ප්‍රවීණ රංගන ශිල්පියෙක් හා ව්‍යාපාරිකයෙක් වන කමල් අද්දරආරච්චි මහතා සමග අවංකවම සිදු කළ කතා බහ මියුලැසියට එක්කළ අයුරුයි මේ.
මේ දවස්වල මොකද කරන්නේ ?
මේ දවස්වල ‘රඟපෑම් ඉවරයි’ නාට්‍යයේ කටයුතු කරනවා. සුපුරුදු පරිදි ව්‍යාපාර කටයුතු කරගෙන යනවා.
ඔබ රඟපාන්නේ චරිත තෝරා බේරාගෙනද ?
චරිතවලට වඩා නිර්මාණය තමයි මට වැදගත් දේ. අපි සමාජයට දිය යුත්තේ වැදගත් දේවල්. බොළඳ කතා, මිථ්‍යා කතා, වැරදි චින්තනයන් අප සමාජයට දිය යුතු නෑ. චරිතයට වඩා වටින්නේ නිර්මාණයයි. සමහර වේලාවට චරිතය කරන්න ගිහින් අපේ චරිත නැතිවෙන අවස්ථා තියෙනවා.
ඔබ වේදිකා නළුවකු ලෙස ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය නැත්තේ ඇයි?
වේදිකාවේ ජනප්‍රිය වෙන්න ඕන කියලා නෑ. හොඳ නිර්මාණයක් ලැබුනොත් කරනවා. ගොඩක් අය ජනප්‍රිය වෙන්න කියලා තෝරාගන්නේ දේශපාලනය ගෑවුන නාට්‍යයක් නැත්නම් දෙපැති කැපෙන කතා තියෙන නාට්‍ය ආදිය. උසස් නිර්මාණ හරහා ජනප්‍රිය වෙන්න ආමාරු නිසා තමයි එහෙම තෝරා ගන්නේ.
ටෙලි නාට්‍ය රංගනය ගැන මොකද කියන්නේ ?
ඒක අද ඇන හිටලා තියෙන්නේ. හොඳ ටෙලි නාට්‍යයක රඟපාන්න වාසනාව තියෙන්නත් ඕන. මෙගා නාට්‍යවලට මම කැමති නෑ. ලැබෙන ඒවාත් තෝරා බේරාගෙන හදවතට එකඟව කරන්න ඕන.
ඔබ හාස්‍ය උපදවන චරිත රඟපාන්න කැමතිද ?
හාස්‍ය උපදවන චරිත කියලා එහෙම එකක් නෑ. සමහරවිට අපි කරන චරිතය හරහා අපටම හිනාවෙන්න පුළුවන්නම් තමයි හාස්‍ය උපදවන චරිතයක් වෙන්නේ. ඒ තුළින් පහත් වින්දනයක් ලබා නොදී සමාජ විග්‍රහයක් කළ හැකියි.
තිරයේ වීරයා වෙන්න බැරිවුණා නේද?
තිරයේ වීරයා නොවුණාට මිනිසුන්ගේ හදවත් තුළ මම වීරයෙක්. කොන්ද කෙළින් තියාගෙන ඉන්න පුළුවන් කෙනෙක්. තිරයේ ඉන්න කාඩ්බෝඩ් වීරයන්ට වඩා වීරයෙක් මම.
ඔබට කටකතා හැදෙන්න හේතුව ඔබේ වරදක්ද ?
ඒක මට කියන්න තේරෙන්නේ නෑ. පල ඇති රුකටයි කවුරුත් ගල් ගහන්නේ. එහෙමයි කියලා පල දරනා එක නතර වෙන්නේ නෑනේ. ගල් ගහන්නේ බොහොම ටික දෙනයි. කෙනෙකුගේ චරිතය ප්‍රබල වෙන තරමට ප්‍රහාර එල්ල වෙන්න පුළුවන්. බොරු චෝදනා එල්ල වෙන්න පුළුවන්.
ඔබට විරුද්ධව තවමත් නඩු තියෙනවාද ?
නැහැ.. නැහැ…
ඔබට නඩු වැටෙන්නේ කාන්තාවන් සම්බන්ධයෙන්. ඒ ඇයි ?
එක නඩුවයි මට තියෙන්නේ. නඩු ගොඩක් නෑ. ගොඩක් අය උත්සහ කළා මාව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගෙන ගිහින් මාව පෙළන්න. නමුත් මගේ නිර්දෝෂීභාවය ඔප්පු වුණා.
බිරිඳ ඔබ ගැන සැක කරනවාද?
මොනවාටද සැක කරන්නේ ? එහෙම සැකකරන්නේ නෑ.
මයුරි පෙරේරා
Rivira