කමකට නැති දුරුතු සීතල පොරවාගෙන වකුටුව සිටින හිමිදිරිය අපටත් කියන්නේ වකුටු වන්නටය.
එහෙත් වකුටු වෙවී සිටින්නට මේ වෙලාව නොවේ.
හැකි තරම් ඉක්මනින් මා එහි යා යුතුව තිබේ.
දුරුත්තේ සීතල කූරු සිරුරට දෙන්නේ එසේ මෙසේ වධයක් නොවන නමුදු එය සැලකිල්ලට ගතහොත් උදෑසන හතට අපට එහි එන්නට යැයි කී ඔහු, අපේ ප්‍රමාදය සැලකිල්ලට ගෙන, අප එනතුරු තවත් තත්පරයක්වත් එහි නොරැඳෙනු ඇත.
‘හතට නාවොත් එයා යනවලු. හතහමාරට තවත් අත්‍යවශ්‍ය වැඩක් දාගෙනලු.’
ගඟබඩ පාරට හැරෙන විටත් ටෙලිෆෝනයෙන් ආ වචන මගේ කන අසල යළිත් පෙනී සිටියේය.
මම ගමන ඉක්මන් කළෙමි.
කල් මරන්නට හෝ අපතේ හරින්නට කාලයක්වත් තවත් බලා සිටින්නට තත්පරයක්වත් ඔහුට නැති වන්නට ඉඩ තිබේ.
ඒ, ඔහු රජයේ ක්‍රියාකාරී අමාත්‍යවරයෙක් වන හෙයිනි.
සුදු පැහැ මන්දිරයක විශාල ගේට්ටුව අප වෙනුවෙන් ඇරී තිබුණු අතර, හිමිදිරි සීතල තඹයකටවත් තැකීමක් නොකරන සුන්දර මලක්, ඇරුණු ගේට්ටුව අසබඩ පිපී තිබිණි.
‘සුබ උදෑසනක්’
ඇමැති ඇඹණියගේ හිමිදිරි ප්‍රාර්ථනය උණුසුම්ය.
‘උදෙන්ම ආව නේද. කියපු වෙලාවටම. රාහු කාලය බලලද ආවෙ?’
ඕ සිනාසෙන්නීය. ඒ සිනාව වචනවලටත් වඩා උණුසුම්ය.
වරක් මෙහි පැමිණ තිබෙන නිසා, ඇතිව තිබෙන සුපුරුදුකම අතරිනුත් රිංගාගෙන මම ඇමැති බිරිය අචලා ධම්මචාරිකාත් සමඟ ඉහළ මාලයට ගොඩ වුණේ ජුගුප්සාවෙනි. දේශපාලනයෙන් තොර කතාබහකට තොරතුරු හා තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා හවුල් කර ගැනීමට අසීරුවක් වේදෝයි සිතට කුකුසක් දැනෙයි.
චෝගම්නුත් අවසන්ය.
අය – වැයත් අවසන්ය.
2013ත් අවසන්ය.
2014 එළැඹී ඉදිරියට නිදහසේ සැමරුම උදාවෙයි.
දැයට කිරුළත් අත ළඟය. මෙවර එය කුලියාපිටියේදී පැවැත්වේ.
එහි නියමුවා මා අබියසය.
කතාව පටන් ගත යුත්තේ එතැනිනි. එතැනින් ආරම්භය ගෙන හීන් සීරුවේම මගේ මාතෘකාවට පැන ගැනීම ඇඟට නොදැනීම කළ යුතු දෙයකි. එනමුදු දේශපාලකයන් රැවටීම ලෙහෙසි පහසු නැත. අවසානයේදී අපට නොදැනීම අප රැවටෙන හෙයිනි.
‘කූඩාරම්වලින් තොර, තාවකාලික ඉදිකිරීම් නැති දැයට කිරුළ ප්‍රදර්ශනයක් ඉදිරිපත් කිරීම තමයි අපේ ඉලක්කය.’
