Wednesday , 22 January 2025

මේ සැකසෙන්නේ ජය ශ්‍රී මහා හාමුදුරුවන්ගේ සොහොන් බිමද?

අප ගෞතම බුදුරජාණන් වහන්සේට වැඩිමල් වූ ජීවිතයක්‌ මේ ලොවේ ජීවතුන් අතර ඇත්නම් ඒ අප දන්නා තරමින් අනුරාධපුර මහමෙවුනා උයනේ වැඩ සිටින්නාවූ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ රජාණන් වහන්සේය. තවද ඉතිහාසය නිවැරදිව නොදන්නා මිනිසුන් සිටින රටක පාලකයන්ට රටට බොහෝ හානි කළ හැකිවාක්‌ මෙන්ම ඉතිහාසය පිළිබඳව වටිනා කමක්‌ නොදන්නා උදවියට තීන්දු තීරණ ගැනීමට ඉඩකඩ සැලසූ අවස්‌ථාවන්වල සිදුවනුයේ ඔවුන් තමාගේ සුඛවිහරණය සඳහා ආවඩන්නන් වීමය. විය යුත්ත විකෘති කරමින් පරිසරය, සමාජය, ස්‌වභාව ධර්මය, විනාශ කරමින් තීන්දු තීරණ, වාර්තාවල්, ලිපි ලේඛන සෑදීමය. එවන් සිදුවීමක්‌ වර්තමානයේ ඉතාමත් කනගාටුදායක අන්දමින් සිදුවෙමින් පවතී. එම සිදුවීම පිළිබඳව ලියෑවෙන කෙටි සටහනකි මෙය. එය අන්කිසිවක්‌ නොව අනුරාධපුර මහමෙව්නා උයනේ වැඩවසන්නා වූ ජය ශ්‍රී මහා බෝරජාණන්වහන්සේ හට අත්වී තිබෙන වර්තමාන කනගාටුදායක ඉරණම පිළිබඳවය.

අතීත සිදුවීම් හා ප්‍රතිඵල

අතීතය දෙස බැලීමේදී එදා දුටුගැමුණු මහරජතුමාට ලෝවාමහාපාය ගොඩ නගන්නට ජය ශ්‍රී මහ බෝ සමිඳු ආසන්නයේම ඉඩකඩ සොයා දුන්නේ සේවකයන්ය. උපදේශකයන්ය. අමාත්‍යවරුය. එසේම රුවන්වැලි මහා සෑය ඉදිකරන්නට යැමේදී එම බිමෙහි තිබූ ගසක්‌ කැපීමට යැමේදී එම ගසට අරක්‌ගත් වෘක්‌ෂ දේවතාවිය විරුද්ධ වී එම ස්‌ථානයෙන් ඉවත්වීමට අකමැති බව දැන්වීය. මෙම සිදුවීම් පිළිබඳව ඉතිහාසයේ කතා පවතී. මෙවැනි කතා වස්‌තූන් පිළිබඳව අප ගැඹුරින් නොබලා සාධුකාර දීමට පමණක්‌ සැදී පැහැදී සිටීම වැනි කාරණා නිසා ඇතිවන ප්‍රශ්න පිළිබඳව කනගාටුදායකය. ලෝවාමහාපාය එදා දුටුගැමුණු මහරජතුමා සිටි කාලයේම ගිනිබත්වී ඇදහැලිනි. රුවන්වැලි මහා සෑයේ වැඩ නිමවන්නට පෙර මහ රජතුමා ජාතියෙන් සමුගත්තේය. ඉන්පසුව යටත් විජිත කාලයේ ආරම්භයත් සමඟ අවුරුදු 800 ක්‌ පමණ හුදෙකලා වුවත් ජය ශ්‍රී මහා බෝ සමිඳු එහි ඇති ශක්‌ති බලයෙන්ම රැකුණි.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණයවීමෙන් පසු රජවරු 200 ක්‌ පමණ රජකම් කළ අතර, ඔවුන්ගේ මුදුන්මල්කඩ වූයේ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේයි. එම කාල සීමාවෙන් පසු කරුණු කාරණා සොයා බැලීමේදී ශ්‍රී මහා බෝ සමිඳු ආසන්නයේම සෘජුව බලපෑමක්‌ කරන ඉදිකිරීමක්‌ සිදුකළේ ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාය. එනම් සිංහකුළුණ අභියස සිට සරල රේඛාවක්‌ සේ දිවෙන මහා දැවැන්ත පාරක්‌ ඉදිකිරීමය. එය සුළං කපොල්ලක්‌ ලෙස නිර්මාණය විය. පසුව සුළඟින් බෝ අත්තට සිදුවුණ හානිය මතකය. එය හඳුනා ගැනීමෙන් පසුවද එම මාර්ගය වෙනස්‌ කළේ නැත. ගල්වැට අද්දර කුඩා තොරණක්‌ ඉදිවිය. සුළඟ පාලනය කිරීම සඳහා එය මහ නුග ගසකට ඉරටුවකින් සුළඟ වළකාලීමට ආවරණයක්‌ සැකසුවා වැනිය. එම තොරණ සිංහ කණුව දෙස සිට එනවිට ගල්වැට අද්දර පවතී.

ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ පාලන කාලයේ අවසානය නොසන්සුන් වූ ආකාරය මනාව පැහැදිලි විය. ඉන්පසු ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා බෝ සමිඳුන්ට අඩි 150 ක්‌ පමණ කෙටි දුරකින් ඔරලෝසු කණුව සිටුවා, එම බිම තාර දමා නාගරික පරිසරයක්‌ නිර්මාණය කළේය. එතුමන්ද පාලන කාලය අවුල් වියවුල් වී පාලනයෙන් සමුගත්තේය.

ඉන්පසුව සිදුවනුයේ හිටපු මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා පෙරහැර ගමන් කරවීම සඳහා බෝ මළුවේ ගල්වැට වටකර සිමෙන්ති ගල් අතුරා දහවල් කාලයට ගිනිවළල්ලක්‌ සේ රත්වන පාරක්‌ නිර්මාණය කළේය. එතුමාටත් දැඩි මානසික පීඩාවක්‌ ලැබුණ බව පැහැදිලිs විය. අවසානයේ ඔහු අකාලයේ ජීවිතයෙන් සමුගත්තේය.

මෙවැනි සිදුවීම් දෙස බැලීමේදී අප රටේ නායකයකු වන රජතුමෙකු හෝ ජනාධිපතිවරයකු වේවා, ඔවුන් යටතේ සිටින උපදේශකයන්, මැති ඇමැතිවරුන් රාජ්‍ය සේවකයන් නිසා නොමග යන රජවරුන්ට බලපාන කර්මය හඳුනාගත හැක. පාලන බලයෙන් ඉවත් කරන සැටි දැක ගැන්මට පුළුවන.

එබැවින් වර්තමානයේ සිදුවන විෂ වායු පිට කරන වාහන ශ්‍රී මහා බෝ සමිඳුන් වහන්සේ ආසන්නයට ගෙන ඒම තරම් භයානක සිදුවීමක්‌ පෙර කිසිවකුගෙන් සිදු නොවුණි.

