වසර 37 කට පෙර හැත්තෑහතේ ජූලි මහා ඡන්දෙදි
එජාප වේදිකාවට නැගුණු කලාකරුවන් ගැන මතක සටහන්
( ආනන්ද පද්මසිරි) Lakbima
1970 පටන් බලයේ සිටි සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ සමගි පෙරමුණු රජය පරාජය කරමින් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය 1977 ජූලි 21 වෙනිදා බලයට ආවේය. හයෙන් පහක බහුතර ආසන බලයක් පාර්ලිමේන්තුව තුළ ලබමින් විජයග්‍රාහී වන්නට එම පක්ෂය
පැමිණි ගමනේ දී දේශපාලන වේදිකාව මත එකල ජනප්‍රිය නළු නිළි ගායක ගායිකා ආදී කලාකරුවන් කලාකාරයන් කළ කී දෑ බොහෝ දුරට ඉවහල් විය. එදා එජාප රජය පිහිටුවා වසර 37 ක් පිරෙන මේ මොහොතේ එම කියුම් කෙරුම් ගැන මතක සටහනකි මේ.
77 එක්සත් ජාතික පක්ෂ මැතිවරණ වේදිකාවේ ප්‍රබලම කලා චරිතය වූයේ සිනමා සක්විති මහා නළු ගාමිණී ෆොන්සේකාය. ඔහු රට පුරාම එජාප රැස්වීම් ඇමතුවේය. මෙම රැලි පිළිබඳ වාර්තා වැඩිපුරම පළ වූයේ එවකට ජනප්‍රිය පුවත් පත් දෙකක් වූ ‘දවස’ හා ‘රිවිරැස’ පුවත්පත්වලය. පහළොස් දහසකට අධික ජනකායක් සහභාගි වූ බවට වාර්තා කර ඇති ඇල්පිටියේ එජාප රැලියක් ඇමතූ ගාමිණී කළ කතාවක් “අම්මා කෙනෙකු ගැන තැබූ විශ්වාසය නිසා අමාරුවේ” යන ශීර්ෂයෙන් යුතුව මෙසේ පළ කර තිබේ.
“කෑම බිම ඇඳුම් පැළඳුම්, රෝහලකින් නොමිලේ බෙහෙත් ගන්නට හෝ ඒත් නැතිනම් පාන් ගෙඩියක මිල අඩු කොට ඒවා ලබා දෙන මෙන් ඉල්ලා සිටීමට අද පුළුවන්කමක් නැහැ. මේ හැම දෙයම සිදුවූයේ එක්තරා අම්මා කෙනෙකු ඇතුළු පවුලක් ගැන මේ රටේ ජනතාව ඕනෑවට වඩා විශ්වාසය තැබූ නිසයි.”
එහිදී ගාමිණී ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අහිමි වීම ගැනද අදහස් දක්වා තිබේ. “ප්‍රජාතන්ත්‍රවාදී නිදහසේ අගය මා හොඳින් දන්නවා. මේ නිදහස රකින්න මා වේදිකාවට ආවා. මේවා නැති වුණ දාට අප හොරගොල්ල වලව්වේ දම්වැලෙන් බැඳපු සුනඛයන්ගේ තත්ත්වයට පත් වෙනවා. අම්මලාට පුත්තුන්ට ඕන විදියට ක්‍රියා කරන්න ඉඩ කඩ නොතැබිය යුතුයි.”
