“මා තවත් වීඩියෝපට නිර්මාණය කරනවා” – මැක්රේ(I will make more videos – Callum Macrae)

I will make more videos – Callum Macrae

බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනියේ අධ්‍යක්‍ෂක කැලම් මැක්‌රේ මෙරට ආන්දොලනාත්මක චරිතයකි. ශ්‍රී ලංකාවේ හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරමින් ඔහු නෝපයර් සෝන් වීඩියෝ පටය නිර්මාණය කළේය. මේ වීඩියෝ පටය කොටි ඊළාම් සමාගමේ අවශ්‍යතාවයක්‌ මත නිර්මාණවූ බවට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා චෝදනා කළේය. මැක්‌රේ අනතුරුව සිය වීඩයෝ පටය ජිනීවා නුවරට ගොස්‌ තිරගත කළේය. ඉන්පසු කැනඩාව, ඇමරිකාව සහ ඔස්‌ටේ්‍රලියාව යන රටවල ද මැක්‌රේගේ ශ්‍රී ලංකා විරෝධී වීඩියෝ පටය තිරගතවිය. කැනඩාවේ ටොරොන්ටෝ නුවර කොටි හිතවාදී පෙන්ටා සංවිධානය ඔහුට සරුව පිත්තල සළුවක්‌ පළඳවා අපේ වීරයා බවට ප්‍රකාශ කරනු ලැබීය. එහිදී තමා ශ්‍රී ලංකාවේ නායකත්වය ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යන බවද මැක්‌රේ ප්‍රකාශ කර ඇත.

මෙම පසුබිම මැද කැලම් මැක්‌රේ පසුගිය සඳුදා සවස සිය චැනල් 4 කණ්‌ඩායම සමග මෙරටට සම්ප්‍රාප්ත විය. ශ්‍රී ලංකාවට පැමිණ පැය 24 ක්‌ ගතවීමට පෙර කොළඹ සුපිරි හෝටලයකදී මැක්‌රේ හමුවී ඔහු ශ්‍රී ලංකාවට එල්ල කරන චෝදනා ගැන ප්‍රශ්න කළෙමු. මේ කැලම් මැක්‌රේ “දිවයින ඉරිදා සංග්‍රහ”ය සමග පැවැත්වූ විශේෂ (Eංජකමිසඩැ) සංවාදයයි.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා රජය ඔබ ඇතුළු චැනල් 4 කණ්‌ඩායමට වීසා බලපත් ලබාදුන්නේ බ්‍රිතාන්‍ය රජයේ බලපෑම් මත යෑයි වාර්තා වුණා. එය සත්‍යයක්‌ද?

පිළිතුර – ඔව්· අගමැති ඩේවිඩ් කැමරන් හා විදේශ ලේකම් විලියම් කේන් බ්‍රිතාන්‍ය මාධ්‍යවලට සමුළුව ආවරණය කිරීමට ඉඩදිය යුතු යෑයි දැඩි ලෙස බලපෑම් කළා.

ප්‍රශ්නය – ශ්‍රී ලංකාවට එරෙහිව චැනල් 4 වීඩියෝ පට කීපයක්‌ නිර්මාණය කිරීමෙන් ඔබ ශ්‍රී ලංකා හමුදාවට පමණක්‌ චෝදනා කරනවා. එහි පසුබිම කුමක්‌ද?

පිළිතුර – කොටි සංවිධානයද යුද අපරාධ සිදුකළා. මා කියන්නේ දෙපාර්ශ්වය ගැනම ජාත්‍යන්තර විමර්ශනයක්‌ කළ යුතුයි කියලයි. ශ්‍රී ලංකා හමුදාවට පමණක්‌ එල්ල වූ චෝදනා ගැන පමණක්‌ විමර්ශනය කළ යුතු යෑයි මා කියන්නේ නැහැ.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා හමුදාව වන්නි මෙහෙයුමේදී මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරන ඔබ බ්‍රිතාන්‍ය හමුදාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන හඬක්‌ නගන්නේ නැත්තේ ඇයි?

පිළිතුර – මම බ්‍රිතාන්‍ය ජාතිකයෙක්‌. එහෙත් ඉරාකයේදී බ්‍රිතාන්‍ය හමුදා යුද අපරාධ කළ බවට චෝදනා එල්ලවුණා මා ඒ ගැන තොරතුරු හෙළි කළා.

ප්‍රශ්නය – බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව ඉරාකයට ක්‌ලයටර් බෝම්බ 2700 ක්‌ දැමූ බවට විමර්ශන වාර්තාවකින් අනාවරණය වුණා. ඔබ ඒ ගැන කියන්නේ කුමක්‌ද?

පිළිතුර – ඒ ගැන මට වාර්තා වී නැහැ.

