හාල්මැස්සොයි ‍පොල් සම්බෝලයි එක්ක බත් කන එක තමයි ප්‍රියතම ආහාරය- ලහිරු තිරිමාන්න

ළඟදි විවාහ වෙන්න එහෙම අදහසක් නැද්ද?……..ඇත්තටම ක්‍රිකට්වලින් ඉදිරියට යන්න වුණත් හොඳ සහකාරියක් ලැබිම ලොකු පිටිවහලක් නේද?
ඔව් ඒක සීයට සීයක් ඇත්ත. ක්‍රිකට් ක්‍රීඩකයින් හැටියට අපි ගත කරන ජීවිතේ ටිකක් වෙනස්. ඉතින් ඒක අවබෝධ කරගන්න පුළුවන් සහකාරියක් ඉන්නම ඕනෙ. නැත්නං හැම දෙයක්මඅවුල් වෙන්න පුළුවන්.

දැනටමත් ආදරවන්තියක් ඉන්නව මයෙ හිතේ?
ඔව්……අවුරුදු හයක් විතර වෙනව අපේ සම්බන්ධයට. ඇය ඉතාම හොඳින් මගේ කටයුතුවලට සහයෝගය දෙන කෙනෙක්.

මොකක්ද නම?
රුක්ෂානි හරිස්චන්ද්‍ර. ඇත්තටම ඇයයි මගේ අම්මයි තමයි නිතරම මගේ ක්‍රිකට් ජීවිතයට ලොකුම සහයෝගයක් ලබා දෙන්නෙ.

ළඟදි විවාහ වෙන්න එහෙම අදහසක් තියෙනවද?
තවම එහෙම නං තීරණයක් අරගෙන නැහැ.

ක්‍රීඩා ලෝලීන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැන කොහොමද ඔබට දැනෙන්නෙ?

ආසියානු කුසලානය දිනල ලංකාවට ආපු වෙලාවෙ තමයි මට ඒ ගැන හොඳටම හිතට දැනුණෙ. ඔවුන් පාර දෙපැත්තෙ රැස් වෙලා අපිව පිළිගත්තු හැටි දැක්කම හිතට පුදුම විදියෙ සතුටක්, තෘප්තියක් දැනුණ. අපේ ජයග්‍රහණය ඔවුන්ට මොන තරම් වටිනවද කියන එක ඒ වෙලාවෙ අපිට තේරුණා. ඔවුන් අපි ගැන මොන තරම් බලා‍පොරොත්තු තියාගෙන ඉන්නවද කියල අපිට දැනෙනව. කොහොම වුණත් අපි ජනප්‍රිය වෙන්න වෙන්න පුළුවන් තරම් නිහතමානි වෙලා, ප්‍රේක්ෂකයින්ට සමීප වෙලා ඔවුන්ගේ ආදරය ගෞරවය රැකගෙන ඉදිරියට යන්න තමයි නිතරම උත්සාහ කරන්නෙ.

පහුගිය කාලෙ එක දිගටම වගේ අපි දැකපු දෙයක් තමයි අපේ කණ්ඩායම තරගාවලිවල අවසන් තරගය වෙනකං ඇවිල්ල ඒ අවසාන කඩුල්ල පැනගන්න බැරුව පරාජයට පත් වුණා. ඒ අවස්ථාවල කණ්ඩායම ක්‍රීඩාගාරයේදී මොන වගේ තත්ත්වයකටද පත් වුණේ? මොනවද කතා කළේ?

