කාංචනා දැන් දරුවන් දෙන්නෙකුගේ අම්මා කෙනෙක්

කාංචනා මෙන්ඩිස් අපේ පුංචි තිරය තුළ අතිශය කාර්යබහුලව, හිටි යුගයක් තිබුණා. ඒ කා‍ලේ ඇය “රිද්ම” සමගත් සුහදශීලීව නිරන්තරයෙන් සිටියා. ඒත් විවාහ වෙලා දරු මල්ලන් ලබලා ටිකෙන් ටික ක්‍ෂේත්‍රයෙන් දුරස්ව ගිය කාංචනා මාධ්‍යය සමග තිබූ සම්බන්ධතා අඩුවී ගියා. අපිටත් කාලෙකින් ඇගේ Kanchanaතොරතුරු විමසන්න බැරි වුණා. මේ දවස්වල ඉරිදා රෑ 8.30ට ස්වර්ණවාහිණිය ඔස්සේ විකාශය වන “ගිරිකුල” ටෙලිනාට්‍යය තුළින් ආයෙමත් කාංචනා පුංචි තිරයෙන් අපේ ආලින්දයට ගොඩ වදිනවා. කාලෙකට පසුව අපිත් ඇයව “රිද්ම” පිළිසඳරකට ඇරයුම් කළේ තවමත් අපේ “රිද්ම” පාඨක හිතවතුන් ‘කාංචනා මෙන්ඩිස්ට බොහොම ආදරය කරන බව අප දන්නා හින්දා.

කාංචනා පුංචි තිරයෙන් හමුවන්නේත් කාලෙකට පස්සේ. “රිද්ම” කතාබහකට එකතු වන්නෙත් කාලෙකට පස්සෙ.

මම දැන් දරුවො දෙන්නෙකුගෙ අම්මා කෙනෙක්. ඒ අයගෙ රාජකාරියි ගේ දොර කටයුතුයි වෙනුවෙන් ඇය කැප වෙලා කටයුතු කරන්න තමයි වැඩි කාලයක් යොදවන්නේ. ඒත් ඉඳහිට හොඳ නිර්මාණයකට දායක වෙනවා. ඒ වගේම පත්තරෙන් මගෙ රසික පිරිසට කතා කරන්නත් අමතක කරන්න නැහැ.

‘ගිරිකුලට’ පසුව වෙනත් නිර්මාණවලට එකතුවෙලා නැද්ද?

ඓතිහාසික චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. තවම ඒ ගැන ස්ථිරව කියන්න බැහැ. ඉදිරියේදි හරියටම කියන්නම්.

රඟපෑමට සැමියාගේ විරෝධතා නැද්ද?

රොෂාන් කවදාවත් මට ඒ විදියේ විරෝධතා එල්ල කරල නැහැ. මමම තමයි විවාහයෙන් පසුව රඟපෑම් සීමා කළේ ගෘහ ජීවිතයට මුල් තැන දෙන්න ඕන හින්දයි එහෙම කළේ.

ගෘහ ජීවිතයේ තොරතුරු ටිකක් කියන්න.

පුතා ශෙනික රණවකට දැන් අවුරුදු හතරයි. එයා දැන් පෙර පාසල් යනවා. දුව කෙයිෂා වයිලිට දැන් මාස 6යි. සැමියා(රොෂාන්) ඉන්නෙ පිටරටක එයා ඉඳහිට තමයි එන්නේ.

පුංචි දරුවො දෙන්නෙකුගෙ කටයුතු තනියම කරගන්න එක අසීරු නැද්ද?

අම්මා මට ගොඩක් උදව් කරනවා. පුතා ඉපදුනු අලුත නම් තනියම වැඩ කටයුතු කරගන්න අසීරු වුණා. අම්මා ගොඩක් උදව් කළා. දැන් නම් අත්දැකීම් තියෙනවනේ. දුවගේ කටයුතු තනියම කරගන්න පුළුවනි.

රොෂාන් දිගටම විදෙස් ගතවී ඉඳීද?

එයා දැන් අවුරුදු 15ක්ම ඉන්නේ එංගලන්තයේ. රොෂාන් ඒ රටේ ව්‍යාපාර කළමනාකරණය ගැන හැදෑරුවා. අධ්‍යාපනය අනුව රැකියාව කරන්න වෙන්නේ ඒ රටේ. ඒත් ඉඳහිට ලංකාවට ඇවිත් යනවා.

පුතාට දැන් තේරෙන වයස? කාංචනා රූපවාහිනියෙ දකිද්දී එයා මොකද කියන්නෙ?

අම්මා ටී.වී.එකේ ඉන්නවා කියලා කියනවා. ඊට වඩා වැඩි තේරුමක් එයාට නැහැ.

නංගියෙක් පවුලට එකතුවීම ගැන එයා මොකද කියන්නෙ?

එයාට තිබුණු ආදරේ, එයාට තිබුණු අවධානය නංගිට යොමුවීම ගැන පුංචි ඊර්ෂ්‍යාවක් හිතේ තිබුණා. ඒත් දැන් ඒක නැහැ. පුතා ආසයි නංගි ළඟටම වෙලා ඉන්න. එයා නංගිට ආදරෙයි.

දැන් කලා ලෝකෙ උත්සව අවස්ථාවලට සහභාගි වන්නෙ නැද්ද?

බොහෝ කලාකරුවන්ගේ දරුවො පුංචිම කාලෙදි කලාවට එකතුවෙනවා. පුතා තවම මොන්ටිසෝරි වයසෙනෙ. ඉතින් දැම්මම නම් එයාව කලාවට යොමු කරන්න අදහසක් නෑ. පුතාට ඒ ගැන උනන්දුවක් තියනවා නම්, දක්ෂතා තියනවා නම් කලාවට කැමති නම් එයා ඊට යොමුවේවි.

දැන් ඉස්සර වගේ කලා ලොවේ උත්සව ආදියේදී දකින්නට ලැබෙනවා අඩුයි.

ඒකටත් හේතුව ගේ දොර කටයුතු. ඒත් මම කලා ලොවේ උත්සවවලට ආරාධනා ලැබුණොත් ඒවාට නොයා ඉන්න අවස්ථා අඩුයි.

කලා ලොවේ යාළු මිත්‍රයෝ ඇසුරු කරන්නත් ලැබෙන අවස්ථා අඩු ඇති.

එදා ඉඳන් හිතවත්ම වෙලා හිටපු අය තවමත් කතා කරනවා.

කවුද ඒ අය?

දමිතක්කා, නිල්මිණි අක්කා, රොෂාන්, චන්න, වගෙ අය කතා කරනවා.

අද ටෙලිනාට්‍ය ගැන හා අද පරපුර ගැන මොකද හිතන්නෙ?

අද ටෙලිනාට්‍ය විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් සමහර දීර්ඝ නාට්‍යවල පිටපතක් වත් නැතුවයි කරන්නෙ. ඒ වගේම එතරම් ප්‍රමිතියක් නැති ගුණාත්මක බවක් නැති ටෙලි නාට්‍යයත් තියෙනවා. ඒ අතර ඉතා විශිෂ්ට නිර්මාණ බිහිවෙනවා. අද පරපුරෙ දක්ෂතා ඇති ගොඩක් ඉන්නවා.

ආරියවංශ කුලතිලක
lakbima

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...