ප්‍රශ්නය – ඔබ ශ්‍රී ලංකාවට පැමිණියේ තවත් වීඩියෝ පටයක්‌ නිර්මාණය කිරීමට බව වාර්තා වුණා.

පිළිතුර – මා මාධ්‍යවේදියෙක්‌ සත්‍ය සාක්‍ෂි මා වෙත ලැබුණොත් මා ක්‍රියා කරනවා.

ප්‍රශ්නය – චැනල් 4 වීඩියෝ පටය නිර්මාණය කිරීමෙන් ඔබ කොටින්ගේ කොන්ත්‍රාත්තුවක්‌ ඉටුකරන බව ශ්‍රී ලංකාවේ බහුතරයේ මතය වී තිබෙනවා.

පිළිතුර – මා ඉටුකරන්නේ මාධ්‍යවේදියකු සතු වගකීමයි.

ප්‍රශ්නය – එසේනම් ඔබ මාධ්‍යවේදී වෘත්තිය සමග ප්‍රචාරක මෙහෙයුම් දියත් කර ඇත්තේ මන්ද?

පිළිතුර – මා ප්‍රචාරක මෙහෙයුම්කරුවකු නොවෙයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් මගේ න්‍යාය පත්‍රයක්‌ නැහැ.

ප්‍රශ්නය – වන්නි මෙහෙයුම යටතේ එක්‌සත් ජාතීන්ගේ බලධාරීහු 40000 ක්‌ අතුරුදහන් වී ඇති බව කියනවා. ඔබ 70000 ක්‌ අතුරුදහන් වුණ බවට චෝදනා කරනවා. මෙලෙස අතුරුදහන් වූ බව කියන අයගේ ඥතීහු සහ මිතුරන් සිටින්නේ කොහේද?

පිළිතුර – මා කියන්නේත් එයයි. අතුරුදහන්වූ බවට නැගෙන චෝදනා ගැන සෙවීමට ස්‌වාධීන විමර්ශනයක්‌ අවශ්‍යයි. එවිට ඇත්ත නැත්ත හෙළිවෙයි.

ප්‍රශ්නය – කොටි සංවිධානයට බැඳි තරුණියන්ව පුහුණු කළ කොටි න්‍යායාචාර්ය ඇඩෙලා බාලසිංහම් දැන් බ්‍රිතාන්‍යයේ සිටිනවා. ඔබ මෑතකදී ඇයව හමුවූ බවට වාර්තා වුණා.

පිළිතුර – එය අසත්‍යයි. මා කිසි දිනක ඇඩෙලා බාලසිංහම් හමුවී නැහැ.

ප්‍රශ්නය – ඔබේ චැනල් 4 වීඩියෝ පටයට අදාළ දර්ශන හා මූලාශ්‍ර සැපයුවේ ජර්මනියේ බර්ලින් නුවර සිටින ෙ-. ඩී. එස්‌. හෙවත් ජර්නලිස්‌ට්‌ 4 ඩිමෝක්‍රසි සංවිධානයට බව හෙළිවුණා එය සත්‍යයක්‌ද?

පිළිතුර – සිංහල හා ද්‍රවිඩ මාධ්‍ය එකී සංවිධානයට සම්බන්ධයි ඔවුන් මූලාශ්‍ර සැපයුවා.

ප්‍රශ්නය – මෙම ෙ-. ඩී. එස්‌. සංවිධානය මෙහෙයවන පුද්ගලයා ශ්‍රී ලංකාවේ එක්‌ස්‌ කණ්‌ඩායම නමැති සංවිධානයක්‌ පිහිටුවා ගත් අයෙක්‌. ඔහු මෙරට කිසිදු ජාතික පුවත්පතක සේවය කර නැහැ එසේ නම් ඔවුන් එවූ මූලාශ්‍ර සත්‍යය යෑයි කියන්නේ කෙසේද?

පිළිතුර – මම ඔවුන්ගේ ශ්‍රී ලංකාවේ පසුබිම විමර්ශනය කළේ නැහැ. එහෙත් අපට එවූ මූලාශ්‍ර විශ්වාසනීය බව මා සිතනවා.

ප්‍රශ්නය – ශ්‍රී ලංකාවට පමණක්‌ යුද අපරාධ චෝදනා එල්ල කරන ඔබ ඇයි ඇමරිකානු රජය සිවිල් වැසියන් ඝාතනය කිරීම් ගැන හඬක්‌ නොනගන්නේ?

පිළිතුර – ඇමරිකාව හා බ්‍රිතාන්‍ය පමණක්‌ නොවෙයි සිවිල් වැසියන් ඝාතනය වැරදියි. එම වැරැදි කළා නම් යුද අපරාධ ගැන විමර්ශනයක්‌ කළ යුතුයි. ශ්‍රී ලංකාවේ ජනතාව තුළ මා ගැන වැරදි අවබෝධයක්‌ තිබෙනවා. කොටි අපරාධ නොකළ බව මා කියන්නේ නැහැ ඒ නිසා මා කියන්නේ රජයේ හමුදා ගැන පමණක්‌ නොවෙයි කොටි සිදු කළ අපරාධ ගැනත් ජාත්‍යන්තර විමර්ශනයක්‌ අවශ්‍යයි.

