සංජය දසනායක
ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 05ක් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද යෝජනාවට ඡන්ද විමසූ අවස්ථාවේ 23:12ක් වශයෙන් වැඩි ඡන්ද 11කින් ශ්‍රී ලංකාව පරාජයට පත්විය. ඇමෙරිකානු යෝජනාවට පක්‍ෂව ඡන්ද 23ක්ද, ශ්‍රී ලංකාවට පක්‍ෂව ඡන්ද 12ක්ද ලැබුණු අතර රටවල් 12ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
මේ අනුව ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය අතරතුර සිදුවූවා යැයි කියන ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෙවත් යුද අපරාධ පිළිබඳ සොයා බැලීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය යටතේ ස්වාධීන ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉඩ ලැබේ.
ඡන්ද විමසීමට පෙර පැවැති අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාවේදී ඉන්දියාව තමන් ඡන්දය දීමෙන් වැළකෙන බව ප්‍රකාශ කෙළේය.
ශ්‍රී ලංකාවට විරුද්ධව ඉදිරිපත් කරන ලද යෝජනාවට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකාවේ සහායට පැමිණි පාකිස්තානය මානව හිමිකම් කවුන්සිලයේ ව්‍යවස්ථාවේ ඇති 10 වැනි පරිච්ඡේදය ඉවත් කිරීම සඳහා වෙනම ඡන්දයක් ඉල්ලා සිටි අතර ඒ සඳහා මානව හිමිකම් මණ්ඩල සාමාජිකයන් අතර පැවැති ඡන්දයේදී රටවල් 23ක් 10 වැනි පරිච්ඡේදය ඉවත් කිරීමට විරුද්ධව ඡන්දය දුන්නේය. 10 වැනි පරිච්ඡේදය ඉවත් කළ යුතු යැයි කියා සිටියේ රටවල් 14ක් පමණි. එම ඡන්දයේදී රටවල් 10ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
ශ්‍රී ලංකාවට පක්‍ෂව අදහස් දැක්වූ පාකිස්තානය, සභාවට යෝජනාවක් ගෙන එමින් පැවැසුවේ ඇමෙරිකානු යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මණ්ඩලය සතුව නොමැති නිසා මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම කල් දැමිය යුතු බවයි. යෝජනාව කල් දැමීම සඳහා ඡන්දයක් පැවැත්විය යුතු බවට පාකිස්තානය සභාපතිවරයාට යෝජනා කළේය.
ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාව කල් දැමිය යුතු බවට පාකිස්තානය කළ යෝජනාවට චීනය හා රුසියාව සහාය ලබා දුන් අතර යුරෝපා සංගම් නියෝජිතයන් එයට විරුද්ධ වෙමින් පැවැසුවේ අතීතයේදී මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ කිසිදු යෝජනාවක් ක්‍රියාත්මක කිරීමේදී ‘මුදල්’ සාධකය බල නොපෑ බවයි.
ඒ අවස්ථාවේදී මානව හිමිකම් කවුන්සිලයේ අතිරේක ලේකම්වරයකු පවසා සිටියේ ඕනෑම යෝජනාවක් ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් ලබාදීමත්, ඒ සඳහා යාන්ත්‍රණයක් සැකසීමත් ගැටලුවක් නොවන බවයි.
කෙසේ වුවත් ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙනා යෝජනාව කල් දැමිය යුතු බවට පාකිස්තානය ගෙනා යෝජනාවටද ඡන්දයක් පැවැත්වීමට සභාපතිවරයා තීන්දු කළ අතර ඒ සඳහා පැවැති ඡන්දයේදී රටවල් 25ක් යෝජනාව කල් නොදැමිය යුතු යැයි පවසමින් පාකිස්තානය ගෙනා යෝජනාවට විරුද්ධ වූහ. රටවල් 16ක් පාකිස්තානයට පක්‍ෂ වූ අතර රටවල් 06ක් ඡන්දය දීමෙන් වැළකුණහ.
ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි කියන මානව හිමිකම් කඩ කිරීම් පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයක ඇති අවශ්‍යතාව තහවුරු කරමින් ශ්‍රී ලංකාවට විරුද්ධව ඡන්දය දුන් රටවල් 23 වූයේ ආර්ජන්ටිනාව, ඔස්ටි්‍රයාව, බෙනින්, බොට්ස්වානා, බ්‍රසීලය, චිලී, කොස්ටරිකා, කෝට්ඩ්වෝයර්, චෙක් ජනරජය, එස්ටෝනියාව, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඉතාලිය, මෙක්සිකෝව, මොන්ටිනීගේරා්, පේරු, ද. කොරියාව, රොමේනියාව, සියරාලියෝන්, මැසිඩෝනියාව, ඇමෙරිකාව හා එක්සත් රාජධානියයි.
ශ්‍රී ලංකාවට පක්‍ෂව ඡන්දය දුන් රටවල් 12 වූයේ ඇල්ජීරියාව, චීනය, කොංගෝව, කියුබාව, කෙන්යාව, මාලදිවයින, පාකිස්තානය, රුසියානු ජනරජය, සෞදි අරාබියාව, එක්සත් අරාබි එමිරේට්, වෙනිසියුලාව හා වියට්නාමයයි.
ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙනා යෝජනාවේදී රටවල් 12ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. එම රටවල් වනුයේ බුර්කිනාෆොසෝ, ඉතියෝපියාව, ගැබොක්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, කසකස්තානය, කුවේටය, මොරොක්කෝව, නැම්බියාව, පිලිපීනය සහ ද. අප්‍රිකාවයි.
ජිනීවා මානව හිමිකම් සැසිවාරය ඇමතූ ජිනීවාහි මෙරට නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා කියා සිටියේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
පෙර නිගමන මත සැකසූ මුළුමනින්ම දේශපාලනීකරණය වූ වාර්තාවක් නවනීදන් පිල්ලේ ඉදිරිපත් කර ඇති බව ඔහු කියා සිටියේය. ශ්‍රී ලංකාව ස්වාධීන රටක් බැවින් මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරිය ස්වෛරී රටක අභ්‍යන්තර කරුණු සම්බන්ධයෙන් මෙලෙස අනවශ්‍ය ලෙස මැදිහත්වීම පිළිබඳව ශ්‍රී ලංකා රජය කනගාටුවට පත්වන බවද රවිනාථ ආරියසිංහ මහතා සඳහන් කෙළේය.