භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චරිතය කරලියට එන්නේ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයත් සමගිනි. කලක් ඉතා උද්වේගකර ආකාරයේ ප්‍රකාශ නිකුත් කරමින් කැරලිකාර චරිතයක් ලෙස මාධ්‍ය තුළ පුවත් මවන්නියකව හුන් ඇය දැන් තරමක් නිහඬ ආකාරයක් පෙන්නුම් කරයි. ඇය එසේ නිහඬ වූයේ ඇයි? ඇය පිළිබඳ අලුත් තොරතුරු මොනවාද? පසුගියදා අවසන් වූ භාරත ලක්ෂ්මන්ගේ දෙවර්ෂ පූර්ණ පිංකමෙන් පසු දවසක අපි හිරුණිකා හමුවීමට ජාවත්තේ පිහිටි නිවසට ගොඩ වැදුනෙමු. මේ කලකට පසු ඇය සමග කළ සම්මුඛ සාකච්ඡාවකි.
ඇයි දැන් වැඩිය මාධ්‍යයේ පේන්න එහෙම නැත්තේ? ඉස්සරට වඩා ටිකක් නිහඬයි නේද?
පසුගිය කාලේ තිබුණු විභාග වැඩ නිසා නඩුවට එන්නත් බැරිවුණා. ඒ නිසා තමයි මාධ්‍යවලට කතා කරන්න වුණත් බැරිවුණේ. ඒ වගේම දැන් මුල් කාලේ වගේ මාධ්‍යවලිනුත් ඒ ගැන වැඩි විමසුමක් නෑ. තාත්තා නැති වෙලා දැන් අවුරුදු දෙකක්. කොච්චර කාලයක් ගියත් තාත්තා අහිමි වීමේ අඩුව අපට නම් තවම දැනෙනවා.
පියාගේ දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් පවුලෙ අය විශේෂ පින්කමක් කළා?
ඔව්….මෙම ඔක්තෝබර් 08 දින සිට 09 දිනට පහන්වන තුරු සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් පැවැත්වුවා. 08 දින උදේ කොලොන්නාවේ පිහිටි තාත්තගේ පිළිරුවට පුෂ්‍පෝපහාර දැක්වීමක් කළා. තාත්තා නැතිවෙලා අවුරුදු දෙකක් ගතවුණාද කියලා හිතාගන්නත් බැහැ. ජීවතුත් අතර නැති උනත් ඔහු අපේ හදවත්වල ජීවමානයි. තාත්තාට හුඟක් යාලුවෝ හිටියා. ඒ හැමෝම දානෙදි පිංකමේදී අපට හුඟාක් උදව් කළා. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාත් මේ පින්කමේදී හුඟක් උදව් පදව් කළා. නාමල් රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, සාලින්ද දිසානායක, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර ,වාසුදේව නානායක්කාර යන මැති ඇමැතිවරුන් පුෂ්‍පෝපහාර දැක්වීමට එක්වූවා.
තාත්තා ගැන තියෙන හැඟීම්බර අතීත මතකයන් තවමත් ඔබේ හිතේ වේදනාවක් ඇති කරනවා ඇති?
ඒ ගැන කියන්න වචන නැහැ.
පුංචිකාලේ අපි හිටියේ කොළොන්නාවෙ ගෙදර. ඒ ගෙදර තාත්තලාගේ නංගිලා, ආච්චිලා, සීයලා ඇතුළු සේරම පහලොස් දෙනෙක් විතර හිටියා. අපි හිරවෙලා හිටියේ පුංචි කාමරයකට. මට මතකයි තාත්තා මට අවුරුදු තුනේදි විතර සද්දකරලා පනින පුංචි සෙල්ලම් බලු පැටියෙක් ගෙනත් දුන්නා. මට මතක හැටියට ඒක තමයි තාත්තා මට ගෙනත් දීපු පලමුවෙනි තෑග්ග.
මම ඉගෙන ගත්තෙ කොළඹ විශාඛා විද්‍යාලයේ. පළවෙනි වසරෙ මුලින්ම පාසල් යද්දී අනිත් ළමයි ලස්සන ලස්සන පැන්සල් පෙට්ටි ගෙනත් තිබුණා. මම විතරක් පැන්සල්, මකන කෑලි ටික බෑග් එකේ දාගෙන ගියේ. මට හරියට දුක හිතිල ගෙදර ඇවිත් කීවාම තත්තා මා එක්ක ගිහින් මට ඉස්තරම්ම වර්ගයේ පෙන්සිල් බොක්ස් එකක් අරන් දුන්නා.