ප්‍රශ්නය – ඔබ උතුරේ සැරිසැරීමට අදහස්‌ කරනවාද?

පිළිතුර – ඔව්· ඔස්‌ටේ්‍රලියාවේ පැවැති පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව මා ආවරණය කළා. එහිදී මට ඕනෑම තැනක යැමට නිදහස ලැබුණා. එම තත්ත්වය ශ්‍රී ලංකාවේද තිබිය යුතු යෑයි මා අදහස්‌ කරනවා.

ප්‍රශ්නය – කටුනායක ගුවන්තොටුපළට චැනල් 4 කණ්‌ඩායම පැමිණි විට ජනතාවගේ විරෝධතාවයන් මතුවුණා. ඔබ ඊට එරෙහිවන්නේද?

පිළිතුර – විරෝධතා තිබිය යුතුයි. එහෙත් රජය විරෝධතා පැවැත්වීම තහනම් කර තිබියදී ගුවන්තොටුපළ අසලම විරෝධතා පැවැත්වීමට ඉඩ ලැබුණේ කෙසේද? අපි කටුනායකට එන බව එම විරෝධතාකරුවන් දැනසිටියේ කෙසේද? කටුනායක සිට අපි කොළඹට එන විට හෝටලය ඉදිරියෙත් විරෝධතා පැවැත් වුණා එය පුදුමසහගත දෙයක්‌.

ප්‍රශ්නය – චැනල් 4 රූපවාහිනිය මෙයට කලකට පෙර ශ්‍රී ලංකාවේ සුදු වෑන් සැරිසරන බව කියා සිටියා. ඔබලාගේ පසුපස සුදු වෑන් ආවාද?

පිළිතුර – ප්‍රශ්නයට සිනහවෙන්ම ප්‍රතිචාර දැක්‌වූ කැලම් මැක්‌රේ සැපයුවේ තමා ඇතුළු කණ්‌ඩායම කටුනායක සිට කොළඹට එන විට සිය වාහනය පසුපස යතුරුපැදියක්‌ හා මෝටර් රථයක්‌ පැමිණි බවයි.

ප්‍රශ්නය – ඔබ සාක්‍ෂිවලින් තොරව නිර්මාණය කරන චැනල් 4 වීඩියෝ පටය නිසා ශ්‍රී ලංකාවට අවමානයක්‌ වෙනවා නේද?

පිළිතුර – ඔබගේ රට ආපස්‌සට ගිය රටක්‌ නොවෙයි. උගත් පිරිස්‌ සිටින රටක්‌. එවන් පසුබිමක්‌ මැද සත්‍යය දැනගැනීමට විමර්ශනයක්‌ සිදුවිය යුතුයි. ලෝක බැංකුව පවා අතුරුදන් වූවන් ගැන කියනවා. එසේ නම් ඔබේ රට ඒ ගැන නොදන්නවා යෑයි විශ්වාස කළ හැකිද? මම තවදුරටත් කියන්නේ සිවිල් වැසියන් මරා දැමීමට විරුද්ධ බවයි. කවුරු කළත් එය වැරැද්දක්‌.

ප්‍රශ්නය – ඉන් ඔබ කියන්නේ ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය සිදු කළ අපරාධ ගැන විමර්ශනය කළ යුතුයි කියාද?

පිළිතුර – ඔව්! එහි වෙනසක්‌ නැහැ. මා ස්‌කොට්‌ලන්තිකයෙක්‌ වුවත් පදිංචිව ඉන්නේ බ්‍රිතාන්‍යයේ. බ්‍රිතාන්‍ය හමුදාවට චෝදනා එල්ල වුණා. ඒ ගැන ද විමර්ශනය කළ යුතුයි.

ප්‍රශ්නය – ඔබ තවදුරටත් ශ්‍රී ලංකාවට එරෙහිව වීඩියෝ පට නිර්මාණය කරනවාද?

පිළිතුර – මා ශ්‍රී ලංකා හමුදාව ගැන පමණක්‌ නොවෙයි කොටි කළ යුද අපරාධ ගැන ද වීඩියෝ පට නිපදවනවා.

(medaperadiga.com)

Check Also

ශ්‍රී ලංකා හමුදාව ප්‍රතිසංවිධානයට දෙන මුදල් අත්හිටුවන්න බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු 7 ක්‌ එරට රජයෙන් ඉල්ලති

ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය ලබාදෙන ස්‌ටර්ලිං පවුම් මිලියන 6.6 ක ...

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...