මෙරට දකුණු හා බස්නාහිර මුහුදු තීරයේ පිහිනීමට ගිය බොහෝ දෙනකුට පසුගිය සති කිහිපයේදී වේදනාකාරී අත්දැකීමකට මුහුණදීමට සිදුවිය.
සමුදුරු ජලයේ පාවෙමින් තිබූ නිල් පැහැති ජල්ලියක් වැනි ද්‍රව්‍යයක් ශරීරයේ ස්පර්ශවීම නිසා අධික වේදනාව, කැසිල්ල, ඇඟ මත වේදනාව, ඉදිමුම හා හෘදයේ දුර්වලතාවලට ගොදුරුවීමට සිදුවූ බවද සඳහන් වේ.
මෙලෙස මෙරට මුහුදු තීරයට පැමිණි සත්ත්ව විශේෂය ජෙලි ෆිෂ් නැතිනම් ලොඩියකු ලෙසට හඳුන්වනු ලැබුවද මොවුන් සත්‍ය ලෙසම සතුන් රැසක් එකතුවී සෑදුනු සත්ත්ව සනාවාසයක් බව පරිසරවේදීහු පවසති. ඒ මොවුන් පොදුවේ “පොචුගිස් මෑන් ඕ වෝ” Portuguese man o’ war) ලෙසද හඳුන්වනු ලැබේ. මෙරටින් මෙම සතුන් ස්පර්ෂවීම නිසා මරණ වාර්තා නොවුණද ලොව බොහෝ රටවල මරණ සිදුව ඇති බවද වාර්තා වේ.
මෙම සත්ත්ව විශේෂය වසරේ වාරකන් සමයේදී මෙරට මුහුදු තීරයට පැමිණීම බොහෝ විට සිදුවන බව සමුද්‍ර පරිසරවේදී ප්‍රසන්න වීරක්කොඩි මහතා පැවසීය.
මෙම සතුන් වාරකන් සමයේදී මෙරට දකුණු හා බස්නාහිර මුහුදු තීරවලට පැමිණීම අනිවාර්යයෙන් සිදුවනවා. මෙය අසාමාන්‍ය දෙයක් නොවේ. දැනට මෙම ප්‍රදේශවල දක්නට ලැබෙන නිල් පැහැති සත්ත්ව විශේෂය හඳුන්වනු ලබන්නේ ‘හයිසාලියා හයිසාලින්’ ලෙසටයි. මොවුන් ජෙලි ෆිෂ්ලාට ඉතා සමීප නෑදෑකම් කියන සත්ත්වයෙකි.
දිය මතුපිට නිල් පැහැති බැලුනයක් වැනි කොටසක් පවතින අතර දිය යට අඬු දිගට පවතිනවා. මුහුදු ජලය සමග පවතිද්දී මෙම සතුන් නිවැරැදිව දර්ශනය වන්නේ නෑ. මේ නිසා මුහුදේ පිහිනීමට යන පුද්ගලයන් මෙම සතුන්ගේ ප්‍රහාරයට ලක්වනවා.
මෙහිදී මෙම සතුන් තමා අසලින් දැනෙන සංවේදනවලට පහර දෙනවා. ඔවුන් සිය ආහාර සොයාගන්නේ එලෙස ගොදුරුවලට ප්‍රහාර එල්ල කිරීම හරහායි. ඉතා ප්‍රාථමික ජීවියකු වන නිසා තමා අසලට එන ඕනෑම දෙයකට ඔවුන් ප්‍රහාර එල්ල කරනු ලබනවා. මෙහිදී අදාළ ජීවියාගේ තුඩ ශරීරයේ ඉතිරිවීමට තිබෙන ඉඩ වැඩියි.
මෙම කාලයේදී මුහුදු වෙරළේ මෙම ජීවීන් දක්නට ලැබෙනවා. එවැනි අවස්ථාවල මුහුදේ පිහිනීමෙන් වැළකීම හෝ ශරීරය ආවරණය වන පරිදි ඇඳුමක් හැඳගෙන සිටීම වැනි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම අනිවාර්යයි.
මෙම සතුන් පිළිබඳව වසර 33 ක පමණ කාලයක සිට පර්යේෂණවල යෙදෙන ප්‍රවීණ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පැවසුවේ මෙම එක් සත්ත්ව සනාවාසයක සතුන් දහස් ගණනක් සිටිය හැකි බවයි.