කොළඹ සුදුවැල්‍ලේ එජාප රැස්වීමක් අමතා ගාමිණී ෆොන්සේකා කළ කතාවක් වාර්තා වී ඇත්තේ “කන්න නෑ අඳින්න නෑ මැතිනිය රටෙත් නැහැ” යන ශීර්ෂයෙනි. ඉන්දියාවේ අගමැතිනියක වූ ඉන්දිරා ගාන්ධි හා ඇගේ පුත් සංජය ගාන්ධි සමග බණ්ඩාරනායක අගමැතිනිය හා ඇගේ පුත් අනුර බණ්ඩාරනායක සංසන්දනය කරමින් ගාමිණී කතා කර ඇත. ‘ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධිට වෙච්ච දේ තමයි සිරිමා බණ්ඩාරනායක මැතිනියට වෙන්න යන්නේ. ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධිට හිටියා සංජේ කියා මෝඩ, අහංකාර, බලයෙන් මත්වෙච්ච පුත්‍රයෙක්. ඒ වාගේම අපේ අගමැතිනියටත් පුතෙක් ඉන්නවා. ඉන්දියාවේ වූ දෙය තමයි ලංකාවේ අගමැතිනියටත්, පුතාටත් වෙන්නේ. මේ පුත්‍රයා කරන දේවල් තව ටිකක් දවස් ගියාම මහ ජනතාවට හෙළිවෙයි. මේ අයගේ ක්‍රියා පටිපාටිය ගැන සොයා බලලා දඬුවම් දෙන්නට කොමිෂන් සභාවක් පත් කරන්න ඕනෑ. “ යනුවෙන් ගාමිණී එහිදී කියා තිබේ.
පසු කාලයේ දී, එනම් 1989 දී රුදුරු භීෂණය මධ්‍යයේ එක්සත් ජාතික පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කයට තරග කර මුල් තැන ලබා දිනූ ගාමිණී ෆොන්සේකා එම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තනතුරටද පත්කරගනු ලැබිය. කෙසේ වෙතත් ක්‍රමයෙන් ඔහුගේ සිත කලකිරෙමින් තිබුණි. එකල සරසි සිනමා පත්‍රයට ගාමිණී සමග මා කළ සාකච්ඡාවකදී ඔහු කීවේ “අපේම පැත්තේ අදිසි හස්තයක් මට බාධා කරනවා” යනුවෙනි. ප්‍රේමදාස වාදියෙකු වූ ගාමිණීගේ ගමනට බාධා කරන්නා ගැන ඔහු සෘජුව නොකීවත් එම කාලයේ දී ඔහු එජාපය හැර ගියේය. ඉන්පසුව ශ්‍රීලනිපයට ගාමිණීව එක් කරගත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය උතුරු නැගෙනහිර ආණ්ඩුකාර පදවිය ඔහුට පිරිනැමුවේ ‘සුළු ජාතීන්’ ලෙස හැඳින්වෙන පිරිස කෙරෙහි ඔහු තුළ හා අනෙක් අතට ඔහු කෙරෙහි ඔවුන් තුළ ඇති ලැදියාව දැන සිටි නිසා විය යුතුය. එම පදවිය දරමින් කලක් කටයුතු කළත් අවසානයේ එහිදීද ගාමිණීට ඉතිරි වූයේ කලකිරීමය. එකල චන්ද්‍රිකා ජනපතිනියගේ මාධ්‍ය උපදේශකව සිටි සනත් ගුණතිලකට මාධ්‍ය මගින් බරපතළ ප්‍රහාර එල්ල කර ගාමිණී ආණ්ඩුකාරකම හැර ගියේය.
ගාමිණී නැගූ චෝදනාවලට මේ වන තුරු සනත් පිළිතුරු දී නැත. එය සිදු කරන්නේ තමා අනාගතයේ ලියන පොතකින් බව සනත් කියයි. ගාමිණී වෙනුවෙන් ඉන්පසුව පැවති ප්‍රණාම උළෙලකදී මල් කළඹක් සහිතව වේදිකාවට නැගුණු සනත් ඔහුට ප්‍රණාම පිදුවේ ගාමිණීද සසල කරමිනි. කෝපය හෝ කලකිරීම හෝ දැඩිව සිතේ සිර කර ගත් ගාමිණී ඒ මොහොතේ සනත් ගුණතිලක තමන් ඉදිරියේ තබාගෙන පැවසුවේ තමා ලද අත්දැකීම් අනුව කිසිදු කලාකරුවෙකුට දේශපාලනයට නොයන ලෙස අවවාද කරන බවය. ෙදෙවයේ තවත් සරදමක් වූයේ එවකට ගාමිණී සහාය දුන් ශ්‍රීලනිප රජය යටතේම වූ චිත්‍රපට සංස්ථාවට සම්බන්ධ පිරිසක් හා ක්ෂේත්‍රයේ පිරිසක් ඔහු රඟපාමින් සිටි ‘යකඩ යකා’ චිත්‍රපටයට කළ බාධා නිසා මහත් සේ කලකිරීමෙන් ගාමිණී ෆොන්සේකා මහා නළුවාණන්ට මෙලොව හැර යන්නට සිදුවීමය.
