ජොන් ආණ්‌ඩුවට එක්‌වන්න කථානායක හෝ ආරක්‍ෂක නි. ඇමැතිකම ඉල්ලයි

තමන්ට කථානායක ධුරය හෝ ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති ධුරය හෝ ලබාදෙන්නේ නම් ආණ්‌ඩුව සමඟ එක්‌වන බවට විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක්‌ කර ඇතැයි ඉතා විශ්වාසදායක ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ගම්පහ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන ජෝන් අමරතුංග මහතා එක්‌සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. එජාප රජය කාලයේදී ද අභ්‍යන්තර කටයුතු ඇමැති ධුරය දරමින් ආරක්‍ෂාව භාරව කටයුතු කළ ජෝන් අමරතුංග මහතා ආණ්‌ඩුව සමඟ එක්‌වීමේ සූදානමක්‌ ඇති බවට කලක සිට රාවයක්‌ පවතී.

අමරතුංග මහතා මේ දිනවල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ පලස්‌තීනය සහ ජෝර්දානයේ සංචාරයක ද නිරතව සිටින අතර එය ආණ්‌ඩුව සහ ඒ මහතා අතර තිබෙන සමීප සබඳතාව තහවුරු වීමක්‌ යෑයි ද එජාපයේ ප්‍රකාශකයෙක්‌ පැවසුවේය.

ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන් කිහිපදෙනකු සමඟ මෙම රාජ්‍ය සංචාරයට විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයා එක්‌වීම ද මෙරට දේශපාලන ක්‍ෂේත්‍රයේ සුවිශේෂී අවස්‌ථාවක්‌ ලෙස සැලකේ.

තමන් දින කිහිපයකට පලස්‌තීනයේ ආගමික සිද්ධස්‌ථාන කිහිපයකට යැම සඳහා විදෙස්‌ගත වන බව පවසා ජෝන් අමරතුංග මහතා විදෙස්‌ගතවීමට එජාපයේ අවසරය ඉල්ලා ඇත.

එහෙත් ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරය සිදුකරන බව ජෝන් අමරතුංග මහතා පක්‍ෂයට නිල වශයෙන් දැනුම් දී නැතැයි ද එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේය.

– දිවයින

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...