මට මතකයි ගිය අවුරුද්දෙ විස්සයි විස්ස අවසන් තරගය…..වෙස්ට් ඉන්ඩීස් එක්ක. ඔවුන් ලකුණු 137 ක් විතරයි ගත්තෙ. ඇත්තටම අපිට ඒක ‍ලේසියෙන් ගන්න තිබිච්ච ලකුණු සංඛ්‍යාවක්. නමුත් අපිට ඒ තරගය ජයග්‍රහණය කරන්න බැරි වුණා. එදා මට මතකයි තරගයෙන් පස්සෙ අපි හැමෝම හුඟක් දුක් වුණා. මානසිකව ලොකු කඩා වැටීමක් ඇති වුණා.
මේ පාර ආසියානු කුසලාන අවසන් තරගයට අපි ආපු වෙලාවෙත් අපිට ලොකු අභියෝගයක් තිබුණ, මේ කඩුල්ල පැන ගන්න. පාකිස්තානය ලකුණු 260 ක් ගත්තට පස්සෙ අපි ඩේ‍රසින් රූම් එකේදි හුඟක් සාකච්ඡා කළා. කොහොම හරි මැච් එක දිනන්න ඕන කියන එක අපි හැමෝගෙම අධිෂ්ඨානය වුණා. කවුරුහරි පිතිකරුවෙක් ලොකු ඉනිමක් ක්‍රීඩා කරන්න ඕන කියන අදහස අපි තුළ තිබුණ. ඉතින් ඒ කටයුත්තට මට දායක වෙන්න ලැබුණු එක ගැන ඇත්තටම හුඟක් සතුටුයි. විශේෂයෙන් මමයි මහේලයි බැට් කරන කොට අපි දෙන්න නිතරම එකිනෙකා සමග කතා කළා. අපි දෙන්න අපි දෙන්නටම කියා ගත්ත කොහොමටවත් විකට් එක නං දෙන්න එපා, විකට් එක නං දෙන්න එපා කියල. ඔහුත් නිතරම මගේ ළඟට ඇවිත් එහෙම කිව්ව. මමත් ඔහුට කිව්ව. මහේල මට වඩා හුඟක් අත්දැකීම් ඇති ක්‍රීඩකයෙක්. ඉතින් ඔහු දන්නව ඒ ඒ අවස්ථාවලට මුහුණ දෙන්න ඕන කොහොමද කියල. ඔහුගේ අත්දැකීම් හා උපදෙස් මට ඒ අවස්ථාවෙ හුඟක් ප්‍රයෝජනවත් වුණා.

කුසල් (ජනිත්) එදා ටිකක් කලබල වුණා කියල මට හිතුණ. ඔබ ඔහුට ඒ ගැන මුකුත් කිව්වෙ නැද්ද?

ඇත්තටම කුසල් කියන්නෙ මාර ටැලන්ට් එකක් තියෙන ක්‍රීඩකයෙක්. ඔහුට මම මුකුත් කියන්න අවශ්‍යයි කියල මම හිතන්නෙ නැහැ. එදා වුණත් ඔහු ගත්තු ලකුණු ටික මට වගේම ටීම් එකටත් ලොකු හයියක් වුණා. ඔහු ඕනෑම වෙලාවක වේගයෙන් ලකුණු රැස් කරන්න පුළුවන් කෙනෙක්.

වඩා අමාරු ටෙස්ට් ක්‍රිකට්ද, නැත්නම් එක් දින හෝ විස්සයි විස්ස තරගද කියන එක සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් තුළ තිබෙන ප්‍රශ්නයක්. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

හුඟ දෙනෙක් හිතන්නෙ එක්දින තරග හෝ විස්සයි විස්ස තරග වඩා අමාරුයි කියලයි. නමුත් මම නම් හිතන්නෙ ඊට වඩා ටිකක් වෙනස් විදියට. මං අර කලින් කිව්ව වගේ ටෙස්ට් තරගවලට යොදා ගන්නා රතු පන්දුව පවා ටෙස්ට් තරගවලදී පන්දු යවන්නන්ට ලොකු වාසියක් ලබා දෙනව. වැඩි ඕවර ගණනක් ඒ පන්දුවෙන් දෝලනය කරන්න පුළුවන්. ඒ වගේම පන්දු ඕවර හතළිහක් පනහක් යැව්වට පස්සෙ රිවර්ස් ස්වින්ග් වගේ පන්දු යවන්න පුළුවන්. ඉතින් පන්දු යවන්නන්ට හුඟක් අත්හදා බැලීම් කරන්න පුළුවන් ටෙස්ට් තරගවලදී. ඒ නිසා පිතිකරුවන්ට වුණත් තමන්ගෙ දක්ෂතා හරියටම පෙන්නන්න පුළුවන් මාදිලිය තමයි ටෙස්ට් තරග.