තාත්තා නැති වනවිට මට අවු 24 වුනත් මම තාත්තාගේ පුංචි දුව විදිහට තමයි හැමදාමත් හිටියේ. තාත්තා මට කොච්චර ආදරේ කළාද කියනවා නම් අම්මා සැරයක් තාත්තට කියලා තිබුණා, දුවට ඔච්චර ළංවෙලා ඉන්න එපා. කවද හරි දුවව පිටට දෙන්න වෙනවා. දුව බඳින දවසක ඔයාට ගොඩාක් දුක හිතේවී කියලා.
පුංචි කාලේ මට මතකයි තාත්තා මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ගෙදර ළඟින් යද්දි මම තාත්තාට මල් මාලයක් දැම්මා. තාත්තගේ බෙල්‍ලේ මල් මාල පිරිලා තිබුණා. මම මල් මාලේ දාද්දී සෙනඟ පී්‍රතිඝෝෂා කරපු ආකාරයට මට ලොකු ආඩම්බරයක් ඇතිවුණා. එදා මට හිතුණා මමත් වීරවරියක් කියලා.
බොහෝ අවස්ථාවල අපි උදේ පාසල් යද්දි තාත්තා නිදි. පාසල ඇරිලා එද්දි තාත්තා නෑ. එයා රෑ වෙලා එද්දී අපි නිදි. ඒ දවස්වල අපේ පන්තියේ අනික් ළමයි, සති අන්තයේ එයාලගේ අම්මලා තාත්තලා එක්ක විනෝද චාරිකා ගිය ආකාරය ගැන කතා කරනවා. එතකොට මම හිතනවා එයාලගේ තාත්තලා රැකියා කරන්නේ නැද්ද කියලා. ඒත් පහු කාලෙක මම තේරුම් ගත්තා එයාලා කරන රැකියාවයි තාත්තා කරන රැකියාවයි වෙනස් කියලා. ඒ නිසා තමයි අපට ඒ අවස්ථාව නැත්තේ කියලා. මට විශාඛා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස පදක්කම පළන්දන අවස්ථාව බලන්න එන්නවත් තාත්තාට වෙලාවක් තිබුණේ නෑ. ඒත් ඊට පෙර දිනයේ, පෙර පුහුණුවීම් බලන්න තාත්තා ආවා. ඒ වගේ පුළුවන් හැම අවස්ථාවකදීම තාත්තා ඒ කටයුතුවලටත් සහය දුන්නා. දේශපාලනඥයින් බොහෝ දෙනකුට තමන්ගේ පවුල ගැන බලන්න ඉඩක් නැති නිසා තමයි බොහෝ දරුවන් අම්මලට හුරුවෙන්නේ. ඒත් තාත්තා දේශපාලනයයි විවාහයයි දෙකම හොඳින් සමාන්තරව පවත්වාගෙන ගියා කියලා මට හිතෙනවා. අපේ ගෙදර වැඩට ආයම්මලා හිටියේ නැති නිසා තාත්තා තමයි අපිව වඩාගෙන ඉන්නේ අම්මා ගෙදර වැඩ කරගන්නකම්.
ඒ වගේම මමයි මල්ලියි තාත්තගෙන් හොඳට ගුටිකාලාත් තියෙනවා. අනිත් ළමයින්ට වගේ අපිට පාටිවලට එහෙම යන්න ඉඩ දුන්නේ නැහැ. ඒ වෙලාවට ඒවාට යන්න දෙන්නේ නැත්තෙ ඇයි කියලා මම අඬනවා. එතකොට තාත්තා කියනවා තව අවුරුදු කීපයකින් ඔයා ඒක තේරුම් ගනීවි කියලා.
