මානව හිමිකම් ක්‍රියාධර නිදහසට සිවිල් සංවිධාන

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින මානව හිමිකම් ක්‍රියාධරයන් වන රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහසෙන් පියතුමා නිදහස් කරන ලෙස ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය ඇතළු සිවිල් සංවිධාන රැසක් රජයෙන් ඉල්ලා සිටියහ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව දේශීයව හා ජාත්‍යන්තරව දැඩි අවධානයක් යොමුවී ඇති මොහොතක රට තුල සිටින මානව හිමිකම් ක්‍රියාධරයින්ට එරෙහිව මර්ධනය තීව්‍ර කිරීම මෙම සිදුවීම මගින් තවදුරටත් සනාථ වන බවයි සිවිල් සංවිධාන නියෝජිතයන් අද කොළඹදී කියා සිටියේ.

දෙමළ ජනතාව හා ඔවුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් ක්‍රියාකාරීන් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා අත්අඩංගුවට ගැනීම තමන් හෙළා දකින බව ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය ප්‍රකාශ කළේය.

දෙමළ ජනතාවගේ මානව අයිතිවාසිකම්

ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය වෙනුවෙන් අදහස් දැක්වූ එහි කැදවුම්කරු ශක්තිවෙල් පියතුමා, අත්අඩංගුවට පත්ව සිටින රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහසෙන් පියතුමන් කිසිදු නීති විරෝධී කටයුත්තකට සම්බන්ධ නොවූ බව පැවසීය.

” දෙමළ ජනතාවගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අය ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා අත්අඩංගුවට ගැනීම අපි හෙළා දකිනවා, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින අයට තර්ජනය කරනවා. බිය ගැන්වීම් කරනවා. විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල වැඩකරන අයට,” යැයි ශක්තිවෙල් පියතුමා පැවසුහ.

අත්අඩංගුවට පත්ව සිටින මෙම ක්‍රියාධරයින් සිදු කර ඇත්තේ ධර්මයේ ඉගැන්විම අනුව පීඩිතයන් වෙනුවෙන් පෙනිසිටීම බවත් ඔවුන් අනුගමනය කලේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සම්ප්‍රදාය බවත් සරත් ඉද්දමල්ගොඩ පියතුමන් කියා සිටියහ.

” 88/89 මානව හිමිකම් කඩෙන අවදියේදී විපක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ගියා පීඩිතයින් හම්බවෙන්න, පින්තුර අරන් ජිනිවා පවා ගියා, ප්‍රවීන් සහ රුකී අනුගමනය කලේ ඒ සම්ප්‍රදාය.මේක වරදක් කියල ආණ්ඩුව හිතනවා නම් මේක කිසිම ශිෂ්ට සම්පන්න බවක් නැති ධර්මයක් අදහන්නේ නැති ආණ්ඩුවක් කියලයි අපිට පෙනෙන්නේ,”යැයි සරත් ඉද්දමල්ගොඩ පියතුමා වැඩිදුරටත් පැවසුහ.

මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු සුනිල් ජයසේකර කියා සිටියේ මෙම ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගත්තේ ආගම් අතර හා ජාතින් අතර අසමගිය ඇතිකළ නිසා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළා යැයි පවසන ප්‍රකාශය ප්‍රතික්ෂේප කල අතර ඔහු පැවසුවේ අද රටේ යම් හෝ ආගමික සහජීවනයක් ඇත්තේ මෙවන් ක්‍රියාකාරීන් නිසා බවයි.

රඳවා ගැනීමේ නීතිය

අතුරුදහන්වුවන් ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක වන සැකකරුවන් උසාවියට ඉදිපත් නොකර රඳවා ගැනීමේ නීතියද දැඩි ලෙස විවේචනය කළේය.

” රඳවා ගැනීමේ නීතිය ඉදිරියේ නඩුකාරවරු අසරණයි , අපි අසරණයි,මොකද ඒක ආරක්ෂක ලේකම් අත්සන් කලාට පස්සේ අපි කාටවත් කරන්න දෙයක් නැහැ, වැරැද්දක් හොයා නොගෙන අවුරුද්දකින් පස්සේ නිදහස් කලත් අපිට කරන්න දෙයක් නැහැ,” යැයි බ්‍රිටෝ ප්‍රනාන්දු පැවසීය.

මේ අතර අත්අඩංගුවේ පසුවන රුකී ප්‍රනාන්දු ඇතුළු මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනා හමුවීමට නිතිවේදීන්ට ඉඩ ලබා නොදීම පිළිබඳව පැමිණිල්ලක් අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කල බව මානව හිමිකම් නීතිවේදියකු වන නාමල් රාජපක්ෂ පැවසීය.

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...