කෝටි 6ක ගබ්සා පෙති ගෙනත්!

0
131

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 6 කට අධික වටිනාකමකින් යුත් ගබ්සා පෙති හා මත්පැන් තොගයක්‌ කොළඹ 13, කදිරේෂන් ප්‍රදේශයේ ගබඩාවක තිබී ආදුරුප්පුවීදිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ආදුරුප්පුවීදිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුව (17 දා) සිදුකළ වැටලීමකදී මෙම ගබ්සා පෙති හා මත්පැන් තොගය සොයා ගෙන තිබේ.

මෙම නීතිවිරෝධී භාණ්‌ඩ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් එක්‌ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු මාළිගාකන්ද මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර ඇත.

ගබ්සා පෙති තොගය ඉන්දියාවෙන් ආනයනය කර ඇති අතර, එක්‌ පෙත්තක්‌ රුපියල් පන්දහසේ සිට අලෙවි කර ඇතැයි මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

ආදුරුප්පුවීදිය පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එස්‌. ආර්. ඩී. කේ. සී. ධර්මප්‍රිය මහතාගේ උපදෙස්‌ මත දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක යූ. ඩී. ඒ. එන්. දසනායක, පොලිස්‌ සැරයන් (49317) හෙට්‌ටිආරච්චි, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන (67555) සුජිත්, (70879) වීරසිංහ, (88831) චතුර යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.