බොහෝ දෙනෙක් ඔබව හඳුන්වන්නෙ වේග පන්දු යවන්නන්ට සාර්ථකවම පහර දෙන පිතිකරුවන්ගෙන් කෙනෙකු හැටියටයි.
ආරම්භක පිතිකරුවෙක් හැටියට ක්‍රීඩා කරන කොට වැඩිපුර වේග පන්දු යවන්නන්ට මුහුණ දෙන්න වෙන නිසා වෙන්න ඇති එහෙම තත්ත්වයක් පේනව ඇත්තෙ. නමුත් මම මැද පෙළ පිතිකරුවකු හැටියටත් හුඟක් ක්‍රීඩා කරල තියෙනව. ඒ අවස්ථාවෙදි දඟ පන්දු යවන්නන්ටත් මම මුහුණ දීල තියෙනව.

ඔබට වඩා පහසු වේග පන්දු යවන්නන්ට මුහුණ දෙන එකද, දඟ පන්දු යවන්නන්ට මුහුණ දෙන එකද?

ඒක එහෙම හරියටම කියන්න අමාරුයි. උදාහරණයක් කිව්වොත් අපි ඉන්දියාව, ලංකාව, බංග්ලාදේශය වගේ, මේ උප මහද්වීපයේ තණතිලිවල ක්‍රීඩා කරනකොට වේග පන්දු යවන්නන්ට පන්දුවෙන් එච්චර දෙයක් කරන්න අමාරුයි. එතකොට පිතිකරුවන්ට ‍ලේසියි ඔවුන්ට පහර එල්ල කරන්න. නමුත් අනෙක් අතට දඟ පන්දු යවන්නන්ට මුහුණ දෙන්න අමාරුයි. ඒත් ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව වගේ රටවල තණතිලිවලදී වේගපන්දු යවන්නන්ට පන්දුවෙන් හුඟක් වැඩ පෙන්නන්න පුළුවන්. ඉතින් ඒ රටවලදී වේග පන්දු යවන්නන්ට මුහුණ දෙන්න අමාරුයි. දඟ පන්දු යවන්නන්ට මුහුණ දෙන්න ‍ලේසියි.

අද ඉන්න වේග පන්දු යවන්නන්ගෙන් ඔබ හිතන්නෙ කවුද වඩාත් අභියෝගාත්මකම පන්දු යවන්නා?

කිහිප දෙනෙක්ම ඉන්නව. එංගලන්තෙ ජේම්ස් ඇන්ඩර්සන් මේ වන විට ඉතාම හොඳින් පන්දු යවමින් ඉන්නව. අපිටත් ළඟදි එංගලන්ත සංචාරයක් තියෙනව. ඉතින් ඔහුගේ අභියෝගයට මුහුණ දෙන්න අපිටත් ළඟදිම සිද්ධ වෙයි. ඒ වගේම ඕස්ට්‍රේලියාවෙ මිචෙල් ජොන්සන්, දකුණු අප්‍රිකාවෙ ඩේල් ස්ටේන්. ඒගොල්ලො තමයි දැනට ඉන්න වඩාත්ම අසීරු වේග පන්දු යවන්නන් කිහිප දෙනා. මේ හැමෝටම වගේ මම මුහුණ දීල තියෙනව. නමුත් ඇත්තටම ඔවුන්ගෙ පන්දු යැවීමේ ලොකු වෙනසක් අපිට තේරෙනව, අනික් කට්ටියට වඩා.

ඔබ ගැන තියෙන තව හැඳින්වීමක් තමයි ඔබ වැඩිය කතාබහක් නැති, නිහඬ චරිතයක් කියන එක.
ඔව්, මම හුඟක් නිහඬව ඉන්න කැමති කෙනෙක් තමයි. හැබැයි ඉතින් කට පියාගෙන ඉඳීමෙන් මට අවාසියක් වෙයි කියල හිතෙන අවස්ථාවල මම නිහඬවම ඉන්නෙත් නැහැ. නමුත් සාමාන්‍යයෙන් ගත්තම මම මගේ පාඩුවෙ මගේ වැඩක් කරගෙන, අනික් දේවල්වලට පැටලෙන්න යන්නෙ නැතුව ඉන්න තමයි කැමති. ක්‍රිකට් වලදි විතරක් ‍නෙවෙයි සාමාන්‍ය ජීවිතේදිත් එහෙමයි. අනික ක්‍රිකට් නොගහන වෙලාවට මම ක්‍රිකට් ගැන හිතන්නෙම නැහැ.