වර්තමාන උවදුර

අනවශ්‍ය දේවලට මැදිහත්වීමට යැමේදී එම බලය තුරන් කිරීමට ස්‌වභාව ධර්මය නැගී සිටින ආකාරය විශ්මයජනකය. ලෝවාමහාපාය, රුවන්වැලි මහාසෑය, සුලං කපොල්ල, ඔර්ලෝසු කණු. ගිනිවළලු වැනි පාරවල්වලින් විෂවායු පිටවීමක්‌ නොවුණි. ශාරීරික වේදනාවන්වලට මුල්වන කරුණු ගෙන දුන්නත් එක එල්ලේම, අපවත්වීමකට මග පෑදුවේ නැත. වර්තමානයේ සිදුවන්නේ මේ විශාල රථගාලවල් ආසන්නයටම ගෙන ඒමෙන් ඉතා කනගාටුදායක තත්ත්වයක්‌ උදාවීමය. ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට අපවත්වීමට මඟ සැලසීමකි. එබැවින් ශ්‍රී මහා බෝ සමිඳු ආසන්නයේම, අක්‌කර 4 1/2 ක භූමි ප්‍රමාණයක්‌ තුළ ඉදිවන රථගාල ගැන කතාබහට ලක්‌වූයේ අවුරුදු 2 ක පමණ කාලයක සිටය. එයින් ජය ශ්‍රී මහා බෝ සමිඳුගේ ජීවිත පැවැත්මට සිදුවන හානිය සහ මරණීය තර්ජනය පිළිබඳව දිගින් දිගටම මාස 10 ක්‌ පමණ කාලයක්‌ තුළ අපි වගකිවයුත්තන් සමඟ අදහස්‌ හුවමාරු කර ගතිමු. මේ දිනවල එහි තීරණාත්මක වාර්තාව සැකසීමේ වගකීම ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ වෛද්‍ය කණ්‌ඩායමේ ප්‍රධානියා වන පේරාදෙණියේ උද්භිද විද්‍යා අංශයේ ප්‍රධානී, අධ්‍යක්‍ෂ ජනරාල් සිරිල් විජයසුන්දරට පැවරී තිබේ. එය ඔහුගේ රාජකාරිය සේම සැබෑ බෞද්ධයෙක්‌ ලෙස යුතුකම ද වන්නේය. ඔහුට එය සංසාර ගමනේ මහඟු පිංකමක්‌ද වන්නේය. එය රැකගැනීමට ඔහුට අවශ්‍ය ශක්‌තිය තිබිය යුතුමය. දැනට ජය ශ්‍රී මහා බෝ සමිඳුහට බලපා ඇති මරණ තර්ජන කිහිපයක්‌ පමණක්‌ මෙහි සඳහන් කරමු.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ කේන්ද්‍රකරගත් අරය මීටර් 450ක්‌ වන වෘත්තාකාර ප්‍රදේශයක්‌ තුළ ඉදිවන රථගාලේ වාහන 600 ක්‌ද, ඪගෂගඡ රථගාලේ වාහන 200 ක්‌ පමණ ද, මහා විහාර විශ්‍රාම ශාලාවේ වාහන 50 ක්‌ පමණද, උඩමළුව පොලිස්‌ ස්‌ථානයේ වාහන 20 ක්‌ පමණ ද, සුනාත යුධ හමුදා කඳවුරේ වාහන 30 ක්‌ පමණද නවතා තැබීමට නියමිතය. මෙම වෘත්තය තුළ ඉදිවී ඇති මාර්ගවල ධාවනය වන රථවාහන දිනකට 500කට අධික වන බව ද පැහැදිලිය. එම වාහන වලින් ඇති කරන්නාවූ විෂවායු විමෝචනයත්, කාබන් ඩයොක්‌සයිඩ්, කාබන් මොනොක්‌සයිඩ්, නයිට්‍රජන් ඔක්‌සයිඩ්, නොදැවුන කාබන් අංශු සහ දැනට සොයා නොගත් රසායනික වායු වර්ග මගින් සිදුවන හානිය ගණනය කර නැත. එමෙන්ම වායු දූෂණය, ආලෝක දූෂණය, ජල දූෂණය, විකිරණ දූෂණය, තාප දූෂණය වැනි කාරණා ගැනද සලකා නැත.

මේ කාරණාව දෙස බැලීමේදී මතකයට නැඟෙනුයේ එංගලන්තයේ පුරාවෘත්තයක්‌ වූ රොබින් හුඩ් ආශ්‍රය කරන ලද ඕක්‌ ගසය. එංගලන්තයේ පෞරාණික වස්‌තූන් ලෙස නම් කර ඇති එයට මීටර් 500 ක සීමාව තුළ කිසිදු රථවාහනයක්‌ පණගැන්විය නොහැක. විෂවායු දුම් විමෝචනයක්‌ කළ නොහැක. එමෙන්ම එම ප්‍රදේශය ඉමහත් පියකරු උද්‍යානයක්‌ ලෙස නිර්මාණය කර පරිසරය සාදා ඇති අන්දම වැදගත්ය.

මෙසේ සිදුවන්නේ එංගලන්තයේ සුද්දා උද්භිද විද්‍යාව පිළිබඳ නොදන්නා කමට හෝ මෝඩකමට හෝ, එංගලන්තයේ ධාවනය වන වාහන ලංකාවට වඩා අබලන් වාහන නිසා නොවන බව වටහා ගත යුතුය.

