වෙද මහතා ප්‍රකාශ කළ ආකාරයට ඔහු දෙපා තබා ඇවිදිය යුත්තේ බවුන් වඩනා ලද හික්මීමක් ඇති හිමිනමක් ලෙසය. නොඑසේනම් පයට පෑගෙන පැළෑටි බෙහෙත් මඟ හැරීමකට ලක්වේලු! බැද්දේ රිංගද්දි පයට පෑගෙන තණ ගහක් බෙහෙතකට වුවමනා වන නිසා ආදිවාසී ආදිතමයන් තම වෙදකම සලකන ලද්දේ අනුන් උදෙසා වෙහෙසීමක් නොව තමන් උදෙසා වෙහෙසීමක් ලෙසය.
මිහින්තලේ කුඩාගම නයිදේ ආදිවාසී වෙද පරම්පරාව සාඩම්බර අතීතයක හිමිකරුවන් වන අතර එම පරම්පරාව අවසන් පුරුක් දෙක අද සිය ගම බවට පත්කර ගෙන ඇත්තේ කුඩාගම නොව එයට තදාසන්න තුලාවෙල්ලියය. තුලාවෙල්ලියේදී හමු වූ එම්. එදිරිසිංහ වෙදමහතා තම පරම්පරාගත ආදිවාසී වෙදකම සහ හෙදකම පිළිබඳ පළ කළ, වැදගත් ලිපි ලියුම්කරුගේ අතපෙවීමකින් තොරව පාඨකයන් වෙත ගෙන ඒමට තීරණය කරන ලද්දේ ලිවීම් දෝෂ සහ හානි අවම කර ගැනීම සඳහාය. ලිපිය පිළිබඳ සහ ආදිවාසී වෙදකම පිළිබඳ එදිරිසිංහ මහතාගෙන් වැඩි විස්තර ලබාගැනීම සඳහා 072-9175280, දුරකතන අංකය හෝ 071-1123067 යන දුරකතන අංක ඇමැතිය හැකිය.
“තුලාවෙල්ලියට වෙදකම එන්න කලියෙන් මේ වෙදකම තිබ්බේ මිහින්තලේ කිට්ටුව අපේ ආදිවාසී ගම්මානයක් වුණ කුඩාගම. ‘කුඩාගම’ තමයි අපේ කිරිඅත්තලාගේ තාත්තල හිටියේ. එයාගේ නම නයිදු රාලලාගේ පුංචි බණ්ඩා. ඊට පස්සේ පුංචි බණ්ඩාගේ ගුණසේකර කියන ලොකු මාම වෙදකම කළා. ඊට පස්සේ තමයි පුංචි බණ්ඩාගේ ජිනදාසට පරම්පරාවෙන් වෙදකම උරුම වුණේ. මේ වෙද්දි නුවර පළාතේ පුංචි බණ්ඩාගේ හේරත්හාමි කියල තවත් අපේ කෙනෙක් අපේ වෙදකම කරගෙන යනවා. ඒ අයගේ අන්තිම පරම්පරා පුරුක තමයි මම. අපේ ආදිවාසී වෙදකමට අදාළ දැනුම ලියවුණ පුස්කොළ පොත් සියල්ල තිබුණේ මිහින්තලයේ ‘කුඩාගම’ ගමේ.
කුඩාගමට කිට්ටු සියඹලාගස්වැවදී තමයි බුද්ධදාස රජු නයාට බෙහෙත් කළේ. මිහින්තලය අවට හිටිය පිරිස් විශාල ප්‍රමාණයක් පැවත එන්නේ දේශීය වෙදකම එක්ක. මිහින්තලයේ සියඹලාගස්වැව ප්‍රදේශයේ තිබෙන බෙහෙත් ඔරු ඒකට හොඳ සාක්‍ෂියක්. අපේ වෙදකම අනිත් වෙදකම්වලින් වෙනස් වන ප්‍රධාන තැන තමයි බෙහෙත් ඔෟෂධ 68ක් අපේ වෙදකම ඇතුළේ තියන එක. ඒවා කැප කරල තියෙන්නේ මහා කළු කුමාරයට. අනිත් දේශීය වෙද පරම්පරාවලට අයිති ඔෟෂධ ජාති 64යි. අපිට වැඩිපුර වෙනත් බෙහෙත් ජාති 4ක් උරුම වුණා.
