මගේ පෙම්වතා කෞෂාල්

භාග්‍යා හෙට්ටිආරච්චි පෙම්වතියක් වෙලා.. පෙම්වතාත් අපි දන්න කෙනෙක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බලාපොරොත්තු සහගත තරුවක්. ඒ කවුද කියලා භාග්‍යාගෙන්ම අහමුකෝ…

කොහොමද භාග්‍යා…?
හුඟාක් හොඳින්, හුඟාක් සතුටින් ඉන්නවා. ආශා එදිරිසිංහගේ අලුත් ප්‍රඩක්ෂන් එක ‘රනා’ට සම්බන්ධ වුණා. මම ඒ නාට්‍යයේ සිරියාවතී මැණිකේ. ආශා අක්කියි, ජගත් අයියයි, මමයි මේන් රෝල් කරන්නේ. කාලෙකින් හම්බ වුණ ලොකු වෙනසක් කරන්න පුළුවන් චරිතයක්.

ඒ කියන්නේ හැමදාම රංගනයේ ලොකු වෙනසක් කරන්න පුළුවන් චරිත ලැබෙන්නෙ නැද්ද…?
හැමදාම එහෙම චරිත ලැබෙන්නෙ නෑනේ… ලැබෙන චරිතෙ වෙනසක් කරන්න අපි උත්සාහ කරනවා මිසක් පිටපතෙන්ම වෙනසක් ඇති චරිත අපිට හම්බවෙන්නේ කලාතුරකින්.

භාග්‍යා නිළියක් වීම ගැන සතුටින්ද ඉන්නේ…?
අපෝ ඔව්… නිළියක් වෙලා මට වැරැදුණේ නෑනේ.

ඒත් නිළියක් වුණ නිසා භාග්‍යාගේ ගායන හීනෙට අසාධාරණයක් වුණා…?
ඇත්ත. පොඩි අසාධාරණයක් නම් වුණා තමයි.

ඒ නිසාද ඒ හීනෙට සාධාරණයක් කරගන්න පසුගිය දවස්වල පොඩි උත්සාහයක් ගත්තේ…?
මට ඕනෑ වුණේ මගේ හැකියාවෙන් දෙයක් කරන්න මිසක් සින්දු කියලා හම්බකරගන්න නම් නෙවෙයි. මටත් ලංකාවේ වගේම විදෙස් රටවල සංගීත ප්‍රසංගවලටත් ආරාධනා ලැබෙනවා. ඒත් මම ඒවා භාරගන්නෙ නෑ.

ඇයි ඒ…? හැකියාවක් තියෙනවා නම් ප්‍රයෝජනයක් ගත්තට වරදක් නෑනේ…?
ඒත් අපි වෘත්තීය නිළියො… හැකියාව තියෙනවා කියලා ‍ෙදාඩම් ගොඩ බදාගත්තා වගේ හැමදේම බදාගත්තොත් එකක්වත් හරියට කරන්න බෑ… ගයන්න විතරක් නෙවෙයි නිවේදන කටයුතුවලට, පහුගිය දවස්වල තිබුණ නර්තන තරගවලටත් මට ආරාධනා ලැබුණා. මම ඒවට සහභාගි නොවුණේ බැරිකමකට නෙවෙයි, පෞද්ගලිකව ඒවාට කැමැති නැති නිසා.

රංගනයෙන් විතරක් ජීවත් වෙන්න පුළුවන්ද…?
බෑ… ඒ නිසානෙ එක එක්කෙනා එක එක දේවල් කරන්න පටන් ගන්නේ… සමහරු ගැලපෙන දේවල් කරනවා. තවත් සමහරු නොගැලපෙන දේවල් කරනවා…

ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක් නම්, කරන්නෙත් රඟපෑම විතරක් නම් ජීවත් වීමේ ප්‍රශ්නේ ඔබටත් ඇතිනේ…?
නෑ… දෙවියනේ කියලා මට එහෙම ප්‍රශ්න නෑ… ආසාවට රඟපානවා මිසක් සල්ලි හොයන්න මම රඟපාන්නෙ නෑ…
ඔය තරමටම සල්ලි ප්‍රශ්නයක් නැති වෙන්න නම් භාග්‍යා සල්ලිකාරයෙක්ගෙ දුවෙක් වෙන්න ඕනෑ… නැත්නම් සල්ලිකාරයෙක්ගෙ පෙම්වතියක් වෙන්න ඕනෑ…
පුංචි කාලෙ ඉඳන්ම මට ආර්ථික ප්‍රශ්න නම් තිබුණෙ නෑ… අම්මයි තාත්තයි මට කිසිදේකින් අඩුවක් කළේ නෑ… කවදාහරි මම විවාහ වෙන්නත් ඕනෑ මාව පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් එක්කනේ… ඒ කියන්නේ එයා සල්ලිකාරයෙක් කියන එකනම් නෙවෙයි.

දැන් එහෙම කෙනෙක් හොයාගෙනනේ ඉන්නේ…?
ම්… ඔව්… මට පෙම්වතෙක් ඉන්නවා…

නළුවෙක් නෙවෙයිනේ…?
නෑ… නෑ… ක්‍ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙවෙයි.

එහෙනම්…?
එයා ක්‍රිකට් ක්‍රීඩකයෙක්…

කවුද අකලංකද කපුවා…?
ඔව්නේ… අකලංක අයියා මගේ හොඳ යාළුවෙක්… ඇත්තටම එයාව මට හම්බවුණෙත් අකලංක අයියා නිසාම තමයි.

දැන්වත් නම ගම කියමුද…?
එයා කෞෂාල් සිල්වා.

ඒ කියන්නේ භාග්‍යා ක්‍රිකට් පිස්සියක්…?
ඉස්සර නම් එහෙම නෑ… ඒත් දැන් නම් එහෙමයි.

කෞෂාල් විතරක් නෙවෙයි නිළියක් විදියට ඔයාත් කාර්යබහුලයි. ඔය කාර්යබහුලකම ආදරයට කවදාවත් බාධාවක් වෙලා නැද්ද…?
නෑ… කොයිතරම් කාර්යබහුල වුණත් ආදරය කරන්න ඕනෑ තරම් වෙලාව අපිට තියෙනවා… ලංකාවෙද ඉන්නේ ලංකාවෙන් පිටද ඉන්නේ, ප්‍රැක්ටිස්ද? ෂූටින්ද කියන එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි.

කෞෂාල්ගෙයි භාග්‍යාගෙයි ආදරයට දැන් කොයිතරම් වයසද…?
අවුරුදු තුනක් විතර ඇති.

කොහොමද අවුරුදු තුනක් මාධ්‍යයට හැංගි හොරා ආදරය කළේ…?
ඇත්තටම අමාරු වැඩක්. ඒත් හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළිපිටනේ…

දැන් නටන්නද සූදානම…?
ඔය අහන්නේ විවාහය ගැනද?

ඔව්…?
නෑ… නෑ… තාම විවාහ වෙන කාලෙ ගැන තීරණයක් අරන් නෑ.

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බිරිය වුණ සමහර නිළියන්ට රංගනයෙන් සමුගන්න වුණා… ඔයාටත් එහෙම වෙයිද…?
මං හිතන්නෙ නෑ මට එහෙම තහංචි වැටෙයි කියලා…

බැරි වෙලාවත් කෞෂාල් ඒ වගේ ඉල්ලීමක් කළොත්…?
දෙපාරක් හිතන්නෙ නෑ මම ඒ ඉල්ලීම ඉටු කරනවා.

හිමේෂා සවන්තී රාජපක්‍ෂ
ඡායා – අසන්ත ගමආරච්චි

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...