එසේම ඉන්දියාවේ තිබූ ජය ශ්‍රී මහා බෝ සමිඳු ලොවට අහිමි වූයේ කුමන හේතු සාධක මුල්වීමෙන්ද යන්න නිවැරදිව අවබෝධ කර ගැනීමත් වැදගත්ය. එසේම ඉන්දියාවේ අජීවී වස්‌තූන් වන ටඡ්මහල් මන්දිරය අවට පරිසරයේ වාහන වලින් විෂවායු විමෝචනය තහනම් කර තිබෙන්නේ මෝඩ කමට හෝ නොදන්නා කමට නම් නොවේ. එසේ කර ඇත්තේ බ්‍රේක්‌ නැති වාහන ටඡ්මහලේ හැපීම වැළැක්‌වීමට නොවේ. ලෝකයේ මෙවැනි ආදර්ශ බොහෝ තිබේ. අපට බොහෝ පාඩම් ඉගෙනගත හැකි වන්නේ. 1987 මොන්ටි්‍රයල් නුවරදී 1987 දී කියෝටෝ නුවරදී එකී රැස්‌වී ඇතිකර ගන්නා ලද සම්මුතීන් අධ්‍යයනය කිරීමෙන්ය. එම සම්මුතිය සකසනු ලැබුවේ යුනෙස්‌කෝ සංවිධානය, සංස්‌කෘතික අරමුදල, පුරාවිද්‍යාව, විෂවායු විමෝචනය පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන්ය.

අප කියන්නා වූ මීටර් 450 වෘත්තය තුළ විෂ දුම් විමෝචනය කරමින් ගමන් ගන්නා වාහන ප්‍රමාණය දිනකට 1350 ක්‌ පමණ වේ නම් එය මාසයකට හතළිස්‌ දහස්‌ පන්සියයක්‌ පමණය. එක්‌ අවුරුද්දකට හාරලක්‌ෂ අනූදෙදහසක්‌ පමණ වනු ඇත. අවුරුදු 100 කට හාරකෝටි අනූදෙලක්‌ෂයක්‌ පමණ වනු ඇත. අවුරුදු 200 කට නමකෝටි අසූපන්ලක්‍ෂ වාරයක්‌ පමණ වනු ඇත. එය අවුරුදු 300 කට දහහතර කෝටි හැත්තෑ අටලක්‍ෂයක්‌ පමණ වාර සංඛ්‍යාවක්‌ වේ. එයින් මෙම විෂ වායු විමෝචනය වන පැය ගණන, ප්‍රමාණය සිතා ගත හැකිය.

අප අවුරුදු 300 ක්‌ ජීවත් නොවන බව ඇත්තය. නමුත් මතු පරම්පරා 5 ක්‌ පමණ වනවිට ජය ශ්‍රී මහා බෝ සමිඳු හට මේ සිදුවන්න යන විනාශය ඔබට සිතා ගතහැකිද? එබැවින් මේ ඉදිවන රථගාල යනු ජය ශ්‍රී මහා බෝ රජාණන් වහන්සේගේ සොහොන් බිම බවට හැඳින්විය හැකි වන්නේය. මෙය ආනන්තරීය පාප කර්මයකට සමාන දෙයකි. එයට දායක වන්නන් හා අනුබල දෙන්නන් දැක දැකත් නොදැක්‌කා සේ සිටිනුයේ කුමක්‌ නිසාදැයි නොදන්නෙමි. ඔවුන් සොයන සැපය කුමක්‌දැයි නොඅසමි. රථගාල විවෘත වන්නටත් පෙර එම රථගාල තුළ පිහිටා තිබෙන පැරණි බෝ ගස්‌ දෙකක්‌ අපවත්වීමට සැරසෙන අයුරු නොදුටුවා මෙන් මෙම පාප කර්මයට උර දෙන්නන් ගමන් ගන්නා ආකාරය නිතර දකිමි. කළයුතුව තිබෙනුයේ මීටර් 450 කට වඩා වැඩි දුරකින් මෙම රථගාලවල් ඉදිකිරීමය. එම රාමුවෙන් ඉවත්කරලීමය. සැබෑ බෞද්ධ ජනතාව ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ජීවිතය වෙනුවෙන් මීටර් 450 ක්‌ වැනි සුළු දුරක්‌ පයින් ගමන් කරන්නට අකමැති නොවන බව නිසැකය. වයස්‌ගත හා ආබාධිත අයවලුන්ට විෂ වායු විමෝචනය නොවන ක්‍රමවේද මගින් ගමන් පහසුව සලසා දීමට පුළුවන. සදාහරිත වන උද්‍යානයක්‌ බවට එම සීමා කොටස පරිවර්තනය කිරීමෙන් ජනතාවට මහත් සතුටක්‌ දැනෙනු ඇත.

බෝ සමිඳු හට දැඩි අපහසුතා ගෙන එන කරුණු බොහෝමයකින් කීපයක්‌ ගැන මේ සමඟ සඳහන් කරමු.