අපේ පරම්පරාවට ආදිවාසී බෙහෙත් වට්ටෝරු ටික උරුම වෙනවා. කිරිඅත්ත තුලාවෙල්ලියෙන් කරකාර බඳින නිසා. පුස්කොළ පොත්වල තිබුණ බෙහෙත් වට්ටෝරු කිරිඅත්ත සාමාන්‍ය පොත්පත්වලට ගන්නවා. එහෙම කරන්නේ මුල් අවස්ථාවේ තිබුණ විදියටම. බෙහෙත් වට්ටෝරු ඔක්කොම මුල් අවස්ථාවේ ඉඳල තිබ්බෙ කවිවලින්. අදටත් අපේ බෙහෙත් වට්ටෝරු සියල්ලම තියෙන්නේ කවිවලින්. ඒ කාලේ පුස්කොළ පොත් 4ක තිබුණ වට්ටෝරු තමයි අද වෙද්දි පොත් දෙකකට අරගෙන තියෙන්නේ. කිරි අත්ත එහෙම වෙදකම පොත්පත්වල සඳහන් කළාට එයාගේ මල්ලිලා තුන්දෙනා වෙදකම අතහැරිය. ඒ කවුරුවත් වෙදකම් කරන්නේ නැහැ.
මේ පුස්කොළ පොතෙන් ගන්න බෙහෙත් වට්ටෝරුවල යක්‍ෂයන්ට අයිති පංගුවක් තියෙනවා. දෙවියන් විදියට වෙදකමේදී අපි අදහන්නේ වන්නි කිරිඅම්මයි, කිරිඅප්පච්චියි. අපි බෙහෙත් ඔෟෂධයක් හොයන්න කැලේට ගියත් ඒ දෙන්නට බාරවෙලා තමයි පිටත් වෙන්නේ. ලෙඩෙක්ගේ නාඩි බලන්න අතක් ගත් ගමන් අපි මුලින්ම කතා කරන්නේ කිරිඅම්මයි අප්පච්චියි හරහා අපේ පැරැණි උරුමයට. නාඩි බලන මන්තරේ පිහිටට ගත්තේ දෙවනුව. පැරැණි උරුමයට කතා කළාම කියැවෙන්නේ කියන්න ගිය දේ නෙවෙයි. ඒත් ඒ දේ ඇත්ත කියල ලෙඩා පිළිගන්නවා. අපේ ගම වෙදකමින්ම ලේ උරුමයට පමණයි. හැම ඔෟෂධයකටම අවසන ලියැවෙනවා ලේ උරුමයෙන් පිට පනින්න එපා බල පිහිටන්නේ නැහැ කියල. අනික නිගාටු පද.
හැම ඔෟෂධයක්ම නිගාටු පදයකින් වහල තියෙන්නේ. ඒ නිගාටු පදේ නොදැන වට්ටෝරුව සොරකම් කරල බෙහෙත් කරන්න බැහැ. ඔෟෂධ කිව්වම මම එතැනදි අදහස් කළේ කෂාය වට්ටෝරු. ඊට අමතරව තෙල් බෙහෙත් එහෙමයි. ඒ කියන්නේ අපේ සාත්තරේ තෙලකට තියෙන්නේ අංකයක්. ඒ අංකය තමයි නිගාටු පදය. අංකයෙන් හැඳින්වෙන තෙල් කලවමට අරගෙන තමයි බෙහෙත් කෙරෙන්නේ. තෙල් කොයි විදියට හිඳ ගත්තත් නිගාටු පදය ඕනෑ බෙහෙත් කරන්න. ඒ කෂාය තෙල් හිඳින්න අපි ගත්තේ අපේ ආදිවාසීන්ට ආවේණික බෙහෙත් වර්ග. ආයුර්වේද වෛද්‍ය සභාවේ මහත්තුරුත් ඒ බෙහෙත් අඳුරන්නේ නැහැ. මොකද ඒ මහත්තුරු දන්නේ වේළල හදාගත්ත බෙහෙත්, කෂාය. අපි අඳුරන්නේ අමුවට කියන දේ.
පොඩි උදාහරණයක් කියන්නම් දැන් වෙද්දි දුම්මැල්ල කියල භාවිත කරන ඔෟෂධය අපේ වෙදකමේ හඳුන්වන්නේ මිමිනිකොවක්කා කියලා. දුම්මැල්ල කියන හරි ශාකයේ අර්තාපල් වගේ අලයක් තියෙනවා. දුම්මැල්ල අලය හරි වටිනා බෙහෙතක්. ඒ වුණාට දැන් ආයුර්වේද වෙදකමේ දුම්මැල්ල අලවලට ගන්නේ මිමිනිකොවක්කා. එතැනදි බෙහෙතක පදම වරදිනවා. තවත් එකක් තමයි වේලා. වේලා කියල ගත්නෙත් වෙනත් රතුපාට කොළ තියෙන ගහක්. ඒක වැරැදියි.
