සෙල්ලම් නිරිඳු

ජයලත් මනෝරත්නගේ අලුත්ම වේදිකා නාට්‍ය නිර්මාණය – සෙල්ලම් නිරිඳු

මොකක්ද මේ සෙල්ලම් නිරිඳුගේ කතාව….?
මේක මගේ ‍ෙදාළොස්වැනි නාට්‍යය. ස්වතත්ත්‍ර නිර්මාණයක්. දහඅටවැනි සියවසේ මුල ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ කියන සිංහලයේ අන්තිම රජ්ජුරුවන්ට පොඩි කාලේ කිව්වේ කුණ්ඩසාල කුමාරයා නැත්නම් සෙල්ලම් නිරිඳු කියලා. ඒක තමයි නාට්‍යයේ පසුබිම. ඒත් මේකෙන් කතා කරන්නේ ඉතිහාසය විතරක් නෙවෙයි. දහඅටවැනි සියවසේ මුලත් විසිඑක්වැනි සියවසේ මුලත් යම් තරමක මේකෙදි සමපාත කරන්න මම උත්සාහ කළා.

කොයි විදියටද ඒ සමපාත කිරීම සිද්ධ වෙන්නේ උදාහරණයක් කිව්වොත්…?
බොහෝ විට එදා තිබුණු සමාජ, දේශපාලනික, ආර්ථික ප්‍රශ්න, මානව සබඳතා අදටත් පොදුයි. මේකෙ රජ්ජුරුවන්ගේ චරිතයට අමතරව එයාගේ බිරිය සුමිත්‍රා, ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා දස්කොන් වගේ ඓතිහාසික චරිත මේ නාට්‍යයෙන් හමුවෙනවා. තව අදිකාරම්වරුන් ඉන්නවා. එක පැත්තකින් සිංහල රජ්ජුරුවන්ගෙන් බලය ගන්න අදිකාරම්වරු ගෙනයන විවිධ කුමන්ත්‍රණ පෙන්වනවා. මෙන්න මේ වගේ දේවල් තමයි කතා වෙන්නේ.

මේ නාට්‍යයෙන් දේශපාලනික සම්බන්ධතා විවරණය කරනවා කියලා ඔබ කිව්වා කොයි විදියටද ඒක සිද්ධ වෙන්නේ…?
ඉතිහාසය නැවැත නැවැත ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා කියනවනේ. එක්දාස් හත්සිය ගණන් ගැන කතා කරන දේ අදටත් අදාළයි. මේ සිද්ධි අදටත් වෙනවනේ කියලා කෙනකුට කියන්න පුළුවන්. ඒත් එක්කම ආදරය, සෙනෙහස, මිත්‍රත්වය වගේ දේවල් ගැනත් නාට්‍යයේ කතා කෙරෙනවා.

‘ඔටුන්නක් – ආදරයක් – දංගෙඩියක්’ මොකක්ද මේ තේමාවේ තේරුම…?
බලය මානව සන්නිවේදන සහ මරණය තමයි මේකෙන් තේමා වෙන්නේ.

මේක අද සිනමා ක්‍ෂේත්‍රයේ තියෙන ඉතිහාස කතා රැල්ලෙම තවත් දිගුවක් කියලා මම කිව්වොත්…?
නෑ… නෑ…. කොහොමටවත් නෑ… මේක ඇත්තටම ලියැවෙන්නේ අපිට වර්තමානය ගැන කතා කරන්න ඕනෙ නිසා. මේකෙදි අපි භාවිත කරන්නේ වාර්තා රංග රීතිය. මහාචාර්ය සරච්චන්ද්‍රගේ නාඩගම් ශෛලියේ යම් යම් ස්ථාන අපි මේකට යොදාගෙන තියෙනවා. තිබුණු සහ වෙච්ච දෙයක් ඒ විදියටම කියාපාන්න මට අවශ්‍ය වුණේ නෑ.. කෙනකුට ගැඹුරින් හිතලා අලුත් දැක්මක් ගොඩනඟා ගන්න ඉඩක් මේ තුළ තියෙනවා කියලා මම විශ්වාස කරනවා.

ඒ කියන්නේ ප්‍රතිනිර්මාණයක්…?
ඔව්.. හරියටම හරි..

මේ නාට්‍යයේ ශෛලිය ගැන තව ටිකක් පැහැදිලි කළොත්..?
අපිට උචිත ශෛලියක් ගොඩනංවා ගන්න දීර්ඝ කාලයක් තිස්සේ අපි ගවේෂණයක යෙදෙනවා. ලෝකයේ ආකෘතීන් ගොඩනැඟෙන්නෙ අවශ්‍යතා අනුවනේ. මගේ මුල් කාලයේ නාට්‍ය වුණු තලමල පිපිලා, ගුරු තරුව, අන්දරේලා වගේ නාට්‍යවලින් පටන් ගත්ත මේ ආකෘතිය සොයා යෑමේ තවත් එක දිගුවක් තමයි මේ නාට්‍යය.

