ගොවියා , කම්කරුවා සහ ජේම්ස් පැකර්

ලංකාවේ අද වනවිට ප්‍රධාන මාතෘකා බවට පත් වී කතාබහට ලක්වන කාරණා දෙකක් තිබේ.ඉන් පළමු වැන්න වන්නේ ජේම්ස් පැකර්ගේ කැසිනෝ වෙළෙඳාමයි. දෙවැන්න නම් මාතර එජාපයේ ගුටි කෙළියයි. වෙඩි කෙළියයි.හෙට අනිද්දා පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළු වාරයේ දී රටට තිබෙන අතිශය වැදගත්කම ආණ්ඩුවේ මාධ්‍යයන්හී හුදු හොරණෑ හඬක් බවට පත්වෙද්දී ආණ්ඩුවේ සහ විපක්ෂයේ ඔක්කෝගෙම හඬ නැගෙන්නේ ජේම්ස් පැකර්ගේ කැසිනෝ වෙළෙඳාමට එරෙහිවයි. එහෙමත් නැත්නම් මාතර කුරුඳු පොලු ගුටි කෙළිය ගැනයි.

ජේම්ස් පැකර්ගේ කැසිනෝ‍ වෙළෙඳාමට විරුද්ධව කෑගොස්සන් නගන පිරිස් මේ රට තුළ ජනතාවට එරෙහිව නැගෙන විවිධ බලවේග කුඩුපට්ටම් කරවන තරමේ බලසම්පන්න යන්ත්‍රයක්දැයි මා තුළ ඇත්තේ සැකයකි.එහෙමත් නැත්නම් මොවුන්ගෙන් සමහරුන්ට අවශ්‍ය වන්නේ දවසින් දවස ජනතාව අතරෙන් ගිලිහී යන තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීම සඳහා පමණක් සිංහල හා බෞද්ධ ජනතාවගේ ආවේගශීලි හැඟීම් ඇවිස්සීමදැයි යන සැකය මතු වේ.
පසුගියදා ඔරුගොඩවත්ත රේගු අංගනයේ තිබී හෙරොයින් කන්ටේනරයක් අල්ලා ගත්තේය. මුළු ආසියාවෙන් එතෙක් මෙතෙක් අල්ලාගත් ලොකුම කුඩු තොගය එය බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.කාටද මේ කුඩු ගෙනාවේ? මේ රටේ තරුණ තරුණියන්ටයි. කවුද මේ කුඩු ගෙනාවේ? රටේ දේශපාලනයට සම්බන්ධ උදවියයි.මේ කාරණා රටට හෙළිදරව් කොට අපරාධකරුවන් නීතියේ රැහැනට අල්ලා දෙන්නට මුලින් කී කිසිම බලවේගයක් ඉදිරියට ආවේ නැත.අදටත් මෙහි පරීක්ෂණ ඈලියාවට යමින් තිබේ. රටේ තරුණ පරපුර අනාගතයේ කුඩු ගැසූ පෙන්දන්ගේ ,කෙන්දන්ගේ තත්ත්වයට පත් කරද්දී ජාතිආල බලවේග සිටින්නේ ඇස් වසාගෙනය.
මේ වනවිට හොරොයින්වලට වඩා භයානක මත් පෙත්තක් තරුණ පරපුර පානය කරන බවට තොරතුරු අනාවරණය වෙයි. එය ‘මෙතන්ෆොටමයින්’ (Methamphetamine) නමින් හඳුන්වනු ලැබ්. කොළඹ තරු හෝටලවලට සහ වෙරළ සැණකෙළි (Beach Party) වලට එකතු වන තරුණ තරුණියන් අතරේ මෙම පෙත්ත සීග්‍රයෙන් පැතිරේ. පෙත්තේ මිලත් අඩුය. ආයුෂත් කෙටිය. මේවා රටට ගෙන්වන්නේ රටේ ඉහළම පෙළේ පුද්ගලයන් සමග කිට්ටු මිත්‍රකම්
පවත්වන සමහරුන් ය.05 ජේම්ස් පැකර්, හෝටලයක ශාලාවක් ඇතුලේ කැසිනෝ වෙළෙඳාමේ යෙදෙන්නට සූදානම් වනවිට ඊටත් වඩා බිහිසුණු හානි සිදුකරන පුද්ගලයන් රට තුළ නිරුපද්‍රිතව වෙසෙති. ඔවුන්ට නීතියක් ක්‍රීයාත්මක වන්නේ නැත. ඔවුන් ඉදිරියේ පැකර් විරෝධීන් හැසිරෙන්නේ ස්වාමියා ඉදිරියේ නගුටයි කන දෙකයි හලාගත් බලු කුක්කන් ගාණටය. ඒ ක්‍රමය සාර්ථක නොවේ. නිවැරැදි දේ වන්නේ පැකර් පමණක් නොව, රට කන, රට වනසන සියලු බලවේග උස්සා පොළවේ ගසා නීතිය අකුරටම ක්‍රියාත්මක කරවන්නැයි බලධාරීන්ගේ සරොම් ගැලවී යන ලෙසට හඬ නැගීමයි.