මහ කළුකුමාර තෛලය තමයි සිංහල වෙදකමේ අංක දෙක. අංක එක විදියට ගණන් ගන්නේ හෙනරාජ තෛලය. කළුකුමාර තෛලය ගැන ගුණ අපේ වෙදකමේ සඳහන් වෙන්නේ මේ විදියට.
නස්න කළ විට සිහි නැති වූ අයකුට පැය 7කින් සිහිය ඒ.
වැදූ ගෙයින් එන සියලුම සන්නි හොඳ වේ.
අග්නි, සන්නි, වෙව්ලුම් සන්නි, වාත් සන්නි, ගොළු සන්නි, බිහිරි සන්නි, ඇස් නොපෙනෙන, කන් නෑසෙන සන්නි, වැදූ අයට එන දහඅට සන්නි, ඇවිලිලි, ඇඟ ඉස රුදා, ඉදිමුම්, දත් කැක්කුම්, කන් කැක්කුම්, ඇස් රතුවීම්, සීතල සන්නි, පිත් සන්නි, විකාරයෙන් ෙදාඩවන සන්නි, සිහිනැති වී දත් පූට්ටු වන සන්නි, බිලිඳුන්හට එන දහඅට සන්නි, දහඅට මාන්දම්, ගහන සන්නි, උගුර රිදී කරමල ඉදිමී ගෙඩිය ගැසේ නම්, කම්මුල් දෙක ඉදිමේ නම් සින්නක්කාරම්, පල්මානික්කම්, පැහිච්ච බටු යුෂ, දෙමට කිරිත් ගත්.
(මෙතැනදී කියන්නේ මේ අංතර ඔෟෂධ තෛල සමඟ කලවන් කරගත යුතු බවය).
කටේ තියා සිටියත් පැය සතකින්
උණක් ගැනේ කඳ යට වෙව්ලා
යොදා මෙතෙල් ගෙන කඳට පොවාපන්්
පිට තුවමිත්තා ගෙඩි දැන් දුරලන්
තැවිලි තවා මේ තෙල් ගෙන ගාපන්
සියලු සර්පයෝ කෑවා දුටිනම්
පොල් කිරි ගෙන තෙල් කඳට පොවාපන්
කෑ මුඛයේ තෙල් අබුලෙන් මැදපන්.
පොල් කිරි ගෙන තෙල් මුසුකර ගාපන්
සර්ප විෂට යහපති කි විලසින්
වැදුම් සමාවට තෙල් පෙව්වෝ තින්
බිහිවෙයි බිලිඳුන් විදුලිය විලසින්
දහඅට අන්ගම් පිල්ලි සූනියම්
නොවදී මේ තෙල් ගා ඇවිදීමෙන්
සිහින පෙනේ සතහට බය වීමෙන්
මේ තෙල් ලාවා කරඩුව අග බැඳපන්
යක්‍ෂ පිස්සු බය දුරුකරනවා නම්
සන්නි යකා විපිරිත කරවා නම්
මේ තෙල් ලාවා කරඬුව අතබැඳපන්
සන්නි යකා යයි යොදුනක් විලසින්
දැයේ දුන්නේ විෂ්ණුගේ නිල් පැහැයට
බුගන්ද මාල ගති කැඩුුම් බැලූවිට
නමක් සැදුණි කළු කුමරුන් කීවිට
කුමරු නමින් සැදුණේ මේ තෛලය
කළු කුමාරයා තෛලය අන්න ඒ විදියට ප්‍රයෝජනයට ගන්න පුළුවන් බෙහෙතක් විදියට තමයි අපේ වෙදකමේ සඳහන් වෙන්නේ. කළු කුමාරයා තෛලය උපත අපේ පුස්කොළ පොත්වල සඳහන් වෙනවා. ඒ මේ විදියට.
කල්ලු දේශයේ කල්ලු රජුත්ගම
දාව උපන් කුමරෙක් ඒ කුමරිට
කුමාරිකාව විද්වා උපන්් නැසුන්
නැඟී කුමරු කළු මුහුදේ උසකට
සැදුණි නමක් කළු බණ්ඩාරට
කළු මුහුදේ කළු නික ගස දුටුවිට
ඒ ගස මුදුනේ බණ්ඩාර වැඩසිටින විට
නැඟණිය කළු මුහුදේ පැන් කෙළියක
කළු මුහුදේ කළු නිකගස දුටු විට මල් පිපුණා කළු සුදු නිල් පැහැයට
බැල්ම වැටුණි ඒ කුමාරිකාවට.