සිංහල සංස්කෘතියට ගරු කරන, දේශීයත්වය අගය කරන, ගැමි උප සංස්කෘතීන් කෙරේ පෘථුල දැක්මක් ඇති රංජිත් සියඹලාපිටිය මහතා, ජේයාතිෂය කෙරේද යම් බැඳීමක් නැතැයි සිතිය නොහේ.
‘නෑ. ජේයාතිෂය බොහොම ප්‍රබලව විශ්වාස කරන්නෙනම් නැහැ. නමුත් යම් තරමකට විශ්වාස නොකරන්නෙත් නැහැ. මං කේන්ද්‍ර පලාපල කෙරේ ගැතිවෙලා නැහැ.’
‘ඔබ ආවෙ ගැමි සමාජයකින්. ජේයාතිෂය පැතිරිලා තියෙන්නෙ හුඟාක් දුරට ගැමියන් අතරෙ. නමුත් අද වෙද්දි ජේයාතිෂය නාගරිකයන් අතරටත් ඇවිත්. සිංහල වැඩි දෙනෙක් ජේයාතිෂය පිළිගන්නවා.’
‘වෙන්න පුළුවන්. නමුත් මගේ විශ්වාසය තියෙන්නෙ මගේ ආත්ම විශ්වාසය කෙරේ. යම් දෙයක් කරන්න පුළුවන් කියා විශ්වාසයෙන් මං වැඩ කළොත් ඇත්තටම ඒ දේ මට කරන්න පුළුවන්. එතැනයි මගේ විශ්වාසය.
හැබැයි මං මේ කරන්නෙ ජේයාතිෂය කියන දේ අගරුවට පත්කිරීමක් නොවේ. ඒක පැහැදිලිවම කියන්න ඕන…’
‘රාහු කාලය වගේ දේවල් ගැන කොහොමද දැක්ම…’
‘මෙහෙමයි. ඒවා ගැන සැලකිලිමත් වෙන්න පුළුවන් නං හොඳයි. අපිට යෙදෙන වැඩ රාජකාරි උඩ කොහොමද රාහු කාලය බල බලා ඉන්නෙ? අත්‍යවශ්‍ය වැඩ රාජකාරිවලට අවශ්‍ය වේලාවට යා යුතුයි. ඒක රාජකාරිමය වගකීම..’
ඉහළ මාලයට නඟින පඩියක් මත වාඩිවී සිනාසෙමින් සිටින අචලාගේත් දූවරු දෙදෙනාගේත් රූ සටහන්, අශේන්ගේ කාචයේ පැලපදියම් වෙයි. ලොකු දුව මල්කි ෂාෂාය. පොඩ්ඩි මල්ෂා ෂ්‍යාම්ය.
හැලහැප්පුම්කාරකම් තිබුණත් ජීවිතය සුන්දර නැතැයි කිව නොහැකිය.
‘අචලා එක්ක විවාහ වුණේ කේන්ද්‍ර බලල නෙවෙයිද?’
සඟවන්නට ගිය යමක් දැන් නම් ඉතින් වැමෑරිය යුතුව ඇතැයි සිතුණ නිසාද, නොඑසේ නම් අතීතයේ සෙනෙහබර සිදුවීම්වල ආදරණීය මතකයන් තවමත් ඔහුගේ සිත ආදරණීයව වැලැඳ ගන්නා නිසාදැයි නොදනිමි.
ඔහු රහසින් සිනාසෙයි.
අචලා පමණක් නොව දරුවන්ද ඔහුට එක්වෙයි.
‘අචලා ඔයා කියන්න…’
‘නෑ… නෑ… ඔයානේ කේන්ද්‍ර බැලුවෙ. ඔයා කියන්න…’
උගුලකට අසුව ඇත. බේරී යා හැකි ක්‍රමයක්ද නැත.
‘ඒක කිව්වොත් එයාගෙ තරුපති පත්තරේට ඒක ගැළපෙන එකක් නැහැ.’
ඇමතිවරයා අන්තිම තුරුම්පුවත් ගසන සෙයකි.