ඒ වෙලාවට මොකද කරන්නෙ?
මම හුඟක් චිත්‍රපටි බලන්න කැමතියි. රූපවාහිනියෙත් රෙස්ට්ලින් වගේ වැඩසටහන් බලන්න කැමතියි.

මොන වගේ චිත්‍රපටිද වැඩිපුර බලන්නෙ?
හොලිවුඩ් ෆිල්ම්ස් බලන්න කැමතියි. හින්දි චිත්‍රපටිත් සමහර වෙලාවට බලනව. ඇක්ෂන් ෆිල්ම්ස් බලන්න තමයි වැඩිපුර කැමති.

කැමතිම නළුවා කවුද?
එහෙම ලොකු විශේෂයක් නැහැ. මම නළු නිළියන්ට වඩා චිත්‍රපටියෙ කතාව ගැනයි වැඩිපුර හිතන්නෙ. හැබැයි ටොම් කෲස්ට ටිකක් කැමතියි. ඔහුගෙ චිත්‍රපටි හැම එකක්ම වගේ මම බලනව.

ඔබට මේකෙන් මානසිකව යමක් ලැබෙනවද?

ඔව් ඇත්ත වශයෙන්ම..මොකද ක්‍රිකට් ක්‍රීඩා කරද්දි අපි ලොකු පීඩනයකින් තමයි ක්‍රීඩාවෙ නිරත වෙන්නෙ. මැච් එකක් තියෙන කොට ඇත්තටම කලින් දවසෙ ඉඳලම හිතට පීඩනයක්, බරක් දැනෙනව. නිතරම මැච් එක ගැන තමයි ඔළුවෙ වැඩ කරන්නෙ. රෑට වුණත් එහෙමයි. ඉතින් ඇත්තටම මැච් එකක් ඉවර වුණාට පස්සෙ ඒ හැම දෙයක්ම හිතෙන් අයින් කරන්න අවශ්‍යයි. හැම තිස්සෙම ක්‍රිකට් ගැනම ඔළුවෙ තියාගෙන ඉඳල බැහැනෙ. ඉතින් ඒ වගේ වෙලාවට මේ විදියෙ විනෝදාංශ අපිට හුඟක් උදව්වක් වෙනව මනස සැහැල්ලු කරගන්න. මැච් එකක් ගහල ඉවර වුණ ගමන්ම මම හුඟක් කැමතියි ගෙදර යන්න. ඇත්තටම මනස නිදහස් කරගන්න හොඳම තැන තමයි ගෙදර.

මැච් එකක් ගහල ගියාම අම්ම එහෙම මොනවද හදල දෙන්නෙ?
කෑම බිම නම් මගේ එහෙම කිසි විශේෂයක් නැහැ. අම්ම හදන ඕන දෙයක් කනව. හැබැයි හාල්මැස්සොයි, ‍පොල් සම්බෝලයි එක්ක බත් කන්න ටිකක් වැඩිපුර කැමතියි. (සිනා)

සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අතට අහුවෙන ඕන දෙයක් කන්න අවසරයක් නැහැ නේද?

ඔව් සාමාන්‍යයෙන් ඕනම ක්‍රීඩකයෙකුට තමන් කැමති හැම දෙයක්ම කන්න බැහැ. ශාරීරික යෝග්‍යතාව ගැන හිතල තමයි කෑම බිම තීරණය කරන්නෙ. උදාහරණයක් කිව්වොත් තෙල් කෑම වගේ දේවල්වලින් පරිස්සම් වෙන්න ඕන. ඉතින් ඒ වගේ දේවල් අඩු කරල බොහොම සමබර විදියේ ආහාර වේලක් තමයි නිතරම ගන්න වෙන්නෙ.

ඔබ පන්දු යැවීමෙත් නිරත වුණු ක්‍රීඩකයෙක්. නමුත් මෑතක ඔබ පන්දු යවනව දකින්න ලැබුණෙ නැහැ?

