දුවටයි මටයි සතියකට දවස් භාගයක් දෙනවද? – ලලිත් ඇතුලත්මුදලි

ලලිත් ඇතුලත්මුදලි සිය ජීවිතයෙන් දහයෙන් පංගුවක (1/10) කාලයක් කුටුම්භය සඳහා වෙන් කරන බවට විවාහයට පෙර ශ්‍රී මනීට ප්‍රතිඥා දී තිබුණද එපමණ කාලයක් ඔහුට දියණිය සහ බිරිය සමඟ ගෙවන්නට ඉඩ හසර නොලැබිණි. දිනපොතේ පෙළෙන් පෙළ කටයුතුවලට වෙන්ව පැවැත්තේය.

දිනක් ලලිත් දිනපොතෙහි පිටු පෙරළමින් යම් යම් කාල වේලාවන් වෙන්කර ගනිමින් සැලසුම් කරද්දී සිඟිති ශරලා කැටිව ශ්‍රී මනී එතැනට පැමිණියාය.
දුවටත් මටත් සතියකට දවසක් හරි දවස් බාගයක් හරි ගන්න පුළුවන්ද කියලා අපි තාත්තගෙන් අහමු නේද දුවේ?

ලලිත් බිරියගේත් දියණියගේත් මුහුණු දෙස විස්මයෙන් බැලීය. ශරලාද පියාණන් දෙස බලා සිටියාය. ඔහුගේ මුවඟ නැඟි මන්දස්මිතය එකඟතාව හඟවන සුබ ලකුණක් බව ශ්‍රී මනී දන්නීය. ඔහුට මඳ ඉස්පාසුවක් හෝ ලැබුණේ සාමාන්‍යයෙන් සතියේ සිකුරාදා දිනවලය. වතාවක් මෙන් සිකුරාදා පාන්දර රත්මලාන මැතිවරණ කොට්ඨාසයට ගොස් සිය ඡන්දදායකයන් බැහැදැක එන ලලිත්ගෙන් ඒ දිනයේ ඉතිරි කොටස වෙන්කර ගත යුතු යැයි ශ්‍රී මනීට සිත් විණි. ඇය ඔහුගේ දිනපොත ගෙන අනවසරයෙන්ම සියලු සිකුරාදා දින හරහා ඉරක් ඇඳ සලකුණු කළාය.

සිකුරාදා ඡන්දදායකයන් හමුවීමෙන් පසු අමාත්‍යංශයට යන ලලිත් මුලින් මුලින් සති කිහිපයක් ශ්‍රී මනී හා ශරලා සමඟ එක්ව දිවා ආහාරය ගැනීමට ගෙදර ආයේය. පියාණන් ඇසුරෙහි කෙළිදෙළෙන් පසුවන දියණියගේ නොහිම් සොම්නස දකින උස් සිනා හඬ අසන ශ්‍රී මනී ඔවුන්ගේ නෙත් මානයෙන් අෑත්ව නොයන්නීය. දිවි බඳුන සංතුෂ්ටියෙන් පිරී ඇත්තේය. පියාණන්ගේ ළය මඬලෙහි වැතිර ඔහුගේ දෙකන් පෙති නැහැය, නිකට, දෙතොල්, පිරිමදින දියණිය ඔහු තුරුලෙහි සන්සුන්ව නිදන විට ඇය ඔහු අසල වැතිර ජීවිතයේ පූර්ණත්වය සෞන්දර්යය අත්විඳින්නීය. එතෙක් තනිකඩ මිනිසකුගේ කාන්සියෙන් පාළුවෙන්, හුදෙකලාවෙන් ගල් වී පැවැති නිදන කුටියට වස්සානය හා හේමන්තය එකපැහැර එළැඹි සෙයකි. වනපෙතක තුන්පත් රෑනක් මෙනි.