‘නෑ… නෑ… එහෙම ප්‍රශ්නයක් නෑ. කේන්ද්‍ර ගැන විශ්වාසයක් තියෙන නිසානෙ කේන්ද්‍ර බලවලා තියෙන්නෙ. මොකක්ද වුණේ කියල කියන්න..’
‘අපි යාළුවෙලා හුඟාක් කල් හිටියා…’
ඇමතිවරයා ආරම්භ කරයි.
‘ඒ කාලෙ තමයි පන්සියපනස් ජාතකේ වගේ ලිපි එව්වෙ මට. දිගට හරහට. මහා දිග ලියුම්… පැදුරු වගේ…’
අචලා අත්වැල් බඳියි.
‘ඒ කාලෙ ඉතින් දැන් වගේ ඉ.ර්.ඉ. නැහැනේ. දිගට හරහට එයත් මට ලිව්වා.’
දූවරු දෙදෙනාට හිනා වෙන්නට ගෙයත් මදි තරම්. අචලාගේ මුහුණ සිනාවෙන් රතු වී ඇත.
‘මම එතකොට විශ්වවිද්‍යාලෙ. අචලා වෝටර් බෝඩ් එකේ. ඉතින් යාළුවෙලත් හුඟක් කල් ගියපු නිසා අපිට විවාහ වෙන්න ඕන වුණා. අචලාගෙ ගෙදරින් කිවුව කේන්ද්‍ර බලන්න ඕන කියල.
ඉතින් කේන්ද්‍ර බැලුවනේ. කේන්ද්‍ර දෙක ගැළපුණේ නැහැ. බොහොම ප්‍රසිද්ධ කෙනෙක් බැලුවෙ. කීයටවත් බඳින්න එපා කිව්ව. බැන්දත් දරුවො ලැබෙන්නෙත් නෑ කිව්වා.
මං ඒව ඇහුවෙ නෑ. අපේ මාම කෙනෙක් හිටිය විදුහල්පති කෙනෙක්. එයාට මං ගිහින් කිව්ව මට අප්‍රේල් මාසෙ විවාහ වෙන්න ඕන. හොඳ දවසක නැකැතක් දෙන්න කියල. අප්‍රේල් මාසෙ කෝණ කියල මාම නැකැත් දෙන්න බෑම කිව්ව. අන්තිමේදි මගේ වදේට අප්‍රේල් 19 වැනිදට ඔන්න නැකැතක් සුද්ධ කරල දුන්න.
ඉතින් අපි දෙන්න පෝරුවෙ නැග්ගෙ අප්‍රේල් 19 වැනිදා. කේන්ද්‍ර ගැළපුණේ නැතත් අපේ ජීවිත අසාර්ථක වුණේ නෑ. අපිට දරුවොත් ලැබුණා. මට හිතෙන්නෙ ජේයාතිෂය බොරු කරන්න බැහැ. අපිට විවාහ වෙන්න හොඳ වෙලාවක් ලැබෙන්න ඇති.’
ඇමැතිවරයා තවත් කතාවක් මතක් කරයි.
‘මම ඉස්සෙල්ලාම ඡන්දෙ ඉල්ලන්න සූදානම් වෙද්දි අචලා කවුදෝ ජේයාතිෂවේදියකුගෙන් අහල තිබුණා ‘මහත්තයා දේශපාලනේ කරන්න යනවා. ඒක හොඳද?’ කියලා. ඒ මනුස්සය කිව්වලු ‘මහත්තය දිනුවොත් මං කන කපා ගන්නව’ කියල.
ඔව්. ඇත්තමයි මේ කියන්නෙ. නමුත් මං හොඳ ජයග්‍රහණයක් ලැබුවා. ඒ වෙලාවෙදි සමහර ජේයාතිෂවේදීන් කියන හැම දෙයක්ම හරි නොයන බව මේ කරුණු දෙකෙන්ම ඔප්පු වෙනව. නමුත් මෙහිදී මං දකින කාරණය තමයි අදටත් ඇතැම් ජේයාතිෂවේදීන් කියන අනාවැකි බොරු වෙලා තියෙනවා. නමුත් ජේයාතිෂය කියන්නේ එක්තරා සත්‍යමය සංසිද්ධීන් සහිත ගණිතමය සංකල්පයක් වෙන්න පුළුවන්. ඒක මම විශ්වාස කරනව.