ඔව්. කකුලෙ ආබාධයෙන් පස්සෙ පන්දු යැවීම ටිකක් නතර කරන්න සිද්ධ වුණා. මාස දෙක තුනකට විතර. නමුත් මැයි මාසයෙ එංගලන්ත සංචාරයේදි නැවතත් ඒ පැත්තට යොමු වෙන්න තමයි අදහස් කරගෙන ඉන්නෙ. මම වේග පන්දු යවන කෙනෙක් නිසා එංගලන්තයේ තණතිලිවල එයින් යම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියල හිතනව.

මුල් කාලයේ ඔබේ පන්දු රැකීම ඒ තරම් හොඳ මට්ටමක තිබුණෙ නැහැ. නමුත් දැන් යම් කිසි ප්‍රගතියක් තියෙන බව පේනවා?

පන්දු රැකීම කියන්නෙ අද කාලෙ ක්‍රිකට්වල ඉතාම වැදගත් සහ තීරණාත්මක අංශයක්. පන්දු රකින්න බැරි නම් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට මේ කාලෙ ක්‍රීඩාවෙ රැඳී ඉන්න හුඟක් අමාරුයි. ඒ නිසා මමත් ඒ අංශය දියුණු කරගන්න හුඟක් මහන්සි වෙනව. රුවන් කල්පගේ මහත්මය තමයි අපේ පන්දු රැකීමේ පුහුණුකරු හැටියට කටයුතු කරන්නෙ. ඉතින් මම හැමදාම පුහුණුවීම්වලදී අනික් අයට වඩා වැඩිපුර පන්දු රැකීම ගැන පුහුණුවීම් කරනව. දවසකට උඩ පන්දු දහයක් පහළොවක්වත් වැඩිපුර අල්ලල පුහුණු වෙන්න නිතරම මම උත්සාහ ගන්නව.

මම දැකල තියෙනව ඔබ පන්දුවට පහරදීම පුහුණු වෙද්දි නෙට්ස්වල පැය තුන හතර එක දිගට පුහුණු වෙනව. ඒ තරම් වෙලාවක් පුහුණුවීම් කරන එක කොයි විදියටද ඔබට උදව් වෙන්නෙ?

ඒක ඉතාම අවශ්‍ය දෙයක්. දැන් බැලුවොත් කුමාර් සංගක්කාර මෙච්චර දියුණු ක්‍රීඩකයෙක් වෙලත් පුහුණුවීම්වලදි එක දිගට පැය දෙක තුන පන්දුවට පහර දෙනව. මං හිතන්නෙ ඔහු ඒ සම්බන්ධයෙන් ඉතාම විශාල කැපවීමක් තියෙන ක්‍රීඩකයෙක්. ඒ කැපවීමේ ප්‍රතිඵල ගැන අද අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. අද ඔහු ඉන්න තත්ත්වයට එන්න ඒ කැපවීම මොන තරම් උදව්වක් වෙලා තියෙනවද කියන එක අපි දන්නව. ඉතින් මමත් හැම තිස්සෙම උපරිම වශයෙන් ඒ විදියට කැපවීමෙන් මගේ පුහුණුවීම් කරන්න තමයි උත්සාහ කරන්නෙ. එහෙම නැතුව අද මේ තලයේ ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුළුවන්කමක් නැහැ.

මුල් දවස්වල බස් එකේ ගිහින් ක්‍රිකට් ගහපු කාලෙ මතක් වෙනකොට දැන් මොකද හිතෙන්නෙ?

මේ තත්ත්වෙට එන්න ලැබිච්ච එක ගැන හුඟක් සතුටුයි. අර ලොකු බෑග් එකත් කරේ එල්ලගෙන බස් එකේ පුහුණුවීම්වලට, තරගවලට ගිය කාලෙ……… දුෂ්කරයි තමයි……., නමුත් ඇත්තටම එහෙම තියෙන්න ඕන. ඒව ජීවිතේ අපූරු අත්දැකීම් කියලයි මට දැනෙන්නෙ. දුක් විඳල මේ වගේ තැනකට ආපුවම දැනෙන සතුට මං හිතන්නෙ වචනවලින් විස්තර කරන්න අමාරුයි.

දැන් මොකක්ද පාවිච්චි කරන වාහනේ?
අවුඩි එකක්.

සාකච්ඡා කළේ: කැළුම් ශ්‍රීමාල්

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...