බෝධියට යම් ආධාරකයක්‌ ලබාදී තිබෙන්නේ අත්‍යවශ්‍යතාවකට හෝ හොඳ සිතින් වන්නට පුළුවන. රත්තරං ආධාරකයක්‌ වුවත් සිදුවන්නේ දැඩි හානියක්‌ නම් එය ගැන අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යය. යම් ශාකයකට ආධාරක ලබාදීම උද්භිද විද්‍යාව අනුවම කළ යුතුය. ඊට ක්‍රමවේද බොහෝමයක්‌ ඇත. එයින් තෝරා ගත යුත්තේ නිවැරදි ක්‍රමවේදය සහ තැනට ගැලපෙන ක්‍රමවේදයයි. නමුත් සිදුව ඇති හානිය ආධාරක දැක්‌වෙන ඡායාරූප දෙකෙන් පෙන්නුම් කෙරේ. එසේම කඳට දැල් තබා කම්බිවලින් ගැට ගසාඇති ආකාරය කනගාටුදායකය. එසේ කම්බිවලින් තදකරනුයේ කටුකම්බි වැටවල් සෑදීමේදීය. එයින් සිදුවන්නේ ගසක කඳේ පොත්ත අනවශ්‍ය තදකිරීම් නිසා දැඩි ලෙස හානියට පත්වීමකි. එයට උද්භිද විද්‍යාව අනුව ක්‍රමවේද පවතී. පටකවලින් සැදූ මුදු වර්ග දියුණු රටවල ඇත. ෙමැවනි ක්‍රමවේද ගැන සැලකිලිමත් නොවන්නේ කුමක්‌ නිසාදැයි නොදනිමු.

එසේම ජය ශ්‍රී මහා බෝ සමිඳු පාමුල තිබෙන බුදු මැදුරේ වහලය යකඩය. එයින් පරාවර්තනය වන තාප කිරණ නැවත ජය ශ්‍රී මහා බෝ සමිඳු උණුසුම් කරනවා පමණක්‌ නොව උණුසුම් වාතාශ්‍රයක්‌ තිබෙන පරිසර රාමුවක්‌ නිර්මාණය කරනු ලබයි.

උදය කාලයේ ජල වාෂ්ප රත්වීම හේතුවෙන් තැම්බීමකට ලක්‌වන පරිසරයක්‌ නිර්මාණය වේ. එමෙන්ම වර්ෂාවකදී වුවත් ස්‌වභාවික ඝෝෂාවකට වඩා කෘත්‍රිම ඝෝෂාවකින් බෝධියට ගෙනෙන කරදරකාරී තත්ත්වය ගැන සිතිය යුතුය. සමහර ශාක වර්ග ඝෝෂාවනට ප්‍රතිචාර දක්‌වන බව උද්භිද විද්‍යාඥයෝ නොදන්නවා නොවේ. දියුණු වූ ලෝකයට, බෝධීන් වහන්සේට හිතකාමී වහලයක්‌ නිර්මාණය කිරීමට හැකි වුවත් එය නොසලකා හැරීම බරපතළ වරදකි.

තවත් එක්‌ කාරණාවක්‌ ගැන කීමට අත්‍යවශ්‍යය. එනම් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ කඳට යම් කෘමි සතුන් විසින් කර ඇති හානිමය තත්වයක්‌ පිළිබඳවය. එය දැක නොදැක්‌කා සේ සිටිනවාද යන්න සැක සහිතය. කෘමි සතුන් කුහර සෑදු විට එම කුහර තුළ ඇතිවන ව්‍යසනය පිළිබඳව හේන් ගොවිතැන් කරන අහිංසක ගොවිsයාගෙන්ද සිදුවන්නේ කුමක්‌දැයි දැනගැනීමට පුළුවන.

අවසානයේ පේරාදෙණියේ උද්භිද උද්‍යාන අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සිරිල් විඡේසුන්දරට මෙසේ ලියා තැබිය යුතුය. මහත්මයාණෙනි, ඔබ විසින් සකස්‌ කරනු ලබන මෙම වාර්තාව ඉතාමත් වගකීමකින් කළ යුත්තකි. එය ජාතියේ ආධ්‍යාත්මික ජීවය තීන්දු කරන්නකි. කොටින්ම මෙම වාර්තාව වැදගත් වන්නේ ඒ අනුව ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ජීවිතයේ ඉරණම තීරණය වන නිසාය.

ඉන්ද්‍රජිත් සේනානායක

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

A special dhamma sermon held at Liverpool Sri sambuddha Viharaya.

A special dhamma sermon was conducted at Sri sambuddha viharaya in Liverpool on Sunday evening ...