ඒ දවස්වල කවුරුහරි පිරිමි ළමයෙක් මට දුරකතන අංකයක් දුන්නත් මම කෙලින්ම ඒක ගෙනත් දෙන්නෙ තාත්තට. තාත්තා කෝල් කරලා අහනවා ඇයි කියලා. කොහොම හරි තාත්තා කරන්න එපා කියලා තියෙද්දිත් මම කළ හිතුවක්කාරකම් නිසා මට යම් යම් දේවල් වැරදිලා තියෙනවා. මම ‘මිස් ශ්‍රී ලංකා’ තරගයට යන්න හදද්දී තාත්තා එහි ආදීනව මට කියා දුන්නා. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සදාචාරය අනුව මෙවැනි දේවල් අහිතකරව බලපාන බව මම අවබෝධ කර ගත්තා. මම ‘මිස් ශ්‍රී ලංකා’ දිනලා ‘මිස් වර්ල්ඩ්’ තරගයට සතුටින් ජපානයට ගියා.
මගේ තාත්තා නැතිවෙලා ගෙවුණේ දවසයි. වබේ අඩවි පුරා මම නිරූපිකාවක් බව හඟවන, ඒ වගේම නාන ඇඳුමෙන් තරගයට ඉදිරිපත් වෙච්චි සැටි පෙන්වන පින්තූර අපහාසයට වගේ පළ කරලා තිබුණා. මට හිතුනා තාත්තා එදා කියූ දේ හරියටම හරි නේද කියලා.
ඔබ ගැන අලුත් තොරතුරුත් ටිකක් කතා කරමු. හිරුණිකා තවම නව යොවුන් වියේ සිටින කෙනෙක්. ආදරය, විවාහය ගැන අලුත් ආරංචි මුකුත් නැද්ද?
මේ වසර දෙකට මම ඉගෙන ගත් දෙයක් තියෙනවා. ඒ වගේම ආදරය කරලා මම ආදරයෙන් පැරදිලාත් තියෙනවා. මට දුන්නු පොරොන්දු කඩ කරලා තියනවා. මම රැවටිලා තියෙනවා.
තාත්තගේ වියෝවින් පසු මට දැනෙන දුක, වේදනාබර හැඟීම් සිත ඇතුළෙ තියාගෙනයි මම ජීවත් වෙන්නේ. මම හිතන්නේ මේ ලෝකෙ සැබෑම ආදරය තියෙන්නේ අම්මා තාත්තා ළඟ විතරයි කියලයි. ඒ ලේ බැම්ම හරිම ශක්තිමත්. මම බලාපොරොත්තු වෙන්නේ ඇත්ත කතා කරන, මා වෙනුවෙන් කතා කරන, නැගී සිටින, කොන්ද පණ තියෙන කෙනෙක්. මොන ප්‍රශ්න ආවත් මගේ ළඟ හිඳිමින්, මම කුමන මානසික මට්ටමක හිටියත් මාව සතුටින් තබාගත හැකි අයෙක්. කොටින්ම මගේ තාත්තා වගේ කෙනෙක්.
මගේ අනාගත සැමියා දේශපාලනය කරන කෙනෙක් වුනොත් වඩා හොඳයි. දෙන්නම දේශපාලනය කරන පවුල් හොඳට ඉන්නවා කියලා මම අහලා නෑ. නමුත් අපි කරන්න බැහැයි කියලා හිතන දේවල් කරලා බලන්න ඕනේ. මම කැමති දේශපාලනයට නම් සවසට ගෙදර ඇවිත් තේ එකක් බිබි හරි ඒ ගැන කතා කරන්න කැමති කෙනෙක් වෙන්න ඕනෑ. අපේ පවුලේ අය ඒ ගැන හුඟාක් කතා බහ කරනවා. මට වාසනාවක් තියනවා නම් එහෙම කෙනෙක් ලැබේවි.
තාත්තගේ වියෝවින් පස්සේ මල්ලි එංගලන්තයට ගියේ ලංකාව ගැන කලකිරීමෙන් කියලා ඔබ කියනවා?
ඔව්. ඒ ගියාට පස්සේ මල්ලි ආවෙම නෑ. මල්ලි එංගලන්තයේ කිංස්ටන් විශ්ව විද්‍යාලයේ නීතිය හදාරනවා. එයාගෙ නම යෝගේන්ද්‍ර චන්දීප් ප්‍රේමචන්ද්‍ර. මල්ලි හුඟාක් හුදකලාව ජීවත් වෙන්න කැමති කෙනෙක්. එයා එහෙට වෙලා හිතේ දුක තනියම දරා ගන්නෙ කොහොමද කියලා මට හිතාගන්නවත් බෑ. එයත් තාත්තට හරිම ආදරෙයි. තාත්තා තමයි එයාගේ වීරයා. මේ සිද්ධියෙන් පස්සෙ ලංකාව ගැන එයාට විශාල කලකිරීමක් ඇතිවුණා. අපි දෙන්නා දවස ගානේ කතා නොකළත් මම යවන එක මැසේජ් එකෙන් එයා තේරුම් ගන්නවා මගේ මානසික මට්ටම ගැන. මගේ බලා පොරොත්තුවක් තියනවා ටික කලකට මල්ලි ළඟට ගිහින් ඉඳලා එන්න. මල්ලි බොහෝ විට එහේම රැඳේවි.
