මොනරතැන්නේ රජ්ජුරුවෝ ජේ.එච්. ජයවර්ධන
ජේ.එච්.ජයවර්ධන යනු කාලාන්තරයක් කලා රසිකයන්ගේ සිත් සතන් අමන්දානන්දයට පත් කළ චරිතයකි. ජේ.එච්. යන ආදර නාමයෙන් හැඳින්වෙන ජේ.එච්.ජයවර්ධනයන්ගේ වත්මන් තත්ත්වය කෙබඳුද? අපි ඔහු ගැන තොරතුරු සෙවීමේ අටියෙන් ඔහු සොයා කඳානට ගියෙමු. කඳාන පොලිසිය ඉදිරියෙන් ඇති පාරේ ගිය අපි ඔහු වෙසෙන නිවෙස හරියටම කුමක්දැයි නිශ්චිත නැති නිසා කිහිප දෙනකුගෙන්ම විමසුවෙමු. අලුත් පරම්පරාවේ අය මේ මහා කලා ශිල්පියා ගැන තොරතුරක් කියන්නට දන්නේ නැත. අවසානයේ අපට ජේ.එච්. පදිංචි නිවෙස ගැන තොරතුරු කියා දුන්නේ කාන්තාවකි. “ඔය අහන්නේ ‘ලොක්කා මාමා’ ගැන නේද? මෙන්න මේ ගෙදර තමයි ඉන්නේ” ඇය නිවැරදිවම නිවෙස පෙන්නුවාය.
අපි ඇය පෙන්නූ නිවෙසට ගියෙමු. “සීයා මේ වෙලාවට නිදි. වෙන දවසක එන්න” ජේ.එච්.ගේ මිනිබිරිය අපට කීවාය. එහෙත් අපි ඇයට අපේ අදහස කීවෙමු.
“දවල් ෙදාළහ විතර වන විට සීයා කෑම කනවා. ඊට පස්සෙ නිදියනවා. සීයා හරියට පොඩි ළමයෙක් වගෙයි. අවේලාවේ ඇහැරවන්න ගියාම ඇහැරෙන්නේ නැහැ. කමක් නෑ අපි ආච්චිට කියලා බලමු.”
ජේ.එච්. ගේ මිනිබිරිය අප ගෙතුළට කැඳවූවාය. විනාඩි පහක් දහයක් ගතවිණි. ඔහුගේ ප්‍රිය බිරිය ස්වර්ණා ජේ.එච්.ගේ කාමරයට එබී බැලුවාය.
“අන්න පත්තරෙන් ඇවිල්ලා” ඇය මඳක් ශබ්ද නඟා පැවසුවාය.
“එන්න. මෙහෙටම එන්න. එයා දැන් කාලෙක ඉඳලා ඇඳටම වෙලා ඉන්නේ.”
ඇය අප ඔහුගේ පුංචි කාමරයට කැටුව ගියාය.
ජේ.එච්. අපගේ කටහඬ ඇසී අවදිව ඇඳමත සීරුවට වාඩි වුයේය.
“කාලෙක ඉඳලා මගෙ ඇස් පේන්නේ නැහැ. එක්දහස් නවසිය අනූහතේ තමයි පෙනීම නැතිව ගියේ. දැන් මගෙ වයස අවුරුදු අනූ දෙකයි මාස හතරයි. ඔහු සිය වයස හරියටම පවසයි.
කලක් සිංහල සිනමාවේ මෙන්ම වේදිකා නාට්‍යවල, ගුවන්විදුලි නාට්‍යවල ද පමණක් නොව පුංචි තිරයේ ද නොමැකෙන සටහන් තැබූ ජේ.එච්.ගේ ස්වරූපය හඳුනා ගැනීමට බැරි තරමටම වෙනස්ව ඇතත් ඔහුගේ අභිමානවත් හඬ වෙනස් වී නැතැයි මට සිතේ.
අධිෂ්ඨානයේ නායක හාමුදුරුවන්, මොනරතැන්නේ රජ්ජුරුවන් පමණක් නොව දඩබිම, අයෝමා ආදී වූ සිනමා ගුවන්විදුලි නිර්මණයන් හි නොමැකෙනා සටහන් තැබූ ජේ.එච්. කැලණි පාලම නාට්‍යයේ මැම්බර් මහත්තයාගේ චරිතයට පණ දුන් ආකාරය විශිෂ්ටය. අද වයෝවෘද්ධ වුවද, දෑස් නොපෙනුණද, කන් ඇසීමේ දුර්වලතාවයෙන් පෙළුණ ද අතීත මතකයන් දැන් සිදුවූ ඒවා මෙන් මතකය.