අපට අමතක කළ නොහැකි තවත් අවාසනාවන්ත සිද්ධියකි. ඒ රතුපස්වල වෙඩි ප්‍රහාරයයි.වතුර බොන්න ඉල්ලා කෑ ගැසූ ජනතාවට වෙඩි තබා ඝාතනය කරද්දී ජනතාව වෙනුවෙන් කම්හල් බලධාරීන් සමග සටනට බැස්සේ තෙරිපැහැ සිරිධම්ම හිමියන් ය. නමුත් මේ වනවිට උන්වහන්සේ එම ජනතාවගේම විත්තිකරුවෙක් බවට පත් වී සිටී. එය වෙනම කතා කළයුතු කාරණාවකි. රතුපස්වල පමණක් නොව,මේ රටේ විවිධ ප්‍රදේශවල කර්මාන්ත ශාලාවලින් මුදා හරින විෂ සහිත අපද්‍රව්‍ය හා ගෑස් වර්ග හේතුවෙන් රෑ නින්දේ දී මිනිසුන් සිය ගණන් මියයන දිනය වැඩි ඈතක නොවේ. ඒ තරමට තත්ත්වය බිහිසුණුය.
පාරිසරික නීති තිබුණත් ඒවා බලගන්වන බලධාරීන් බොහෝ දෙනා සිටින්නේ රා බී, ගංජා ගැසූ ඔල්මොරොන්දන්කාරයන් මෙනි. නීති රකින උන් බොහෝ දෙනා සිටින්නේ කම්මල්කාරයින්ගේ සාක්කුවලය. නොබෝදා මෙවැනි බිහිසුණු සිද්ධීන් කීපයක් සිදු වුවත් ඒවා එම ගම්වලට සීමා වූ හුදෙකලා සටන් පමණක් විය. ජේම්ස් පැකර්ගේ සූදුපොළෙන් ජනතාවට ‘කෙළවේවි’ යැයි සිතන උදවිය මේ අපරාධ ගැන කිසිම ‘හාහූවක්’නැත. ඊට හේතු වන්නේ සමහර විට පැකර්ට කෑ ගැසීම හරහා ජාත්‍යන්තර මීඩියාව හරහා ප්‍රසිද්ධියක් හිමි වීම විය හැක. ගමක දෙතුන් සියයක් වෙනුවෙන් කෑ ගසනවාට වඩා ඔස්ට්‍රේලියාවට හා එහි ජීවත් වන පැකර්ට එරෙහිව කෑ ගැසීම ලෝකයේම සිංහල බොදු ‘අස්වැන්න’ එක්වර නෙලා ගැනීමේ පහසු මගක් යැයි මොවුන් කල්පනා කරනු ඇත.
පැකර්ගේ කැසිනෝ වෙළෙඳාමට එරෙහිව රටේ දේශපාලනඥයින් කියන කතා බොහෝය. ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාර මහතා කියන්නේ රටේ ගොවි,කම්කරු ජනතාවට පැකර්ගේ කැසිනෝ කඩයට රිංගන්නට තරම් වත්කමක් නැති නිසා අකැමැත්තෙන් වුවත් කැසිනෝ පනතට පක්ෂව පාර්ලිමේන්තුවේදී ජන්දය පාවිච්චි කරන බවයි. බංකොලොත් එජාපය මෙරටට කැසිනෝ හඳුන්වා දුන් බව කියන ප්‍රජාතන්ත්‍රවාදි ජනතා කොංග්‍රසයේ නායක ප්‍රභා ගනේෂන්, ඒ නිසාම තමන් කැසිනෝ පනතට පක්ෂව ජන්දය දෙන බව සඳහන් කරයි. එජාප උප නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝශප් මයිකල් පෙරේරා කියන්නේ ‘බුදුසරණයි’යන බෝඩ් එක ගසා ගෙන කැසිනෝ,ගණිකා මඩම්,හෙරොයින් පටවා ගෙන යන ලොරියක තත්ත්වයට සන්ධාන ආණ්ඩුව පත් වී සිටින බවයි.