හිරුණිකා දැන් රජයේ රැකියාවකට යනවා කීවා නේද?
දැන් මාස දෙකක ඉඳලා මම ධීවර සංස්ථාවේ නීතිවේදිනියක් ලෙස කටයුතු කරනවා. රාජිත සේනාරත්න ඇමතිතුමා තමයි මට මේ රැකියාව දුන්නේ. මම ජීවිතේට හිතුවේ නෑ මට උදේ 8 සවස 5 යි අතර කරන රැකියාවක් කරන්න හැකිවේවි කියලා. මම කැමති දේශපාලනයට. නමුත් රැකියාව කරන තැන අය මා එක්ක හරිම මිතුරුයි. ඒ නිසා ඒ රැකියාව තෘප්තිමත්ව කරනවා.
හිරුණිකාට අනාගත දේශපාලන බලාපොරොත්තුවක් තියෙනවද?
දේශපාලනය කරලා පාර්ලිමේන්තුව නියෝජනය කරන්න කෙනකුගේ කැමැත්ත, කැපවීම හා වාසනාව යන තුනම එකතු විය යුතුයි. සමහරුන්ට ලොකු හැකියාවක් තිබුණට වාසනාව නැහැ. ජනතා කැමැත්ත නැහැ. සමහරුන්ට ජනතා කැමැත්තයි, වාසනාවයි තිබුණට කිසිම හැකියාවක් නැහැ. මට තාම අවු 26 යි. කුඩා පඳුරක් ගලවන්න ලෙහෙසියි. ඒත් මාර ගහක් ගලවන්න අමාරුයි. දේශපාලනයෙනුත් ඒ තත්ත්වය ඇති කරගන්න පළපුරුද්ද හා දැනුම අවශ්‍යයි. හාවයි ඉබ්බයි වගේ රේස් යන්න මට ඕනේ නැහැ. නිවැරදි කාලෙදි ජනතාව මාව භාර ගත්තොත් දේශපාලනයට එන්න මට ඉඩක් ලැබේවි.
හිරුණිකාගේ සහජ හැකියාවන් ගැන කවුරුත් දැනගන්න කැමති ඇති?
මට හොඳට ගීත ගයන්න, නටන්න වගේම රඟපාන්නත් පුළුවන්. ළඟක් වෙනකම්ම, බම්බලපිටියේ වජිරාරාමයේ දහම් පාසලේ ඉගැන්නුවා. පොත් පත් බලලා ජ්‍යොතිෂයත් ඉගෙන ගත්තා. කේන්දරයක කොටුවල ග්‍රහ පිහිටීම විස්තර කරන්න මට පුළුවන්. මම හොඳ මේකප් ආටිස්ට් කෙනෙක්. ඒ වගේම ඇඳුම් විලාසිතාවලටත් මට හොඳ ඉවක් තියනවා. මම අඳින්න හුඟාක් කැමති කුරුතා එකයි, සාරියි තමයි.
එංගලන්තයේ සිටියදී බොහෝ දේ ඉගෙන ගත් බව කිව්වා?
ඇත්තට මගේ පාසල් කාලයයි, එංගලන්තයේ ගතකළ කාලයයි තමයි මම හුඟාක්ම සතුටින් හිටියේ. මම අවු 18 න් එංගලන්තයට ගියේ. ජීවිතේ තනියම තේ එකක් හදාගෙන බිවේ ඒ රටේ දී. සමහර දවස්වල මම උයන කොට බත් වෙනුවට හැදෙන්නේ බත් කැඳ. ඒ හාල්වලට වතුර වැඩිවෙලා. රෙදි ටික හෝදගන්න, කාමර අස් කර ගන්න වගේ හැම වගකීමක්ම ඒ කාලේ මම ඉගෙන ගත්තා.