“මගෙ තාත්තා නොතාරිස් රාලහාමි කෙනෙක්. තාත්තාට උවමනා වුණේ මාව එංගලන්තයට යවලා උගන්නන්න. ඒත් මම කවදාවත් ලංකාව දාලා යන්න කැමැති වුණේ නැහැ. මම කුරුණෑගල මලියදේව විද්‍යාලයේ වගේම කොළඹ ආනන්ද විද්‍යාලයෙත් ඉගෙන ගත්තා.
මට මතකයි මම ආනන්දයේ ඉගෙන ගන්න කාලේ අපේ විදුහල්පතිතුමා වෙලා හිටියේ පී.ද ඇස්.කුලරත්න මහත්මයා. ඔහුට බොහෝම ලස්සන දියණියක් හිටියා. ඇය ඉගෙනගත්තේ අපේ පන්තියේ. අපේ පන්තියේ හිටපු එකම ගෑනු ළමයා තමයි මායා කුලරත්න. අපි හැමෝම මායාට විහිළු කරනවා. දවසක් මම මායාට විහිළු කළා. ඒ ගමන පන්තියේ සිටිය ගුරුවරයා මාව පන්තියෙන් එළියට දැම්මා.
කුලරත්න මහත්තයා පාසල වටා යන විට මම එළියේ ඉන්නවා දැකලා ඇයි කියලා ඇහුවා. මම සිදවූ දේ කිව්වම මාව අතින් අල්ලගෙන පන්තියට එක්ක ගිහිල්ලා මායා ඉන්න තැනින්ම වාඩි කෙරෙව්වා. කුලරත්න මහත්තයා පන්තියේ හිටපු ගුරුවරයට කිව්වා මේ ළමයි තරුණයි කියලා. කොහොම හරි එදා එහෙම බේරුණා.”
පාසල් අධ්‍යාපනයෙන් පසුව ඔහු රැකියාවක් කළේය. එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් වශයෙනි. එහෙත් මිනිසුන් ඒ තනතුර කුණු ඉන්ස්පැක්ටර් යැයි හැඳින්වූ නිසා ඔහු ටික කලකින්ම රස්සාව අතහැරියේය. ඉන්පසුව ඔහු විදුලිබල මණ්ඩලයේ ලිපිකාර තනතුරක් ලැබුවේය.
ඊටත් ටික කලකට පසුව යූ.බී.වන්නිනායක මහතා ඇමැති ධූරයට පත්වීමත් සමඟ කොළඹ සිටි ජේ.එච්. කුරුණෑගල තම ගම් පළාතට මාරුවීමක් ගත්තේය. මෙකල ඔහු ගැහැනු ළමයකු සමඟ හාදවී සිටියේය. ඇය ඔහුට නොගැළපේ යැයි සිතූ ජේ.එච්.ගේ පියා ඔහුව කෙටි චාරිකාවකට ඉන්දියාවට පිටත්කර හැරියේය. සති හතරකට පසු ඔහු ලංකාවට එන විට ඔහු මිත්‍ර වී සිටි තරුණිය විවාහ වී සිටියාය.
“ඒක අපේ තාත්තා සංවිධානය කළ වැඩක්. මොනවා කරන්නද, එදා තමයි මට ජීවිතේ ලොකුම සිත් වේදනාව ඇතිවුණේ. ඊට පස්සේ තාත්තා මට මංගල යෝජනා කිහිපයක් ගෙන ආවා. මම ඒ කාලේ ඉංග්‍රිසියෙන් තමයි කතා බහ කළේ. මට ඕන වුණේ ඉංග්‍රිසි දන්න ගැහැනු ළමයෙක් බඳින්න. කොහොම හරි තාත්තා ගෙනාපු කපුවකු ළඟ තිබූ පින්තූරයකින් දැකලා තමයි ආන් අර ළමයා මං කසාද බැන්දේ.
(ඔහු අත දිගුකර සිය බිරිය පෙන්වයි.) එයාගේ තාත්තා කඳානේ නොතාරිස් රාලහාමි. මගෙ තාත්තත් නොතාරිස් රාලහාමි. අපි බැඳලා හිටියේ කුරුණෑගල. ඒ දවස්වල එයාගේ ඇසේ කඳුළක් නැති මොහොතක් නැති තරම්. මං ඇහුවා ඇයි මේ කියලා.
එයා කිව්වා ගෙදර මතක් වෙනවා කියලා. ඊට පස්සේ තමයි මම කුරුණෑගලින් කොළඹට මාරු වුණ්. ඔහුට අතීතය මුළුමනින්ම දින වකවානු සමඟම මතකය. ඔහු එක්දහස් නවසිය හතළිස් එකේදි පමණ ගුවන්විදුලියට සම්බන්ධ වූයේය. ඒ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් කළ යෞවන සමාජය වැඩසටහන හරහාය. ඉන් කලකට පසුව පී.වැලිකල විදේශගතවීමත් සමඟ ඔහු කෙටිකලක් ගුවන්විදුලි නාට්‍ය අංශයේ කටයුතු කළේය.