සති කිහිපයක් එසේ ගෙවීයත්ම නොයෙක් නිල කටයුතු සඳහා නිලධාරීහු එක්කෙනා දෙන්නා බැගින් නිවෙසට එන්නට පටන් ගත්හ. නිවෙසේ රැඳුණු ලලිත් තමා නිවෙසේදී හමුවිය හැකි හෙයින් පැමිණීම පිණිස කාල වේලාවන් දී තිබිණි. ඇතැම් දිනෙක දිවා ආහාරය සඳහාද අමුත්තෝ ඇරියුම් ලදහ. සිකුරාදා දිනය හරහා ශ්‍රී මනී ඇඳි ඉරට උඩින් ලලිත්ගේ ඇමැතුම් සටහන් ලියැවිණි. එය ඇගේ සිත රිදවීම් වස් කරන ලද්දක් නොවුවද ඔහුගේ කාර්ය සම්භාරය දකිත්ම තමාත් දියණියත් ඔහු කැප වූ උදාර පරමාර්ථ සාධනය උදෙසා කිසියම් කැප කිරීමක් කළ යුතු නොවේ දැයි ශ්‍රී මනී යථාවබෝධයෙන් පසුවූවාය. රේඛිත සිකුරාදාත් සෙසු දින මෙන්ම වෙනසක් නැතිව ගෙවී යන්නට වැඩි කලක් ගතවූයේ නැත.

ලලිත් නිවෙසින් පිටමංව සිටි සෑම දිනෙකම රාත්‍රි හතට ශරලා නින්දට යන්නට පෙර ඇයට දුරකතන ඇමැතුමක් ගෙන කතාබස් කිරීම සිරිතක් කර ගනී. එය අමතක වූ දිනට පසුදා උදෑසන දකින ශරලාගේ මුහුණ ප්‍රබෝධවත් නැත. අෑ සිය වත මඬලෙහි ඉරියව්වලින් නොසතුට පළ කළාය.
ලලිත් නිවෙසේ සිටියේ වී නම් දියණිය පාසලට යන්නට පෙර උදෑසන ආහාර වේලට හිඳගත්තේ ඇය සමඟිනි.

ලලිත් ඇතුලත්මුදලි නොනිමි මෙහෙවර චරිතාපදානය ලියද්දී ඇතැම් දිනෙක මට වේලාව වෙන් වූයේ පාන්දර හයටය. මා පිබිදෙන්නට පෙර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල නිල නිවෙසට පැමිණෙන රියැදුරු ජිනදාස නියමිත තත්පරයට මා ඔහු ඉදිරියට පමුණුවන්නේය.

ජිනදාස හදිසි විදුලි ආලෝකයෙන් සියලු ඉදිරි වාහන පසුකර හඹායන්නේ වේලාව පිළිබඳ සිය ස්වාමියා අතිශය අවධානාත්මක බව දන්නා හෙයිනි. සුපිපි පියුමක් මෙන් ප්‍රබෝධවත් සුපසන් වත මඬල මන්දස්මිතයෙන් සුපුෂ්පිතය. ලලිත් සාකච්ඡාවලට එළැඹෙනුයේ මතු මහලෙහි පෞද්ගලික කාර්යාලයට මා කැඳවාලමිනි. ඔහුගේ ළෙන්ගතුකම දනවනුයේ පිතු සෙනෙහසිනි. හෘදයාංගම බවකි. ප්‍රතාපවත් ජන නායකයාගේ ගැඹුරු ස්වරය සවන්පත් වැලැඳ ගනිද්දී මම අතොරක් නැතිව අතුරු ප්‍රශ්න නඟමින් පෑන වේගයෙන් කඩදාසි මත දුවවටි.

‘බේබි කෑමට ලෑස්තියි’ සේවිකාවක විත් සැල කළ කල්හි ලලිත් ආචාරශීලීව සමුගෙන පහත මාලයට බසින්නේය. ඔහු පාතරාසයෙන් පසු යළි මතු මහලට එන්නේ ප්‍රසාද ජනක ලීලයෙනි.

උදාරතර පුණ්‍යවන්ත පියකුගේ එකම දියණියක වීමේ වාසනා මහිමය ලදුව ද ශරලා එය අත්විඳින්නට ලැබුණේ දස වසක් පමණි. නොසිතූ විරූ නිමේෂයක ඔහුගේ ජීවිතය නන්නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි බෙහෙත් අහුරකින් පැහැර ගැනිණි.