මෙම සතුන් පිළිබඳව මා වසර 33 ක පමණ කාලයක සිට පර්යේෂණවල යෙදෙනවා. සෑම වර්ෂයකම නිරිත දිග මෝසම් කාලයේ දකුණු හා බස්නාහිර පළාත් අවට මුහුදේ මෙම සතුන් දක්නට ලැබෙනවා. මොවුන්ගේ විෂ ඕනෑම මොහොතක මාරාන්තික විය හැකියි. විනිවිද පෙනෙන සතුන් විශේෂයක් නිසා හඳුනාගැනීම අපහසුයි. මෙම සත්ත්ව ප්‍රහාරයට ලක්වූ වහාම එම ස්ථානය මද්‍යසාර සහිත දියරයක් යොදා සේදිය යුතුයි. එලෙසම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අනිවාර්යය දෙයක්.
දැනට දකුණු හා බස්නාහිර මුහුදු තීරයේ හමුවන ජෙලි ෆිස් විශේෂය පහරදුන් විට එම විස බලපානු ලබන්නේ ස්නායු පද්ධතියට බව නාරා ආයතනයේ සමුද්‍ර ජීවී විද්‍යා අංශ ප්‍රධානී ආචාර්ය රේඛා වල්දෙනිය මහත්මිය ප්‍රකාශ කළාය.
දැනට අපේ රටේ දකුණු හා බස්නාහිර මුහුදු තීරවල ප්‍රහාරවලට ලක්වෙලා තිබෙන අයට පහරදී තිබෙන්නේ ‘පොචුගිස් මෑන් ඕ වෝ’ කියන වර්ගය. මොවුන් සත්ත්ව වර්ග 4 ක එකතුවක්. මොවුන්ට මීටර් 30 ක් පමණ දිග ඉතා හීනි ග්‍රාහිකා තියෙනවා. මෙම ග්‍රාහිකාවල තමයි ඔවුනට ආරක්ෂාව ලබාදෙන සත්ත්ව විශේෂ ඉන්නේ. ඔවුන්ට යම් සංවේදී දෙයක් හමුවූ වහාම පහර දෙනවා. මෙම විෂ බලපාන්නේ ස්නායු පද්ධතියට. මෙහිදී විශාල සත්ත්ව පිරිසක් එකවර පහරදෙන නිසා ඇතැම් අවස්ථාවල මාරාන්තික වීමට ඉඩ වැඩියි. ඇය ප්‍රකාශ කළාය.
ජෙලි ෆිෂ් (Jelly Fish)
මුහුදේ වෙසෙන විෂ සහිත මත්ස්‍ය විශේෂයකි. බටහිර වෙරළේ අප්‍රේල් මස සිට අගෝස්තු දක්වාත් නැගෙනහිර වෙරළේ ඔක්තෝබර් සිට මාර්තු දක්වාත් මොවුන් දැකිය හැකිය. ශ්‍රී ලංකාව අවට මුහුදේ වර්ග ….. 10 ක පමණ ජෙලිෆිෂ් දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ සුලභව දක්නට ලැබෙන (Physalia), පයිසිලියා (Portuguese man o’ war)) පෝචුගීස් මැන් “ඔ” වෝ නමින් විද්‍යාත්මකව හඳුන්වන Blue Bottle – බ්ලූ බොට්ල් නමින් ප්‍රසිද්ධ මෙම වර්ගය උග්‍ර විෂ සහිත වන අතර තැවරීමෙන් අධික වේදිනාව, ඉදිමීම, බඩ කොරවීම, සිහි නැතිවීම, මරණය දක්වා මෙම විෂ බලවත් විය හැකිය. සිරුරේ යම් ආසාත්මිකතාවන් දක්වන පුද්ගලයන්ට මෙ ජෙලිෆිෂ් ස්පර්ශයෙන් තත්ත්වය බරපතළ වී ක්ෂණිකව ප්‍රතිකාර නොකළහොත් මරණය ඇතිවි හැකිය. 2010 වසරේ පානදුර ප්‍රදේශයේ ධීවරයකු මෙම ජෙලිෆිෂ් ආපදාවෙන් මරණයට පත්වී ඇත.