“පී.වැලිකලයි මමයි එක පන්තියේ හිටියේ. ඔහු එංගලන්තයට ගියාට පස්සේ මම ගුවන්විදුලියට ගියා. ඔහු ලංකාවට පැමිණි පසු මම නැවත මගේ පුරුදු රස්සාවට ආවා. ඔය කාලේ තමයි මට වේදිකා නාට්‍යවලට චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න ලැබුණේ. මම රඟපෑ චිත්‍රපටවලින් මම තවමත් කැමැති ‘අධිෂ්ඨානය’ චිත්‍රපටයේ රඟපෑ නායක හාමුදුරුවන්ගේ චරිතයට. ඒකට මට හොඳම සහාය නළුවා සම්මානය ලැබුණා.
අතීතයේ කළ කවටකම් ආදිය සිහිපත් කරමින් ඔහු හිනැහෙන්නේය. දෑස් නොපෙනීම ගැන ඔහුට දැන් වගක්වත් නැත. තම දරු දෙදෙනාගෙන් දියණියගේ නිවෙසේ සිටින ඔහු හා ඔහුගේ බිරිය මුනුපුරු මිනිබිරියන්ගේ රැකවරණය යටතේ ජීවත් වේ.
ඔහු කරන කියන කටයුතුවල පිළිවෙළක් තිබේ. ඒ පිළිවෙළ තමන්ට මෙතෙක් කල් ජීවත්වීමට හේතුවක්ව ඇතැයි ඔහුගේ විශ්වාසයයි.
“මම දවසට වේල් දෙකයි කෑම කන්නේ. රාත්‍රියට කන්නේ නැහැ. මට ඇවිදින්න කරන්න බැහැ. ඒ නිසා බඩජාරිකමට කාලා හරියන්නේ නෑනේ. මම සිගරට් බීමයි මත්පැන් බීමයි දෙකම මීට අවුරුදු ගණනකට කලින් අතහැරියා. හැමෝම නැති වුණත් ඉඳලා හිටලා හරි අද මාව බලන්න ඒ කාලේ මගේ සමහර යාළු මිත්‍රයෝ එනවා. මගෙ බිරිය දරුවෝ මාව හොඳින් බලාගන්නවා.”
ජේ.එච්.ජයවර්ධනයන් එසේ පැවැසුවේය. ඊටත් සුළු වේලාවකට පසුව ඔහු යළිත් නින්දට වැටුණේය.
“සීයා නිදාගත්තම ලේසියෙන් ඇහැරෙන්නේ නැහැ. හරියට පොඩි දරුවා වගේ. එයා අපේ දුවට හරිම ආදරෙයි. දුවත් සමහර වෙලාවට දොර ළඟට ගිහින් සීයා බලනවා.”
මිනිබිරිය පවසන්නේ තමන්ගේ දියණිය පිළිබඳවයි. අවුරුදු එකහමාරක් පමණ වයසැති සිඟිත්තිය සීයා සීයා යැයි කියයි. ජේ.එච්.ජයවර්ධනයන්ගේ ප්‍රිය බිරිය ස්වර්ණා මෙන්ම දියණිය සහ ඇගේ දියණිය ඔහුව ඉතා ආදරයෙන් රැකබලාගන්නාහ.
මහත්තයගේ විශ්‍රාම වැටුප ලැබෙනවනේ. දරුවොත් අපි ගැන බලනවා. ඒ නිසා අපිට ඒ තරම් ප්‍රශ්නයක් නැහැ.
ස්වර්ණා හෙමිහිට පැවසුවාය.
මොනරතැන්නේ රජ්ජුරුවන්ගේ ගාම්භීර හඬත්, අධිිෂ්ඨානයේ නායක හාමුදුරුවන්ගේ ප්‍රතාපවත් පෙනුමත්…. ඔහු රඟපෑ චරිතවල ගාම්භීර බව දැන් ඔහු කෙරෙන් දිස් නොවේ. ඔහු දෙස බලන කවරකුට වුව ද මේ ජේ.එච්.ජයවර්ධන යැයි එකවර හඳුනාගැනීමට නොහැකිය. ඒ ඔහුගේ ශරීර ස්වරූපය වෙනස් වී ඇති නිසාය.
කලක් වේදිකාව, ගුවන්විදුලිය, සිනමාව වර්ණවත් කළ ඔහුට අපි ද චිරජීවනය ප්‍රාර්ථනය කරමු.
ඉනෝකා සමරවික්‍රම