නමුත් මං ඊට ඇබ්බැහි වෙලා නැහැ. සමහරවිට මං ඒ මාර්ගයත් තෝරා ගත්තොත්, මට මීට වඩා හොඳ ගමනක් යන්නත් පුළුවන් වේවි. ඒක හරි. නමුත් මගේ දර්ශනය තියෙන්නෙ අධිෂ්ඨානය, කැප වීම හා උදේයා්ගය තුළ ප්‍රතිඵලය කියන සංකල්පය. මට ඒ සංකල්පය මගේ හෘද සාක්ෂිය වගේම විශ්වාසයි.’
ගැමි ගතිය අගය කරන, ගමේ සිදුවීම් ඇසුරු කරගෙන පොත පත ලියන, ගමට ළැදි ඇමැතිවරයාගේ ජේයාතිෂ දැක්ම අචලාත් නිහඬව විඳියි. මට මතක අයුරින්, වරක් අචලා කීවේ අෑ ජේයාතිෂය පිළිගන්නා බවකි.
‘හැබැයි. රංජිත් ඔහොම දැන් කිව්වට එයා පොදු වැඩවලදී ජේයාතිෂය විශ්වාස කරලා තමයි ඒවා ගැන තීන්දු තීරණ ගන්නේ.’
‘ඔව් ඇත්ත. අචලා කියන එක හරි. ඔය දැයට කිරුළ උත්සවය වෙනුවෙන් මුල්ගල තියද්දි නැකැතකට තමයි ඒවා ඉටු කෙරුවෙ. ඒවා ගැන මං අප්‍රසාදයෙන් කටයුතු කරන්නෙ නෑ. ඔය ජේයාතිෂය, පලාපල, කේන්ද්‍ර, ග්‍රහ තොරතුරු ගැන මේ රටේ ජනතාව තුළ දැඩි විශ්වාසයක් තිබෙනවා. මං ඒ දැවැන්ත විශ්වාසයට ගරු කරනවා. අපේ ජනාධිපතිතුමා වුණත් ඒ සංස්කෘතික සංකල්පවලට විශ්වාසයෙන් යුතුව ගරු කරනවා. රටේ නායකයා වශයෙන්.
ඉතින් මම වුණත් ඒ තැන තමයි ඉන්නේ…’
කිසියම් කාර්යයක් අවිශ්වාසයෙන් යුතුව කිරීමට වඩා, විශ්වාසයක් පෙරදැරිව සිදු කිරීම තුළ මහත් ප්‍රතිඵල ලැබෙන බව සියඹලාපිටිය මහතා කියයි. ජීවිතයේ අභියෝග ජයගත යුතු වන්නේ එලෙසිනැයි ඔහු අවධාරණය කරයි.
‘එතකොට දරුවන්ගෙ කේන්ද්‍ර බලලම නැද්ද?’
මම අතුරු ප්‍රශ්නයක් නඟමි.
‘ඇයි බලල නැත්තෙ? ඒව අචලා වෙලාවට අකුරටම ඉෂ්ට කරනවා. අපි කේන්ද්‍රවලින් නොගැළපෙනවා කියල කිවුවට අචලා මාව තේරුම් අරගෙන වැඩ කිරීමත් මට සතුටක්. මගේ දරුවන් දෙදෙනා මෙහෙම උස් – මහත් කෙරුවෙ අචලා. ඉතින් කොහොමද අපි නොගැළපෙන්නෙ? ඒක නිසා මම කියන්නෙ ජේයාතිෂය නිවැරැදිව කියන ජේයාතිෂවේදීන් අපේ රටේ ඉන්නවා. ඔවුන් ඉස්මතු කළ යුතුයි.’