එවකට නිළි රැජින වූ රුක්මණී දේවිය සේරුවිල ආසනයේ ගෝමරන්කඩවල එජාප රැලියක කළ කතාවක් ‘සෞභාග්‍යමත් යුගයකට එජාපයට සහය දෙන්න.” යනුවෙන් වාර්තා කර තිබේ. බොරු පොරොන්දු නොදෙන එච්.ඩී.එල්. ලීලාරත්න මහතා දිනවන ලෙස ඇය ඉල්ලා තිබේ. රට පුරා එජාප රැස්වීම් ඇමතූ රුක්මණී දේවිය ඇතැම් විට ගීත ගායනාද ඉදිරිපත් කළාය. එජාපය ඇය සිතූ ලෙසම බලයට ආවත් ඉන් වසර එක හමාරකට පමණ පසුව 1978 ඔක්තෝබර් 28 වෙනිදා රුක්මණී දේවිය හදිසි අනතුරකින් මිය ගියාය.
“සිංහල සිනමාවේ දියුණුවට වැඩ කරනවා, නළු නිළියන්ගෙ යහපතට කටයුතු කරනවා කියල බොරු පොරොන්දු දීල බලය ලබාගත් මේ ආණ්ඩුවේ උදවිය සිනමාවේ දියුණුවටවත් නළු නිළියන්ගේ යහපතටවත් කිසිම දෙයක් කළේ නැහැ. ඒ නිසා මගේ හිතවත් නළු නිළියන් වැඩි දෙනෙක් අද එක්සත් ජාතික පක්ෂය
බලයට පත් කරවන්න රට පුරා යනවා. මම පහුගිය දවස්වල ඇහුවා ගිය මැතිවරණයේ දී ශ්‍රීලනිපයට වැඩ කළ මගේ නළු සහෝදර සහෝදරයින්ගෙන් මොකද මේ පාර පක්ෂයට වැඩ කරන්නේ නැද්ද කියලා. ඒ උදවිය කියනවා විළිලැජ්ජා නැතිව රෙදිත් ඇඳගෙන කොහොමද මේ පාර අපි ඒ පක්ෂයට වැඩ කරන්නේ කියලා” යනුවෙන් ජ්‍යෙෂ්ඨ නළු ජෝ අබේවික්‍රම වලපනේ ආසනයේ රූපහදී රේණුකා හේරත් අපේක්ෂිකාවට ආධාර පිණිස පැවති එජාප රැලියකදී කියා තිබේ. ජෝ ද 1977 දී රට පුරාම එජාප රැලි ඇමතුවේය. විපාක්ෂික කලාකරුවන්ට සහෝදර සහෝදරියන් ලෙස ඔහු විසින් අමතනු ලැබුවත් 2005 ජනපතිවරණය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට සහාය පිණිස නුගේගොඩ පැවති රැලියක් ඇමතූ සිරිල් වික්‍රමගේ කලාකරුවා එජාප වේදිකාවල සිටින නළුනිළියන්ව හැඳින්වූයේ ‘ලපයි සිපයි’ යනුවෙනි. එම වේදිකාවේ සිට ජෝගේ නිවස (පාගොඩ පාරේ) දෙසට අත දිගු කරමින් කතා කළ ජාත්‍යන්තර සම්මාන දිනූ තවත් අධ්‍යක්ෂවරයෙක් ‘ජෝ අබේවික්‍රම කරපුව කිව්වොත් රට දාල යන්න වෙයි’ ආදී වශයෙන් ජෝ විවේචනය කළේය. කෙසේ වෙතත්, මරණය දක්වා සිය දේශපාලන ස්ථාවරය වෙනස් කර නොගත් ජෝ යූ ඇන් පීකාරයෙකු ලෙසම මිය ගියේය.
