කොටකෙතන කත මැරූ හැටි හෙළිවෙයි

කොටකෙතනේදී ඝාතනයට ලක්වූ චන්ද්‍රානි ස්වර්ණලතා නමැති 38 හැවිරිදි කාන්තාවගේ හිසට බර ආයුධයකින් කළ පහරදීම හේතුවෙන් හිස්කබලට බරපතළ හානි සිදුවීමෙන් මරණය සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ රත්නපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය ටිකිරි බණ්ඩාර මහතා නිගමනය කළේය. පශ්චාත් මරණ පරීක්‍ෂණය රත්නපුර මහ රෝහලේදී ඊයේ (7දා) සිදුකෙරිණි.

නිවෙසින් අතුරුදන් වී සිට පෙරේදා සවස කොටකෙතන ඇළේ ගසක් මුල සිරවී තිබියදී සොයාගත් චන්ද්‍රානි ස්වර්ණලතා නමැති කාන්තාවගේ මළ සිරුරේ හිසේ පිටුපස කන් දෙක අතර ගැඹුරු කැපුම් තුවාලයක්, හිස් මුදුනේ නළලට ඉහළින් කැපුම් තුවාල දෙකක්, බෙල්ල ඉදිරිපස ගැඹුරු කැපුම් තුවාලයක් සහ දකුණු අතේ මහපට ඇඟිල්ලේ කැපුම් තුවාලයක් තිබූ බව මරණ පරීක්‍ෂණයේදී හෙළිවී තිබේ.
මළ සිරුරේ දකුණු අතේ මහපට ඇඟිල්ලේ කැපුම් තුවාලය ඇයගේ නිවෙසේ දරුවකුගේ ලේන්සුවකින් ගැටගසා තිබීම තරමක ප්‍රශ්නයක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.

මියගිය තැනැන්තිය දූෂණයට ලක්ව ඇත්දැයි බැලීම සඳහා ශරීරයේ කොටස් කිහිපයක් වැඩිදුර පරීක්‍ෂණ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමුකර ඇත. එම අබිරහස් මරණය පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීම සඳහා ඊයේ එහි ගිය රජයේ රසපරීක්‍ෂකවරයා එම නිවෙසේ මුළුතැන්ගෙයි තිබී හමුවූ කෙස් රොදවල් පිළිබඳව සහ සිද්ධිය වූ දින රාත්‍රි නිවෙසේ පිස තිබූ ආහාරපාන පිළිබඳව මෙන්ම නිවෙසේ විසිරී තිබූ ලේ පැල්ලම් රටාව ගැනද පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ. සිද්ධිය වූ දිනයේ නිවෙසේ සිටි 12 හැවිරිදි දරුවා පවසා ඇත්තේ සිද්ධිය වන අවස්ථාවේ තද නින්දට වැටී සිටි බවයි. ඒ පිළිබඳවද රජයේ රස පරීක්‍ෂකවරයාගේ අවධානය යොමුවී තිබේ.

මේ කාන්තාව ඝාතනය කළ සාහසිකයා හෝ සාහසිකයන් නිවෙසේ සිටි අය නිදිගැන්වීමට ආහාරපානවලට කිසියම් ද්‍රව්‍යයක් දමා ඇද්ද යන්න ගැනද පොලිසියට සැක මතුවී තිබේ. ඒ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම සඳහා පොලිස්පතිවරයාගේ නියමයෙන් කොළඹ දෙමටගොඩ පිහිටි අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ උදේ කොටකෙතන ප්‍රදේශයට ගොස් කහවත්ත පොලිසිය විසින් දින කීපයකට පෙර ප්‍රශ්න කළ පුද්ගලයන්ගෙන් යළි ප්‍රශ්න කිරීම ආරම්භ කරන ලදී.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...