පසුගිය දැයට කිරුළ ප්‍රදර්ශනයකදී සිදුවූ දෙයක් පිළිබඳ ඇමැතිවරයා සිහිපත් කරන්නේ හාස්‍යයෙනි.
‘දැයට කිරුළ ප්‍රදර්ශන භූමියකදී එක ගමනක් පුවත්පතක ඉල්ලීමක් උඩ අපි ජේයාතිෂ කාර්යාලයකුත් දැම්මා. එහිදී ජේයාතිෂවේදියෙක් මගේ අත බලල කිව්වා, ‘ඔයාට ලබල තියෙන දශාව බොහොම භයානකයි’ කියලා. මං කිව්ව මට දේශපාලනය කරන්න ඕන කියලා. ඒ වෙනකොටත් මං ඇමැති කෙනෙක්. ඒ මනුස්සයා මාව අඳුනා ගත්තෙ නෑ.
එයා කියනව ‘දේශපාලනය කියන දේ හිතට කොහොමටවත් ගන්න එපා, ඔයා කොහොමද දේශපාලනේ කරන්නෙ ඔයාට හරියන්නෙ නෑ ඒක’ කියල.
ඉතින් ඔන්න බලන්න ජේයාතිෂය බෙදිල ගිහින් තියෙන හැටි.
ජේයාතිෂයේ බොරුකාරයන් එමටයි. නමුත් හැමෝම බොරුකාරයෝ නොවේ. පුංචි දෙයක් ඉගෙන ගත්තාම එයාල හිතන්නෙ ලෝකෙම අල්ලන්න පුළුවන් කියලා. එහෙම බැහැ.
ජේයාතිෂය කියන්නෙ උතුම් ශාස්ත්‍රයක්. ඒක හරි හැටි පරිහරණය කරන්න ඕන. අවුරුදු දහස් ගණනක් මේ ශාස්ත්‍රය මේ විදියට පවතින්නෙ එහි තියෙන සත්‍යතාව නිසයි.
අනෙක් එක තමයි ඇහැට පෙන්වන්න පුළුවන් ශාස්ත්‍රයක් නෙවේනෙ. ඉතින් බොරුකාරයො ඕන කෙනකුට ඔය ශාස්ත්‍රය ඇතුළට රිංගා ගන්නත් පුළුවන්. කට තියෙනව නං, අල්ලෙ පැළ කරන්න පුළුවන් විදියට කතා කරනව නං, ජේයාතිෂවේදියෙක් විදියට රඟපාන්නත් පුළුවන්.’
ඇමැතිවරයාගේ ගමේ ගෙදර ඔහුටම හිමි පුස්තකාලයක් ඇත. දිනෙන් දින පුස්තකාලයට ලැබෙන පොත් අතරට ජේයාතිෂ පොත්ද එකතුවෙයි.
‘මං ඒවා ඒකතු කරන්නෙ වයසට ගිය දිනකදි ඒවා කියවලා බලන්න. එක්දහස් නවසීයෙදි ලියපු ජේයාතිෂ පොතුත් මං ළඟ තියෙනවා. සමහරවිට එච්චර ජේයාතිෂ පොත් සංඛ්‍යාවක්, ජේයාතිෂ පත්තරයක් කරන ඔයා ළඟවත් නැතිව ඇති.’
කොටවෙහෙර හෙවත් සූතිගර චෛත්‍යය. ‘පරාක්‍රමබාහු රජතුමා උපන් තැන හැටියට සැලකෙන මේ කොටවෙහෙර චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරන්නයි මේ දිනවල අපි කටයුතු කරගෙන යන්නෙ… ඒක ඉතාම පැරැණි චෛත්‍යයක්.
නමුත් තවමත් රටේ විශාල අවධානයකට ලක් නොවුණු තැනක්. ලංකාවෙ තාක්ෂණය පිළිබඳ පැරැණිම නිදර්ශනය තියෙන්නෙ කොටවෙහෙරෙ.
