත්වය රටට හෙළි කිරීමට තිබියදී ජාතික හෙළ උරුමයට හා නායක හිමියන්ට බැන වැදීම මඟින් සිදුවන්නේ අගමැතිවරයා මේ සිද්ධියට සම්බන්ධ බවට ජනතාව කෙරෙහි පවතින සැකය තවත් තීව්‍ර වී රටේ අගමැති ධුරයත්, රටත් අපවාදයකට ලක්වීම යැයිද හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ ඊයේ (02දා) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කෙළේය.
මේ අවස්ථාව සඳහා ජාතික හෙළ උරුමයේ සභාපති අතුරලියේ රතන, බස්නාහිර පළාත් සභා මන්ත්‍රි තෙබුවන පියනන්ද, මධ්‍යම කාරක සභික රන්පත්වල විමලරතන යන හිමිවරුන් සමඟ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාද සහභාගි වී සිටියහ.
කුඩු කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන සිටින පාකිස්තානු ජාතික ජමාල් නමැත්තාට අගමැතිවරයා තම පෞද්ගලික නිවෙසකදී ආහාර වේලක් ලබා දුන්නාද නැද්ද යන්න පිළිබඳ අගමැති දි.මු. ජයරත්න මහතා සත්‍ය හෙළිකළ යුතු බවද ඔහු කීය.
දි.මු. ජයරත්න මහතාගේ පුත්‍රයා වෙනුවෙන් මැතිවරණයේදී ඔහුගේ මනාප අංකය සහිත ටී ෂර්ට් ජමාල් නමැත්තාගේ අනුග්‍රහය යටතේ මුද්‍රණය කළාද නැද්ද යන්න පිළිබඳ සත්‍ය හෙළිකළ යුතු බවත්, අගමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා කුඩු කන්ටේනරය නිදහස් කරගැනීමට අදාළව ලිපිය ලියන්නේ තමන් දැනුම්වත් වද නැද්ද යන්න වග හෙළි කළ යුතු බවද ගම්මන්පිල මහතා කීවේය.
අගමැතිවරයාගේ ලිපි ශීර්ෂය යටතේ ඔහුගේ කීර්ති ශ්‍රී වීරසිංහ නමැති ලේකම්වරයා රේගුවෙන් නිදහස් කළ කන්ටේනරයේ මත්කුඩු තිබෙන බව දැන සිටියාද, නැද්ද යන්න හෙළි කළ යුතු බවත්, ජාතික හෙළ උරුමය විසින් මේ සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් විමසා සිටින තෙක් මාස 04ක් යනතුරු මේ ලේකම්වරයා ඉවත් කිරීමට කටයුතු නොකළේ මන්දැයි යන්න පිළිබඳව දි.මු. ජයරත්න මහතා විසින් සැබෑ තත්ත්වය රටට හෙළි කළ යුතු බවද උදය ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කෙළේය.
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සිහිවිකල් තත්ත්වයකට පත් වුවහොත් ජනපති පවා ඉවත් කිරීමට ක්‍රමවේදයක් ඇති බව පැවැසූ ඒ මහතා සඳහන් කළේ අගමැතිවරයා සිහිවිකල් තත්ත්වයකට පත්වූ පසු ඔහුව ඉවත් කිරීමේ ක්‍රමවේදයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සැකැසී නොමැති බවයි.
ජාතික හෙළ උරුමයට හා සෝභිත හිමියන්ට අපහාස කරනවා වෙනුවට දි.මු. ජයරත්න මහතා විසින් තමාට නිදහස් වීමට දැන්වත් ක්‍රියා කළ යුතුව ඇති බවත් ඒ, එකම ක්‍රියාවලිය තමන් පැවැසූ ආකාරය පමණක් වන බවත් පැවැසූ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඒ හැර වෙනත් ක්‍රමයක් අගමැතිවරයාට නොමැති බවයි.