එච්.ආර්. ජෝතිපාල, එම්.එස්. ප්‍රනාන්දු, ජේ.ඒ. මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග්, පේරඩී සිල්වා, ක්‍රිස්ටෝපර් පෝල්, ඉන්ද්‍රානි පෙරේරා, මොරිස් දහනායක වැනි ගායක ගායිකාවෝ 1977 එජාප වේදිකාවේ කැපී පෙනුනු කීපදෙනෙකි. 1970 දී එජාප වේදිකාවල ගී ගැයීමේ වරදට මේ අයගෙන් දේශපාලන පළිගැනීම් සිදුකර තිබුණි. විශේෂයෙන් ජෝතිගේ ගීත ගුවන් විදුලිය සපුරා තහනම් කළේය. ඔහුගේ නමවත් චිත්‍රපට ප්‍රචාරක වැඩසටහනක කියන්නට බැරි විය. කළුතර බි.එල්. විජේමාන්න අපේක්ෂකයාට ආධාර පිණිස පැවති රැලියක් ඇමතූ මහා ගායක අල්හාජ් මොහිදීන් බෙග් කළ කතාව වාර්තා වී ඇත්තේ “රජය 21 වෙනිදා තුරන් වෙනවා” යනුවෙනි. එජාපය බලයට පත්වීමෙන් පසු වසර පහළොවක් පමණ ජීවත් වුවත් එජාප වේදිකාවල නැගී එම පක්ෂයේ ජයග්‍රහණයට දායක වූ ඔහු මිය යන විටද ප්‍රමාණවත් පහසුකම් සහිත නිවසක්වත් ඔහු සතුව තිබුණේ නැත. එදා එජාප ආණ්ඩුව කලාකරුවන්ට හොඳින් සලකනු ඇතැයි මේ බොහෝ කලාකරුවන් බලාපොරොත්තු වුවද එය ඒ ආකාරයෙන් සිදු වූවාද යන්න ගැටලුවකි.
1970 සමගි පෙරමුණ රජය සමයේ ආහාර හිඟය 77 එජාප වේදිකාවේ ප්‍රබල මාතෘකාවක් විය. කුරුණෑගල රැලියකදී ප්‍රවීණ නළු රෙක්ස් කොඩිප්පිලිද එම මාතෘකාව යටතේ කළ කතාව “ඉතිහාසයේ කවදාවත්ම මෙවැනි සාගතයක් නම් තිබුණේ නෑ” යනුවෙන් වාර්තා වී තිබේ. එම ජූලි 21 වෙනිදා ශ්‍රීලනිප ඇතුළු වාමාංශික එක්සත් පෙරමුණ ලංකා දේශපාලනයෙන් සදහටම අතුගා දමන බවත් මැතිනියට දේශපාලන විශ්‍රාමයක් දෙන බවත් එම රැලියේ දීම කියා ඇත්තේ ප්‍රවීණ නළු බැප්ටිස් ප්‍රනාන්දුය.