ගසට ගොසින් මල් නෙළුවා පසකට.
බසිති බිමට මල් සිඹ සැනසීමට
ගෙන යයි සුරතට ඒ මල් මාලය.
කුමාරිකාව දැක බණ්ඩාරට
සිත ආලය සිහිනෙන් කුමරිය ළඟ ගැවසුණ විට
උපන් ෙදාලත් ඒ කුමාරිකාවට
පිපි ඒ දසමස පසු වූ විලසට
රාදා වැඩිව බිහි විණි නිල් වතුරට
උපත් කුමරු කළු සුදු නිල් පැහැයට.
මේ විදියට තමයි කළු කුමාරයා තෛලය උපත වුණ විදිය අපේ පුස්කොළ පොත්වල සඳහන් වෙන්නේ.
ඒවායේ සඳහන් වෙන විදියට දෙව් බ්‍රාහ්මණ කියල බ්‍රාහ්මණයෙන් විතරයි මුල්කාලීනව වෙදකම කරල තියෙන්නේ. බ්‍රහ්ම ලෝකේ දෙවි ලෝකේ, මනු ලෝකේ වෙදකම කරල තියෙන්නේ මේ වේද කියන බ්‍රාහ්මණයා. පසු කාලීනව එයා මේ තුන් ලෝකයට එන්නේ ගෝලයෝ බිහි කරනවා වෙදකම් කිරීම කරන්න ලේසි නිසා.
එතැනදිත් කළු කුමාරයා තෛලය තමයි මුල් වෙන්නේ. මොකද මේ තෛල පොවල සිහිගන්ඩ සත් පැයක් යනවා. ඒ වෙලාව පිරිමහගන්ඩ තමයි ගෝලයෝ තුන් දෙනෙක් බිහි කරන්ඩ ‘වේද’ බ්‍රාහ්මණයා තීරණය කරන්නේ. මේ වගේ වෙනස්කම් තමයි අපෙයි, දේශීය වෙදකමෙයි තියෙන්නේ. අපේ ආදිවාසී පරම්පරාව නිර්මාංස වෙදකම කරන අය. ගෙඩි, වණ, තුවාල අභ්‍යන්තර ගෙඩි, පිළිකා, ආතරයිටිස්, ඇදුම මේ හැම දේටම එක බෙහෙතක් මුල්කරගත්ත. ඒ බෙහෙතට ගුණ අනෙක් බෙහෙත්වලින් ලබා දෙන ආකාරයට වෙදකම් කරනවා. ගස්වල කොළ, පොතු, දලු, මල් අරගෙන කරන වෙදකමක් හින්ද දරුවෙක් ඉපදිල දවසකින් වුණත් අපිට ඒ දරුවට බය නැතිව බෙහෙත් කරන්න පුළුවන්. ඇලජික් වෙනවා, අරව වෙනවා මේව වෙනවා කියල මොනවත් වෙන්නේ නැහැ.
අපි හදන තෙලුත් එහෙමයි. තෛලයක පල ප්‍රයෝජනය අහවල් ලෙඩට විතරයි කියල නැහැ. ලුණු කපාලය කියල අපි ළඟකදි තෙල් හැදුව. ඒ තෙලෙන් සියලු කපාල, කැක්කුම් වේදනා දුරු වෙනවා. පුස්කොළ පොතේ තෙලේ බලේ ගැන සඳහන් වෙන්නේ මේ විදියට.
ඉසගිනි ඇවිලිමි, සියලු කපාල, කැක්කුම්, වෙව්ලුම්
උල්ලාරම් සම ඇදිරියද, ඝන පටලයද ගුණ කරයි
නිලකාන්තියද ඇසේ රත සුද, ඉරි මස් දලු
සමලද ගුණ වේ. සියලු ඝන ගිනියම් හිරිවාත
ඇතුල්, පැල්, දැඟලුම්, සිරසට වත් ලෙඩ සියක්ද කපාලද ගුණ වේ. හැබැයි මේ විදියට තෙලෙන් ප්‍රයෝජනය ගන්න අන්තිමට කියනවා පරණ ලුණු බැඳ, ඇඹුල් නොකා සිට හීන්සාලේ බත් විතරක් බුදින්ට ඕනෑ කියලා. අපි තෛල දෙද්දි මේ හෙදකම් ටිකත් කරන්න කියල උපදෙස් ලබා දෙනවා.