අද නිදහස් ශෛලීන්ට හුරු වෙලා තියෙන ප්‍රේක්ෂකයා ඔය ශෛලිය කොයි විදියට භාර ගනියිද…?
ඒකෙ නම් මට කිසි සැකයක් නෑ.. අඩ සියවසක් තිස්සේ අපේ නාට්‍ය කලාව දීර්ඝකාලීනව පවතිනවා. අතිවිශාල
ප්‍රේක්ෂක පිරිසක් අපිට ඉන්නවා. විශේෂයෙක්ම පිට පළාත්වල හොඳ රසික පිරිසක් ඉන්නවා. අපේ නාට්‍ය හුඟක් වෙලාවට පෙරදිගට හුරු-පුරුදු නාට්‍යධර්මී ශෛලිය තමයි අනුගමනය කරන්නේ. ඒ ශෛලියත් අතිශයින්ම නිදහස් රීතියක් වේදිකාවක් මත අපිට පාවිච්චි කරන්න පුළුවන් උපරිම නිදහස අපි පාවිච්චි කරනවා.

කවුද මේ ‘සෙල්ලම් නිරිඳු’ පිරිවර…?
මමත් රඟපානවා. මාධනී මල්වත්තගේ නලින් ප්‍රදීප් උඩුවෙල, සංජීව දිසානායක ඇතුළු විසිපහකට කිට්ටු පිරිසක් ඉන්නවා. මේකෙ සංගීතය ජානක ෆොන්සේකාගෙන්. නර්තන නිර්මාණය රවිබන්ධු විද්‍යාපතිගෙන්. කලා

අධ්‍යක්ෂණය උපාලි හේරත්. ඇඳුම් නිර්මාණය සුවිනීතා පෙරේරා.
පොදුවේ කතා කළොත් ඔබ ක්‍ෂේත්‍රයේ ජේ‍යෂ්ඨයෙක්. ඔබේ පරපුරේ නිර්මාණ සහ නව පරපුරේ නිර්මාණ ප්‍රේක්ෂකයා භාරගන්න විදියෙ වෙනසක් පේන්න තියෙනවා.

ඕනෑම ක්‍ෂේත්‍රයක ආධුනිකයො සහ ප්‍රවීණයෝ ඉන්නවා. ඕනෙම කෙනෙක් නිර්මාණ කරන්නේ තමන්ගේ අත්දැකීම් මතනෙ. ඒකෙදි ඔවුන් සතු කුසලතාව එළිදැක්වෙනවා. නව පරපුරත් මෙතැනදි යම් මට්ටමක ඉන්නවා. ටිකෙන් ටික ලෝකය හැදෑරීමෙන් පොත පත කියැවීමෙන් මානව සම්බන්ධතා ගොඩනංවා ගැනීමෙන් ඉස්සරහට ගිහිල්ලා තමන්ගේම කියන ස්වීය තැනකට එන්න ඕනෙම කෙනකුට පුළුවන්.

මුලදි තරුණ පරපුර කැමැතියි. අලුත් දෙයක් කරන්න. තිබෙන ක්‍රමයට එයා ගිය දෙයක් අත්දැකීම් එක්ක තමයි ඒ ක්‍රමයේ තියෙන අවශ්‍යතාව වටහා ගන්න. ඒකේ වරදක් නෑ. හැම කාලෙකම හැම ක්‍ෂේත්‍රයකම මේ දෙපාර්ශ්වයම එකට කටයුතු කරනවා.
අවසාන වශයෙන් කියන්න ලංකාවේ අද පවතින දේශපාලන වටපිටාවත් එක්ක ජයලත් මනෝරත්න ඇතුළු ප්‍රවීණයන් තමන්ගේ වගකීම ඉෂ්ට කරනවාද?

දේශපාලනය බොහොම විවෘතයි. කලාව ඊට වෙනස්. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ කලාකරුවා දේශපාලනයෙන් විනිර්මුක්ත විය යුතුයි කියලා. කලාකරුවාගේ දේශපාලනය හැම වෙලාවෙම ඔහුගේ ප්‍රකාශය තුළින් පේනවා. ඔහුගේ පැවැත්ම තුළිනුත් ඒක පේනවා. වැදගත්ම දේ ඔහු කරන කාර්යයේ අරමුණ මොකක්ද කියන එකයි. කලාකරුවාගේ අරමුණ විය යුත්තේ යහපත් සමාජයක්. උදාර මිනිසුන් වෙසෙන පිරිපුන් සමාජයක්.

ශාලික විමලසේන

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...