“බණ්ඩාරනායක ප්‍රතිපත්ති කියා ජනතාව රවටාගෙන කරන්න පුළුවන් තරම් නොහොබිනා වැඩත්, කරන්න පුළුවන් තරම් අපරාධත්, කරන්න පුළුවන් තරම් දූෂණත් කළේ නැද්ද කියා අපි අගමැතිනියගෙන් අහමු.” යැයි පවසා ඇත්තේ විමල් කුමාර් ද කොස්තාය. ඒ කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ එජාප රැලියකදීය. ජනප්‍රිය නිළි ජෙනිටා සමරවීර එහිදී කියා ඇත්තේ අල්ලට සීනි දමා තේ බි අල්‍ලේ ඇති රේඛාත් නැති බවත්, මෙදාත් මේ අයට රට ගියොත් අල්ල හිල් වෙනකල් අල්ල ලෙවකන්න සිද්ධ වෙනු ඇති බවත්ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කටාන අසුනට 1977 මැතිවරණයට තරග කළේ විජය කුමාරතුංගයන්ය. රට පුරා එජාප වේදිකා වල ගී ගැයුවත් එච්.ආර්. ජෝතිපාලයන් කටාන ආසනයේ පමණක් එජාප වේදිකාවල ගී නොගැයුවේ විජය කෙරෙහි වූ මිත්‍රත්වය නිසාය. ජෝතිගේ මරණය දක්වාද, මරණයෙන් පසුවද විජය මේ බව කෘතවේදීව මෙනෙහි කළේය. එහෙත් සිනමාවේ බොහෝ දෙනෙක් කටානේ එජාප වේදිකාවලට නැග්ගෝය. එවකට ජනප්‍රිය නළුවෙකුව සිටි ඔස්වල්ඩ් ජයසිංහයද ඉන් කෙනෙකි. ශ්‍රීලනිපයේ විජයට එරෙහිව එජාපයෙන් තරග කළ විජයපාල මෙන්ඩිස් අපේක්ෂකයාට සහාය පිණිස පැවති කටානේ එජාප රැලියකදී ඔස්වල්ඩ් මෙසේ කියා ඇත. “ගත වූ හත් අවුරුද්ද තුළදී බණ්ඩාරනායක මැතිනිය සේවය කළේ තම දූ දරුවන්ට හා නෑ පරම්පරාවට පමණයි. මේ කාලය තුළදී මේ රටේ රදළයින් අතලොස්සක් පමණක් නොයෙක් සුර සැප වින්දා. මේ රට මහත් ප්‍රපාතයක වැටී සිටින අවස්ථාවකදී සිනමා නළුවන් වන අපි රිදී තිරයේ බැබළෙනවා වගේම රට දැය සමය බේරා ගන්නත් ඉදිරිපත් විය යුතුයි.”
70 සමගි පෙරමුණු රජය සමයේ රටේ ඇති වූ උග්‍ර ආහාර හා භාණ්ඩ හිඟය ඉතා ප්‍රසිද්ධ කාරණාවකි. සබන් වැනි භාණ්ඩ වල පවා හිඟයක් තිබූ 1977 දී දෙනවක හාමිනේ ජ්‍යෙෂ්ඨ නිළිය සබන් කැටයක් වේදිකාවට ගෙනැවිත් පෙන්වා ‘සබන් ගාලා නාන්නට එජාපයට ඡන්දය දෙන’ ලෙස ඉල්ලා සිටීම කාටූන් ශිල්පීන්ට විනෝදබර මාතෘකාවක්ද වී තිබුණි. රට පුරා එජාප රැලි ඇමතූ ඔස්වල්ඩ් ජයසිංහ එජාප බලයට පත්ව කෙටි කලකින් ලන්ඩනයේ දී මිය ගියේ පිළිකා රෝගයකට ගොදුරු වීමෙනි.
මෙකී නළුනිළි ගායක ගායිකාවන්ට අමතරව තවත් කලාකරුවන් විශාල පිරිසක් ද එජාපයේ ජය පතා කතා කළෝය. ගී ගැයුවෝය. රවීන්ද්‍ර රන්දෙනියද ඉන් කෙනෙකි. පසු කලෙක මහර අසුන හරහා පාර්ලිමේන්තුවටද ආ රවි අද පවතින රජයේ සමීපතමයෙකි. එදා එජාපයේ සිටි මාලිනී ෆොන්සේකා අද ශ්‍රීලනිපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකි. 1977 දී ශ්‍රීලනිප හා සමගි පෙරමුණු වේදිකාවල දැකිය හැකි වූයේ විජය කුමාරතුංග, හියුගෝ ප්‍රනාන්දු, ඇන්තනි සී. පෙරේරා වැනි කීපදෙනෙකු පමණි.