‘අම්මේ! ඇතුලත්මුදලි නමට මිනිස්සු ඡන්දේ දෙනවා නම් මටත් ඡන්දෙ දේවිද? මාත් දිනාවිද?
1993 අප්‍රේල් මස 23 වැනි දින ඝාතනයට පත් ලලිත් ඇතුලත්මුදලි එවර පළාත් සභා මැතිවරණයෙන් රත්මලාන අසුන ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායකයා ලෙස ජයග්‍රහණය කළ පසු දස හැවිරිදි බුද්ධිමත් දියණිය සිය මෑණියන් වන ශ්‍රී මනීගෙන් විමසා තිබිණි. ඇය නිරුත්තර වූවාය.

ලලිත් ජාතික ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයෙහි ඔහු කිසියම් නිල කටයුත්තක් උදෙසා විදේශගතව හුන්නේය. ශ්‍රී මනීද එම සංචාරයට එක්ව සිටියෙන් ශරලා ආච්චිගේ නිවෙසෙහි නතර කෙරිණි. ඒ වනවිට ඇගේ වයස අවුරුදු හතරහමාරක් පමණි. පියාණන් පෙරළා පැමිණෙන දිනයේ සිඟිති දියණිය ගුවන් තොටුපොළට ගියේ මිත්තණිය ද කැටිවය.

‘ආච්චියේ! අද තාත්තා ආවාම මම ඉස්සරහටම ගිහිල්ලා කතා කරනවා. ඔක්කොටම ඉස්සෙල්ලා!’
ඇය මඟ බලමින් හුන්නේ විශේෂ අමුත්තන්ගේ ‍ෙදාරටුවෙන් තාත්තා එනතෙක්ය.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා හදිසි හමුවක් සඳහා ලලිත් කැඳවාගෙන ඒමට ගුවන් තොටුපොළ වෙත හෙලිකොප්ටර් යානයක් එවා තිබිණි. ශරලා ද ගුවන් තොටුපොළ පර්යන්තයට කැඳවාගෙන යන ලදුව ලලිත් රැගත් ගුවන් යානය බට පසු ඇයද හෙලිකොප්ටරයට නංවන ලදී. ලලිත් අතට පුවත්පත් ගොන්නක් හා හදිසි ලිපි සමුච්චයක් ලැබිණි. හෙතෙම ජනාධිපතිවරයා හමුවට යන තෙක්ම ලිපි ලේඛන අතර ගැලී හුන්නේය. ආ ගමන්ම පියාණන් සමඟ කතා කරන්නට පුල පුලා හුන් ශරලාට ඒ අවස්ථාව ලැබුණේ නැත. තාත්තා ජනාධිපතිතුමා හමුවීමට යද්දී ශරලා මව කැටිව නිවෙසට පැමිණියාය.

ලලිත් ඇතුලත්මුදලි නිල නිවෙසෙහි දිවා භෝජන සංග්‍රහයක් පිළියෙල කර තිබිණි. ජනාධිපතිතුමා හමුවී ලලිත් පෙරළා එනවිට ආරාධිතයෝ නිවෙසට පැමිණ සිටියහ. ඔහු ඔවුන් සමඟ පිළිසඳරේ යෙදෙමින් අවශ්‍ය කටයුතුවල නිමග්න විය. ලිපි ලේඛන, අලුත් ආරංචි නව සැලසුම් අතර ඔහු මනස සැරිසරන්නට ඇතිවාට නිසැකය.

තාත්තා වෙතින් සුරතල් වදනක්, සෙනෙහසක් ලබන්නට මඟ බලාහුන් ශරලා අවසන අමුත්තන් පිරිස මැද හඬනඟා හඬන්නට වූවාය. දියණියගේ නොඉවසිල්ල වටහා ගත් ශ්‍රී මනී ඇය වඩාගෙන විනාඩි පහළොවක් විස්සක්වත් ඇය සමඟ ගත කරන්නැයි ලලිත්ට කීවාය. ජාතික ආරක්ෂක අමාත්‍යවරයා අමුත්තන් කෙරෙන් මඳකට මිදී දියණිය ළෙහි හොවාගෙන ඇගේ හිස පිරිමදිමින් වත සිප සනහමින් සෙනේ බස් තෙපළමින් එළිමහනේ තණබිස්සේ ඇවිද්දේය. ශරලා සන්සුන් පියොවට පත්ව කෙළිදෙළෙන් පසුවන්නට වූයේ ඉනික්බිතිවය.

ලබන සතියට….

රංජිත් අමරකීර්ති පලිහපිටිය

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...