මේ අතරේ ආණ්ඩුව කියන්නේ මෙමස 24 සහ 25 වැනිදා කැසිනෝ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවයි. සංශෝධන සහිතව ඉදිරියේදී ඉදිරිපත් කරන බවයි.ජේම්ස් පැකර් මේ අතරේ ශ්‍රි ලංකාවේ කැසිනෝ ව්‍යාපාරයේ ප්‍රචාරක තානාපති ලෙස පත්කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ වත්මන් සුපිරි ක්‍රිකට් ක්‍රිඩක හා නායක මයිකල් ක්ලාක්ය. “ශ්‍රි ලංකාවේ සිටින්නේ ක්‍රිකට් පිස්සන් නිසා මයිකල් ක්ලාක් ප්‍රචාරක නිලධාරියා ලෙස බඳවාගත් බවත් ඔහු හරහා ඉන්දීය හා සංගප්පූරු ධනවතුන් කැසිනෝ ක්‍රිඩාව සඳහා ශ්‍රි ලංකාවට ගෙන්වා ගැනීම අරමුණ බවත් ජේම්ස් පැකර් ඔස්ට්‍රේලියානු මාධ්‍යයන්ට පවසා තිබුණි.
මෙච්චර ප්‍රශ්න හදාගෙන කැසිනෝව මෙරටට ගෙන්වීමේ අරමුණ කුමක් විය හැකිද? වාසුදේව නානායක්කාර පවසන ආකාරයට ගොවි කම්කරු ජනතාවක් අද ලෝකයේ නැත. ඔවුන් සිටියේ අතීතයේය. එදා වනාන්තර ආශ්‍රිතව සිටි ගොවීන් සහ කම්කරුවන් දියුණු වන ලෝකයේ එලියට එමින් සිටින්නේ ශ්‍රමිකයන් සහ සංචාරකයින් වශයෙනි. අපිත් ශ්‍රමිකයන් ය. ඒ වගේම සංචාරකයින් ය. විදේශිකයන්ට අපි ‘සුද්දෝ’ කියන්නේ පොත්ත රතු නිසාය. ඒ රටට අපි ගිය විට අපි ‘කල්ලෝ’ය.ගෝලීය ලෝකයේ අප කවුරුත් ශ්‍රමික සංචාරකයන්ය. නීති විරෝධි ක්‍රියා වළකන්නට රටවල නීති තිබේ.දැඩි දඬුවම් තිබේ. සිංගප්පූරුව වැනි රටවල මත්ද්‍රව්‍ය නඩු අසා දවසෙන් දෙකෙන් මරණ දඬුවම නියම කෙරේ. රටේ දියුණුවට දහදිය වගුරවන ශ්‍රමිකයන් (සංචාරකයින්) විනෝද ගන්වනු පිණිස නවීන දුම්රිය,බස්රිය,ෆෙරි,අන්තර් ගුවන් යානා,ගුවන් පාලම්,අධිවේගි මාර්ග, ගුවන් තොටුපොළ,වරාය,මල්වතු,දියඇලි රටවල ඉදිවන්නේ ආකල්පය වෙනසකුත් සමගයි. අපේ රටට නැත්තේ එම වෙනසයි. ඇත්තේ දේශපාලන වාසිවලින් පිරුන ආකල්ප පමණයි.

අනුර හොරේෂස්

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...