භීෂණ සමයේ ඝාතන පිළිබඳව ‘සමාව ඉල්ලනවා’

අසූව දශකයේ අග භාගයේ ‘භීෂණ සමයේදී’ ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරන ලද ඝාතන ඇතුළු ‘සිදු නොවිය යුතුව තිබුණු ක්‍රියා’ පිළිබඳව සමාව ඉල්ලා සිටින බව පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසයි.

දැනට බ්‍රිතාන්‍යයේ සංචාරයක යෙදී සිටින ජනතා විමුක්ති පෙරමුණේ නව නායකයා ඒ බව කියා සිටියේ, බීබීසී සංදේශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.

“සන්නද්ධ ගැටුමේදී සිදු නොවිය යුත් දේ බොහෝ සිදුවුනා. අපි අදත් කම්පාවට පත්වෙනවා, කම්පනයට පත්වෙනවා සිදු නොවිය යුතු දේ අපි අතින් සිදුවී තිබෙනවා. ඒ පිළිබඳ බරපතල කනගාටුවක් වගේම කම්පනයක් අපි තුල හැමදාමත් තියෙනවා,” යනුවෙන් අනුර කුමාර මන්ත්‍රීවරයා කියා සිටියේ, ලන්ඩනයේ පිහිටි බීබීසී නව ගුවන් විදුලි මන්දිරයේදී සරෝජ් පතිරණ කළ විමසීමකදී.

“ඒවා අපේ කැමැත්ත නෙවෙයි, අරමුණ නෙවෙයි. නමුත් අපේක්ෂා නොකළ දේ සිදුවී තිබෙනවා. ඒ පිළිබඳව අපි ජනතාවට අපේ කනගාටුව වගේම කම්පනය අපි ඉදිරිපත් කරනවා.”

ජනතා අධිකරණයක් පිහිටුවා 88-89 වසරවල මරා දමන ලද ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ට යුක්තිය ඉටු කරන බවට ඔහු ප්‍රතිඥාවක්ද දුන්නේය.

යුද අපරාධ
එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී සිදුවූ බව පැවසෙන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන දේශීය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පවසන අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා, කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ පරිපාලනයෙන් එවැනි පරීක්ෂණයක් බලාපොරොත්තුවීම සිහිනයක් පමණක් බවද පැවසීය.

සිය පක්ෂය යුද්ධයට සහාය දීම අනුමත කරන ඔහු, කෙසේ නමුත් යුද්ධයට මැදිවුණු සාමාන්‍ය ජනතාවගේ ඉරණම සම්බන්ධයෙන් අවශ්‍ය තරම් අවධානයක් පළ නොකළ බවට චෝදනාවක් එල්ල වන්නේ නම් තමන් එය පිළිගන්නා බවද පැවසීය.

“අපි යුද්දේ වෙලාවේදී ඒ තිබුණු යුදමය රැස් වළල්ලට දේශපාලන ව්‍යාපාරයක් හැටියට අනුගත වෙලා තිබුන. අපිට තිබුන යුද්දේ වෙලාවේදී සාමාන්‍ය සිවිල් ජනතාව මුහුණ දෙන ගැටළු ගැන මීට වඩා අවධානය යොමු කරන්න,” යනුවෙන්ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“ඒ අවධානය යොමු කරන්න නොහැකි වීම අපි දේශපාලනික වශයෙන් අඩුවක් හැටියට දකිනවා.”

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරන ජවිපෙ නායකයා, කෙසේ නමුත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මගින් පමණක් ශ්‍රී ලංකාවේ සියලු ප්‍රශ්න නොවිසඳෙන බවද පැවසීය.

සෝමවංශ අමරසිංහ
එමෙන්ම රනිල් වික්‍රමසිංහ පරිපාලනය පෙරලා දැමූ අවස්ථාවේ සහ බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීම් වස් විධායක ජනාධිපති ක්‍රමයේ බලතල යොදා ගැනීමට සහාය දීම එකී අවස්ථාවල අත්‍යවශ්‍යයෙන්ම ගත යුතුව තිබුණු දේශපාලන ක්‍රියාමාර්ග බවයි, මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සමඟ සංවාදයේදී සංදේශය විසින් මතු කරන ලද ප්‍රශ්නයක් පිළිබඳව කරුණු පැහැදිලි කරන පක්ෂයේ හිටපු නායක සෝමවංශ අමරසිංහ, ජනතා විමුක්ති පෙරමුණ හෝ දේශප්‍රේමී විසින් හයදහසකට ආසන්න පිරිසක් ඝාතනය කරන ලද බවට තමන් කිසි දිනෙක ප්‍රකාශයක් කොට නැති බව සංදේශයට කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් කොපමණ පිරිසක් ඝාතනය වූයේද යන්න සම්බන්ධයෙන් තමා හෝ වෙනත් කිසිවකු විසින් නිල සංගණනයක් කොට නොමැති බව පෙන්වා දෙන සෝමවංශ අමරසිංහ, එවන් තත්වයක් යටතේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් ඝාතනය වූ පිරිස කොපමණද යන්න තමා හෙළිකරන්නේ කෙසේදැයි විමසා සිටියේය.

හයදහසකට ආසන්න පිරිසක් මරා දැමූ බවට එවක පැවති ආණ්ඩුව දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට චෝදනා කරන බව පමණක් තමන් විසින් පවසා තිබෙන බවද සෝමවංශ අමරසිංහ සංදේශයට පැවසීය.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...