අම්බලන්තොට මඳුනාගල ආරණ්‍ය සේනාසනයේ තිබී පිලිස්සිගිය හිමිනමකගේ සිරුරක් 13 දහවල් සොයා ගත් බව අම්බලන්තොට පොලිසිය පවසයි. මෙසේ අපවත්වී ඇත්තේ මීට සති දෙකකට පමණ ආරණ්‍ය සේනාසනයට පැමිණි කොළොන්නාවේ සාරාලංකාර හිමියන් බව මදුනාගල ආරණ්‍යසේනාසනාධිපති රාජකීය පණ්ඩිත ශ්‍රාස්ත්‍රපති උපුල්විල සාසන සුමණ හිමියෝ කීහ.
13 උදේ දානය ලබාගැනීමට පිණ්ඩපාතයේ උන්වහන්සේ වැඩියේ නැති නිසා හිමිනම සිටි කුටිය පරීක්ෂාකිරීමේදී ඊට නුදුරින් කැළයේ සිවුර පිලිස්සී මියගොස් ඇති බව දැනගත් අතර පසුව පොලිසියට දැන්වූ බවද සාසන සුමණ හිමියෝ කියති.
ආරණ්‍ය සේනාසනයේ වැඩසිටින හිමිනමක් නොවන මෙම හිමියන් තරමක ආතතියෙන් සිටිබවද සිත එක අරමුණක තබාගැනීමට භාවනාකිරීමට පැමිණ බවද පවසා තිබේ.
රහතන් වහන්සේලා වැඩසිටිය භූමියක මිය යෑමට අවශ්‍ය බවත්, දරුවන්ට කරදරයක් වීමට ඉඩ නොතබන බවටත් කියා ලිපි දෙකක් ලියා සියදිවි හානිකරගෙන තිබෙන බවද පරීක්ෂණ පවත්වන අම්බලන්තොට පොලිසියේ පොලිස් සැරයන් (26032) ඤාණසිරි මහතා කීය.
ලංගම විධායක ශ්‍රේණියේ නිලධාරියකු ලෙස සේවය කර ඉන් විශ්‍රාමගොස් වයස අවුරුදු 69ක් පමණ වන මෙම හිමිනම තලගල පොල්වත්ත භාවනා මධ්‍යස්ථානයේදී පැවිදි බව ලබාගෙන තිබිණි.
ගිහිකල චන්ද්‍රසිරි ඒකනායක වශයෙන් මහරගම ඩිපෝවේ විධායක නිලධාරියකු ලෙස සේවය කර ඇති බවට ආයතනික හැඳුනුම්පතද පොලිසියට හමුවී තිබේ.
මදුනාගල ආරණ්‍ය සේනාසනයේ භාවනායුයෝගීව වැඩසිටින හිමිනමක් නොවන පිටස්තරයෙන් පැමිණි මෙම හිමිනම මෙම ක්‍රියාව සිදුකිරීමෙන් මෙම ස්ථානයට මහත් අපකීර්තියක් සිදුවුවහොත් මෙය මෙම ස්ථානයේ ප්‍රශ්නයක් නොවන බව මදුනාගල ආරණ්‍ය සේනාසනාධිපති උපුල්විල සාසන සුමණ හිමියෝ කීය.
අම්බලන්තොට පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. නිමල් විජමුණි මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.