Saturday , 28 November 2020

හේලංකඩ ඇනතියාන මොකදෑ බර කල්පනාව

හේලංකඩ…..

හේලංකඩ ඇන තියාන
මොකදෑ බර කල්පනාව
කොයි උඹෙ අර මල් හිනාව
වෙනදා ඔය මුව පැලැන්ද
සුදුබංඩයියේ… සුදු බංඩයියේ…

කොළදින් වැඩ පහු වුණාද
වැස්සෙන් කරදර වුණාද
මෙදා සැරෙත් ණය වුණාද
නැත්නං අර මක් වුණාද
සුදු බංඩයියේ… සුදු බංඩයියේ…

උඹේ සිහින පැතුම් කන්ද
බොල්වී හුලගේ ගියාද
කනේරැ මල් පිපෙන ලන්ද
අනේ මෙදා මල් වරන්ඩ
සුදු බංඩයියේ…. සුදු බංඩයියේ…..

ගේය පද: පූජ්‍ය කෝන්වැවේ අරියරතන හිමි
සංගීතය: දර්ශන රැවන් දිසානායක
ගායනය: තුෂාරි බොලුකඳුර

මෙම ගීතය බොහෝවිට ඔබ අසාත් ඇති. මට මේ ගැන දැනගන්නට ලැබුණේ පහුගිය සති අන්තයේ මේ ගීය ලියූ පූජ්‍ය කෝන්වැවේ අරියරතන හිමියන් හා දොඬමළුවන්නට මා ලද මහඟු අවස්ථාවට පින්සිදු වන්නටයි.

අප කවුරැත් දන්නා නැගී එන අනර්ඝ සංගීතවේදියකුවන දර්ශන රැවන් දිසානායකයන්ගේ සංගීතයට නවක ගායිකාවක වන තුෂාරි බොලුකඳුර තම අව්‍යාජ ගැමි හඬින් ගයන මේ ගීතය වන්නි හත්පත්තුවේ ඉතා දුෂ්කර ගම්මානයකට මගේ හිත රැගෙන ගියේ මටත් නොදැනීමයි.

ගීතය පුරාවටම හමන්නේ ගැමි සුවඳ. ඉතාමත් දුකින් බලාගත් අත බලාන ඉන්න සුදුබංඩට තවත් තරැනියක්( ඔහුගේ පෙම්වතිය වන්නට පිළිවන්) එසේ ඉන්නේ මන්දැයි අසා සිටින පුවතකුයි මින් කියවෙන්නේ.

” හේලංකඩ ඇනතියාන 
මොකදෑ බර කල්පනාව”

මේ පළමු පදයෙන් කියවෙන “හේලංකඩ යනු කුමක්ද? සමහරවිට ඔබ දන්නවත් ඇති. අවංකවම මම දැනගෙන හිටියේ නෑ. මම හාමුදුරැවන්ගෙන් ඒ වචනයේ තේරැම විමසූ අවස්ථාවේ උන්වහන්සේ බොහොමත්ම නිහතමානීව මට එය පැහැදිලි කළා.

හේලංකඩ කියන්නේ ගැමි කටුමැටි ගෙවල්වල එළියේ බිත්තිය පාමුල බිත්තියටම අල්ලලා සාදන වැටිය. මෙය මැටියෙන්ම අඩියක් පමණ පළලට හා පොළොවේ සිට අඩියක් පමණ උසටයි හදන්නේ. වැස්ස වැටෙන විට වහලේ පොල් අතු හෝ පිදුරැ දිගේ වෑහෙන වැහි වතුර ඉසී ගෙදර බිත්ති සේදී යාම වැළැක්වීමටයි මේ හේලංකඩ සාදන්නේ.

ඉතිං මේ සුදුබංඩා ඒ වැටිය උඩ ඇන තියාන ඒ කියන්නේ ඉඳගෙන ඉන්නකොට ඒ යුවතිය වෙනදා මූණේ තිබුණ මල් හිනාව කෝ කියා අසනවා.

බංඩයියගේ උත්තරයක් නෑ. දර්ශන ඉතාමත් මනරම් අයුරින් මේ අවස්ථාව සංගීතයෙන් අපට මවා පෙන්වනවා.

ඉන්පසු දෙවන කොටසින්, පිළිතුරක් නැති නිසා යුවතිය නැවත අසනවා…

“කොළදින් වැඩ පහුවුණාද
වැස්සෙන් කරදර වුණාද
මෙදා සැරෙත් ණය වුණාද
නැත්නං අර මක් වුණාද”

මෙහි මොනවද මේ කොළදින් වැඩ කියන්නේ? මෙහි තේරැමත් හාමුදුරැවෝ මට පහදා දුන්නා.
ගොයම් පැහුණු පසු ඒවා කැපීම,කමතට ගෙනඒම,ගොයං කොලේ තැනීම,පෑගීම හා බැත හුළං කිරීම වැනි වැඩකටයුතු සියල්ලට තමයි කොළදින් වැඩ කියන්නේ.

මේ යුවතිය අසා සිටින හේතු තමයි ගොවීන්ට සාමාන්‍යයෙන් තියන ප්‍රශ්න. එකකටවත් උත්තර නැතිනිසා ඇය ආයිත් අහනවා නැත්නම් අර මක් වුණාද කියලා.