අපි එළ බටුවලින් බෙහෙත් හදද්දි ඒ එළ බටුම හොයා ගන්නවා. බෙහෙත් කඩවල තියෙන්නේ වම්බටු මුල්. එළබටු කියන වචනයේ අර්ථයක් තියෙනවා. එළ කියන්නේ සුදු කියන එක. සාමාන්‍ය බටු ගහක දලු දම්පාටයි. හරි එළ බටුවල දල්ල එන්නේ සුදු පාටට. ගෙඩියත් තනි සුදුයි. එළ වරා කියන්නේ සුදු වරාවලට. එළ බිම් තඹරු කිව්වම රතු පාට බිම් තඹරු ගන්න අය ඉන්නවා. මේ විදියට වැරැදි දේවල් ගත්තම බලය අඩු වෙනවා. අපි තාම බෙහෙත් සල්ලිවලට, වරප්‍රසාදවලට නොකරන හින්ද හරි පැළෑටි හොයා ගෙන බෙහෙත් කරන්න උත්සාහ ගන්නවා. අපේ වෙදකමේ හැටියට අපිට බැහැ තව වෙද මහත්තයෙක්ට උපදෙස් දෙන්ඩ.
පරම්පරාවෙන් පිට කිසි දෙයක් කරන්න බැහැ. ආයුර්වේද වෙදකමේදී අපිව නොසලකා හරින්නේ ඒකයි. ඒ අය දැන දැනම නිවැරැදි නොවන බෙහෙත් ජාති පාවිච්චි කරද්දි අපි කොහොමහරි මහන්සි වෙලා හරි බෙහෙත කරනවා. ඒ හින්දා නොවේද එය ආයුර්වේද අය අපි එක්ක පොඩි අමනාපයක් තියාගෙන ඉන්නේ. දැන් මේ ළඟකදි අපේ පාරම්පරික වෙද නෝනා කෙනෙක් ආයුර්වේද සභාව ඉදිරියට ගිහින් එතැන අය ප්‍රශ්න අහල එහෙම අන්තිමට එයාට කියනවලු, ඔක්කොම හරි ඒ වුණත් ඔයාට කිසි පෙනුමක් නැහැනේ කියලා. ඒ පාර ඒ නෝනා අහල ඔයාල ඉස්සරහ පෙනුමක් ගන්ඩ මම ළමා සාරියක් අඳින්න ඕනද කියලා. අපේ පුස්කොළපොත් නම් හතරකින් පහකින් රටින් පිට කරල ඒ දැනුම විදේශීය දැනුම විදියට තමයි සුද්දගේ කාලේ ආයේ ගෙනත් ආයුර්වේද වෙදකම හැදුවේ.
දැන් අපේ වෙදකමේ ගංජා කියන්නේ පුදුම වටිනාකමක් තියෙන බෙහෙත් පැළෑටියක්. මේ ගංජා පානය කරල රටේ මිනිස්සු කෑම වැඩියෙන් කනවා. මේ මිනිස්සු එක්ක යුද්ද කරන්න බැහැ කියල සුදු ඒජන්තයෝ යෝජනා කරල ගංජා තහනම් කළා. ඒ තහනම අදටත් ඇදගෙන යනවා මිසක් ඒ තහනම ඉවත් කරන්න උත්සාහ දරන්නේ නැහැනේ. ගොවියෝ හැටියට වගා කළොත් මේ ගංජා පැළෑටිය පිටරට යවල අපේ රට දියුණු කරන්න පුළුවන්. අපේ වෙදකම් හැම බෙහෙතකටම වගේ ගංජා ඕනෑ. පොඩි ළමයින්ටත් දෙන්ඩ කියනවා.
පොඩි දරුවෙක් බඩේ රුදාව කියල කෑගහන්න ගත්තොත් කරන්න තියෙන අත් බෙහෙත තමය ගංජයි, වී විලඳයි පොඩි කරලා තන කිරි එක්ක නැත්නම් මී පැණි එක්ක පොවන එකට. අපි වුණත් බෙහෙත් හදන්න ගංජා ගත්තේ හොරෙන්. අබිං වුණත් එහෙමයි. කිරිම අබින් පොඩි දරුවන්ට බෙහෙත් හදන්න ගත්ත එකක්.”
ආදිවාසී වෙදකමේ තෙල් හිඳ ගන්නා ආකාරය ලබන සතියේදී කියවමු.
කතාව / ඡායාරූප – ප්‍රභාත් අත්තනායක