ඉස්සර මට දිග කොණ්ඩයක් තිබුණා. එහේ මට හිටියා අරාබි ජාතික යෙහෙළියක්. දවසක් අපි ලන්ඩන්වල ඇවිදිද්දී සුද්දෙක් ඇවිත් කීවා ‘මම Asia-Women කියන මැගසින් එකේ කර්තෘ කෙනෙක්. මනාලියක් ලෙස අන්දවලා ඔයාගේ පින්තූර ගන්න කැමතිද කියලා. මමයි ඒ යාළුවයි ඒකට කැමති වෙලා ගියා. එදා පැයකට මට පවුම් 500ක් ලැබුණා.
ඉගෙන ගන්න ගෙදරින් දෙන මුදලට අමතරව වියදමට මුදල් හොයාගන්න කවුරුත් එහේ රැකියාවක් කරනවනේ. ඒ නිසා මම කුඩා ළමයෙක් බලාගන්නත් ගියා. මානසික ආබාධයක් තියෙන ළමයෙක්. පසුව කෝපි අවන්හලකත් රැකියාවක් කළා. ඊට පස්සේ යුනිවසිටි එකේ නැටුම් ඉගැන්නුවා. උඩරට, පහතරට , භරත, කතක්, බෙලි ඩාන්ස් හා සල්සා නැටුම් මට පුළුවන්.
සමහරු කියනවා ඔබ ඉස්සර තරමට දැන් රජය විවේචනය කරන්නෙ නෑ කියලා.
කීප දෙනෙක්ම මට ඔය විදිහට කීවා. මම කවදත් රාජ්‍ය විරෝධියෙක් නමෛයි. මට ප්‍රශ්නය තියෙන්නේ එක් පුද්ගලයෙක් එක්ක පමණයි. පාර්ලිමේන්තුවේදී පක්ෂ භේදයකින් තොරව තාත්තා වෙනුවෙන් කථා කළ අය හිටියා. කොළොන්නාවේ නිල් කොඩියක් දාන්න බැරුව ඉද්දි තාත්තා තමයි නිල් කොඩියක් දැම්මේ. තාත්තා මැරුනේ මේ පක්ෂය වෙනුවෙන්. මට වෙන පක්ෂයකට ගිහින් පළිගන්න ඕනෙ නැහැ. එදා වගේම අදත් මම කියන්නේ වරදට දඬුවම් ලැබිය යුතුයි කියලයි. තාත්තාගේ මිනීමරුවන් සම්බන්ධයෙන් නීතියෙන් සාධාරණය ඉටුවන තුරුම සටන් කිරීම අත් හරින්නේ නැහැ.
තාත්තා නැති වුණු මුල් දවස්වල තාත්තාගේ ඇඳුමක් දැක්කත් අපිට ඉකි ගගහ ඇඬෙනවා. තාත්තා ඉන්න කාලේ අපි එක එක විදිහේ කෑම හදාගෙන කෑවා. දැන් එහෙම නැහැ. අම්මයි මමයි දැන් ඔය මොනවා හරි හදාගෙන කනවා. ඒ දවස්වල සමහර වෙලාවට අම්මා එක්ක රණ්ඩු උනාම මම තාත්තට තමයි කතා කරලා කියන්නේ. ළඟදි දවසකත් ඒ වගේ දෙයක් වෙලා මට තාත්තව මතක් වුණා. තාත්තා නැහැ නේද කියලා හිතුණා.
මට කියන්න තව එක දෙයක් තියනවා. අහන්න එක ප්‍රශ්නයක් තියනවා. තාත්තාගේ මරණින් පස්සේ සමහරු මාත් සමග වෛර බැඳගෙන ඇයි මට මඩගහන්නේ කියලා. හැම කෙනෙක්ම අවසානයේ තමන්ගේ ගෙදරට මුහුණ දිය යුතුයි. තමන් ගැනවත් සිතලා, තමන්ට එහෙම දෙයක් වුනොත් තමන් පත්වන අසීරුව ගැනවත් හිතලා, අනිත් අයගේ ආත්ම ගරුත්වය රැකීම මාධ්‍යයේ වුනත් වගකීමක් වෙනවා.
නිශානි ලසිතා හේරත් බන්නැහැක
ඡායාරූප: ප්‍රියන්ත ගමගේ