ඒක තමයි ඇත් පහන, ඇතාගෙ ශරීරය ඇතුළෙ තෙල් පුරවලා තියෙනවා. තෙල් බින්දුව බින්දුව වැටෙනවා ඇතාගෙ ලිඟුවෙන් අර පහනට. පහන පත්තු වෙන්නෙ ඒ තෙල්වලින්.
මේ චෛත්‍යයේ උඩ කොටස නැති නිසා තමයි ‘කොට වෙහෙර’ කියන්නෙ. සිද්ධස්ථාන අතුරෙන් මං බොහොම කැමැති ස්ථානයක් තමයි. එක සැරයක් අපි මොබිටෙල් කැලැන්ඩරයටත් මේ ස්ථානයේ පින්තූරයක් පාවිච්චි කළා.
ඔබේ ජේයාතිෂ පත්තරයේ සිද්ධස්ථාන ගැනත් ලියන නිසා කොටවෙහෙර ගැනත් එහි ඇත් පහනේ තාක්ෂණය ගැනත් ලියන්න. ලංකාවෙ අපූරු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට කැමැති අයට ඒක ලොකු පිටිවහලක් වේවි.’
දහඅට වංගුවෙන්, වංගු තුනක්වත් නිසියාකාරව නැඟ ගත නොහැකි මැති ඇමතිවරුන් ඕනෑ තරම් සිටින අපේ රටේ, දහ අට වංගුවම තරණය කරන්නට උත්සාහයක, කැපවීමක යෙදෙමින් එහි ප්‍රතිඵලය විඳින්නට රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයා සූදානම්ය.
ඒ ඔහු පොත පත කියවා ලද දැනුමින් පෝෂිත හෙයිනි.
ඔහු මකර ලග්න හිමියෙකි. රාක්ෂ ගණයේය. අචලා කන්‍යා ලග්නයේය. දේව ගණයේය.
‘මං ආසයි එයා දේශපාලනය නොකළා නං…
එතකොට එයා ආදරණීය සැමියෙක් සහ ආදරණීය තාත්තෙක් විදියට හැම මොහොතෙම අපි ළඟ ඉඳීවි. දැන් එයා කාර්යබහුල ඇමැතිවරයෙක්. ඇත්තටම එයාට වෙලාවක් නැහැ. සමහර වෙලාවට අපි අතර ගැටුම් ඇති වෙනවා. ඒක ඉතින් සොබාවිකයි නේ.
අපේ කේන්ද්‍ර නොගැළපෙනවා කියන්නෙ, සමහරවිට ඉතින් රංජිත්ට ගෙදරක ඉන්න වෙලාවක් නැතිකම නිසා වෙන්නැති.’
අචලා කියයි.
‘අපිත් කැමැතියි තාත්ත අපි ගාවම ඉන්නව නං. දේශපාලනය නොකර…’
දියණියන් දෙදෙනා කියති.
‘මං දන්නව. නිවැරැදි ජේයාතිෂයට අපේ කේන්ද්‍ර ඕනෑවටත් වඩා ගැළපෙනව කියල. ඒ ගැළපීම නිසා තමයි මගෙන් කෙරෙන්න ඕන කාර්යභාරයන් පවා ඉටුකර ගෙන අචලා මගේ දූලා දෙදෙනාට හොඳ අම්මෙක් වෙලා ඉන්නෙ. මගේ අඩුපාඩුත් පුළුවන් තරම් දුරට ඉවසාගෙන.
මං අචලාටත්, මගේ දූ පැටව් දෙන්නාටත් පුදුම විදියට ආදරෙයි. ඒක නොපෙන්වීම මගේ වරදක්. නොගැළපීම කියන්නෙ ඒක වෙන්නැති.’ ඇමැතිවරයා හිඳ සිටින අසුනින් නැඟිටියි. සියඹලාපිටිය නම් මේ අපූරු මිනිසා දෙස අචලාත් දරුවනුත් බලා සිටින්නේ මහත් සෙනෙහසින් යැයි මට සිතේ.
සදා ලාලිත් රණසිංහ
ඡායා – අශේන් ගමගේ
Mawbima