මෙහිදී අදහස් ඉදිරිපත් කරමින් එම පක්ෂයේ සභාපති අතුරලියේ රතන හිමියන් සඳහන් කළේ ප්‍රබුද්ධ, දැන උගත්කමක් තිබෙන ශාසනික වගකීමක් තිබෙන ජාතික වස්තුවක් බදු ඕමල්පේ සෝභිත නායක හිමියන්ට අගමැතිවරයා කළ අපවාදය සුළු කොට තැකීමට නොහැකි බවයි.
ඒ හිමියන් සඳහන් කළේ මෙවැනි අගමැතිවරයකු සිටීම සම්බන්ධයෙන් තමා ඇතුළු තම පක්ෂය කනගාටුවට පත්වන බවයි.
සෝභිත හිමියන් තම පක්ෂයේ නායකයා වශයෙන් කටයුතු කළද උන්වහන්සේ ජාතික වශයෙන් වැදගත් වන ප්‍රශ්නවලදී දිවි පරදුවට තබා මැදිහත්වන ජාතික වීරවරයෙක් බවත් ඒ හිමියන් පක්ෂයට ආලෝකයක් මිස පක්ෂයෙන් ආලෝකයක් ලබා ගන්නා හිමිනමක් නොවන බවත් රතන හිමියෝ පැවැසූහ.
උන්වහන්සේ කුඩු කන්ටේනර සිද්ධිය පිළිබඳ කළ ප්‍රකාශයන්ට අදාළව අගමැතිවරයා මෙසේ නායක හිමිපාණන්ට පරිභව කර ඇත්තේ දැඩි ද්වේෂයෙන් බවත් අගමැතිවරයා ජමාල් නමැති පුද්ගලයා සමඟ එකට ඡායාරූපයකට පෙනී සිටියදී කුඩු කන්ටේනර් සිද්ධියට අදාළව අප සැක නොකළ යුතුදැයි රතන හිමියෝ ප්‍රශ්න කළහ.
අගමැතිවරයා විසින් පමා නොවී හෝ කළ යුත්තේ ජමාල් නමැත්තා සමඟ ඡායාරූපවලට පෙනී සිටියාද නැද්ද කියා පවසා මේ චෝදනාවලින් නිදහස් වීම සඳහා මේ කුඩු කන්ටේනර් සිද්ධියේ අග මුල වහාම සමාජයට හෙළි කිරීම පමණක් බවද ඒ හිමියෝ පැවැසූහ.
චීවරධාරියෙක් යැයි පවසමින් අගමැතිවරයා සෝභිත හිමියන්ට බැන තිබෙන බවත්, චීවරධාරි යන වචනයේවත් හරියාකාර තේරුම අගමැති නොදන්නා බවත් ඒ හිමියෝ කීහ.
අගමැතිවරයා නායක ස්වාමීන් වහන්සේට බැන වැදීමෙන් සිදුවන්නේ අගමැති විදියට තව තවත් විශාල ප්‍රශ්න රැසකට දි.මු. ජයරත්න මහතා මුහුණ දීම පමණක් බවත් ඔහුට ධර්මානුකූලව කිවයුතුව ඇත්තේ සිහි කල්පනාවෙන් යුක්තව කටයුතු කරන ලෙසට පමණක් බවත් ඒ හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.
පක්ෂයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ප්‍රශ්න කෙළේ මත්ද්‍රව්‍ය කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා නැඟෙන තරංග විට්ටච්චි, කීර්ති ශ්‍රී වීරසිංහ යන අය අත්අඩංගුවට ගත්තා දැයි කියාය. මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් ප්‍රමාණයක් ළඟ තබාගත් අය සහ ඔවුන්ගේ පවුල්වල උදවිය පවා රැගෙන ගොස් එල්ලා පහර දෙන නමුත් දකුණු ආසියාවේ විශාලතම මත්ද්‍රව්‍ය තොගයට අදාළව මේ රටේ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඔහු කීය. ශ්‍රී ලංකාව, කොලොම්බියාව, මෙක්සිකෝව වැනි රටක් බවට පත් කිරීමට කිසි විටෙක ඉඩ නොතබන බව ඒ මහතා කීය.
දිල්හාන් විමල්ක
mawbima