ගීතයේ අවසාන කොටසේදී ඇය ප්‍රාර්ථනාවක් කරනවා.
“කනේරැ මල් පිපෙන ලන්ද මෙදා සැරේ මල් වරන්ඩ”
මෙයින් අදහස් කරන්නේ කුමක්ද? 

ඔබට මතක ඇති ණය ආපසු ගෙවා ගත නොහැකිවූ රජරට ගොවීන් කනේරැ ඇට අනුභව කර දිවි නසා ගත් පුවත.

ඉතිං මේ යුවතිය අනේ දිවි නසා ගන්න එපා නොකියා එය සිඳුවිය හැකි මඟක්වූ කනේරැ ඇට සෑදෙන මල් පිපෙන්නට එපා කියනවා. බලන්න උන්වහන්සේ කෙතරම්නම් ලස්සනට එය ප්‍රකාශකරනවාද කියා.

මේ ගීතයට නිර්මාණය කර ඇති රෑප රචනයටනම් මගේ වැඩි මනාපයක් නෑ. ඔබත් රෑප නොබලම මෙම ගීතයට සවන් යොමුකළොත් ඒ ගැමි කටහඬේ සහ දර්ශනගේ ඉතාමත්ම මැනවින් නිර්මාණය කොට ඇති සංගීතය රස විඳීමට හැකිවන බැව් මගේ විශ්වාසයයි.

මේ ගීතය බිහිවූ ආකාරයත් ඉතාමත්ම රසවත් කතාවකි. එය අරියරතන හිමියන් මා සමග ඉතාමත්ම සතුටින් පවසා සිටියා.

අප කවුරැත් දැනගන්නටත් කලින් දර්ශන රැවන් හාමුදුරැවන්ගේ ළගම හිතවතෙක්. හාමුදුරැවෝ රජරට ප්‍රදේශයේ පාසලක සේවය කරණ වකවානුවේ මේ තරැණ ගැටයා සංගීතය හා ගීත රචනාගැන කතා බහ කිරීමට හාමුදුරැවන්ගේ පන්සලට ඒම පුරැද්දක් කරගෙන තිබුණා. දිනක් ඔහු හාමුදුරැවන් ලියූ ගීත අතපතගාමින් සිටියදී මෙම හේලංකඩ ගීතය ඔහුගේ ඇසගැටී හාමුදුරැවන්ගෙන් ඉල්ළිගෙන ගොස් තිබෙනවා. 

මෙය සිදුවී බොහෝ කලක් ගතවුණාට පසු හාමුදුරැවන්‍ට එය දර්ශනට දුන් බවත්‍ දර්ශනට එය හාමුදුරැවන්ගේ නිර්මාණයක් බවත් අමතක වී තිබෙනවා.

ඔය කාල වකවානුවේ දර්ශන මේ තරම් සියුමැලිද කළුගල් නිර්මාණයත් සමග ජනප්‍රියතාවයේ හිනිපෙත්තටම පැමිණුනා. හාමුදුරැවොත් ලංඩනයේ වැඩ වාසය කළා.

දර්ශන මෙවැනි ගීතයක් සොයමින් සිටිනවිට ඔහුගේ බිරිඳ මෙම ගීතය ඔහුගේ ගී රචනා ගොනුවකින් සොයා ඔහුට ඉදිරිපත් කිරීමෙන් අනතුරැව මෙම ගීතය බිහිවුවත් ගීතය
ලියූ තැනැත්තා සොයාගැනීමට නොහැකි වී තිබෙන අතර දර්ශන මාධ්‍ය හරහා එය ලියූ තැනැත්තාට ඉදිරිපත්වන ලෙස ඉල්ලා තිබෙනවා. 

ඒ අවස්ථාවේ කිහිපදෙනෙකුම ඉදිරිපත්වී ඇති අතර පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් මේ ගීය අරියරතන හිමියනගේ බැව් හඳුනාගෙන ලංඩනයට කතා කොට අරියරතන හාමුදුරැවන් දැනුවත් කිරීමෙන් වෙන්නට ගිය කලා මංකොල්ලයට වැට බැඳ තිබෙන අතර ගීතයේ නියම නිර්මාණකරැ කෝන්වැවේ අරියරතන හිමියන් බැව් රංජිත් රෑපසිංහ මහතා විසින් දර්ශන රැවන් දිසානායකයන්ට දැනුම් දී තිබෙනවා.

මෙවැනි වටිනා නිර්මාණ කිරීමට අපේ අරියරතන හාමුදුරැවන්ට සහ දර්ශන රැවන් දිසානායකයන්ට ශක්තිය හා දහිරිය නිරතුරැවම ලැබේවායි පතමි.

-චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය

Check Also

ශ්‍රී ලංකා හමුදාව ප්‍රතිසංවිධානයට දෙන මුදල් අත්හිටුවන්න බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු 7 ක්‌ එරට රජයෙන් ඉල්ලති

ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය ලබාදෙන ස්‌ටර්ලිං පවුම් මිලියන 6.6 ක ...

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...