වේදිකාව, සිනමාව හා ටෙලි නාට්‍ය ක්ෂේත්රය තුළ මැවූ විවිධාකාර චරිත හමුවේ ඔහුගේ රංගනයේ විශිෂ්ටත්වය ප්‍රේක්ෂක විචාරක පැසසුම නොමදව දිනාගත්තේය. නිසඟ කුසලතාවය සේම රංගනය පිළිබඳ වූ මනා පරිචයකින් ද පෝෂණය වූ මේ ප්‍රවීණ රංගන ශිල්පියා මේ වන විට නව පරපුරට රංගනය පිළිබඳ දැනුම, අවබෝධයන් ලබා දෙන ආචාර්යවරයකු වී සිටියි. ‘කොස්තාපල් පුඤ්ඤසෝම’ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව තුළින් මේ දිනවල අප හමුවට එන ප්‍රවීණ රංගධර මහේන්ද්‍ර පෙරේරා මෙවර අප හා මෙලෙසින් එක්වේ.
* රංගනය ගැන මනා පරිචයක් ඇති දක්ෂ රංග ශිල්පියෙකු සේම ආචාර්යවරයකුද වුණු මහේන්ද්‍ර පෙරේරා අද වාණිජ සිනමාවේ විකටයෙකු වෙලා …..
ගාමිණී, ජෝ වගේ අති දක්ෂ ඉහළ පෙළේ රංගන ශිල්පීන් කවදාවත් චරිතවලට කොටුවුණේ නැහැ. දක්ෂ රංගන ශිල්පියෙකුට ඕනෑම චරිතයක් කළ හැකි විය යුතුය. බහුභූතයෝ වැනි චිත්‍රපටවලත් මා හාස්‍ය රංගනයේ යෙදුණා. කොස්තාපල් පුඤ්ඤසෝම තුළත් මම ප්‍රහසන රංගනයක යෙදෙනවා.
* නමුත් නූතන රංගධරයන් අතර තෝරා බේරාගත් ප්රබුද්ධ නිර්මාණවලට විතරක් දායක වන අය ඉන්නවා නේද ?
වෘත්තීය නළුවකුට හෝ නිළියකට එහෙම කරන්න බැහැ. බොලිවුඩ්වල නම් දුෂ්ටයා හැමදාම දුෂ්ටයා. නමුත් දුෂ්ටයාට ඕනෑතරම් චිත්‍රපට තියෙනවා. ඒ හින්දා පැවැත්මේ ගැටලු නැහැ. අපේ රටේ කර්මාන්තයක් ලෙස සිනමාව දියුණු නැහැ. ඒ නිසා ඔය කියන තෝරා ගැනීම් කරන්න බැහැ.
* නළුවෙකුට අවශ්‍ය ප්‍රධානම දේ රංගන හැකියාවද? පෙනුම ද?
පෙනුම කියන දේ තුළ ආකර්ෂණීය පෙනුමක් වගේම තමාට ආවේණික පෙනුමක් තිබිය හැකියි. ජෝ අබේවික්‍රමට තිබුණේ ඔහුට ආවේණික පෙනුමක් මිස ආකර්ෂණීය පෙනුමක් නමෛයි. කොයි විදියට ගත්තත් මොන විදියක හෝ විශේෂ පෙනුමක් අවශ්‍යයි. ඒවගේම රංගන හැකියාවත් අවශ්‍යයි.
* නමුත් ‘නළු පෙනුම’ කියන දේටත් වැදගත්කමක් තියෙනවා.
ඔය කියන ‘නළු පෙනුම’ බටහිර සිනමාවේ තියෙනවා. නමුත් ඒ නළු පෙනුම තුළ පිරිමි කමකුත් තියෙනවා. නමුත් ආසියානු රටවල ‘නළු පෙනුම’ට පිරිමිකම අත්‍යවශ්‍ය නැහැ. සීනිබෝල පෙනුම කියල තමයි එය හඳුන්වන්න පුළුවන්.
* මහේන්ද්‍රට ඔය කියන සීනිබෝල පෙනුමක් නැහැනේ. ඒ හින්දා ඒ පෙනුම හෙළා දකිනවද?
එය ටිකක් පැහැදිලි කළ යුතු දෙයක්. උදාහරණ අරගෙන මම කියන්නම්. අමීර්ඛාන් තුළ බැලූ බැල්මට තියෙන්නේ ඔය සීනිබෝල පෙනුම. ඔහුට නළුකමට එන්න ඒ පෙනුම යම් තරමකට හරි උදව් වෙන්න ඇති. ඒත් අමීර්ගේ රඟපෑම් දකිනකොට ඔය සිනීබෝල පෙනුම මතක් වෙන්නේ නැහැ. පෙනුම අභිබවා රංගනය මතුවෙනවා. පෙනුම නිසා මා කිසිවකු ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. රඟපෑම තමයි මා අගය කරන්නේ. ඒත් පෙනුම මතම රැඳෙන අය ගැන නම් තියෙන්නෙ කනගාටුවක්.
* නමුත් රිදී තිරයේ පෙම්වතෙක් වෙන්න නළු පෙනුමක් අවශ්‍යයි නේද ?
දක්ෂ නළුවෙකුට අවුරුදු අසූවේදීත් පෙම්වතා විය හැකියි. පෙම්වතා ගේ චරිතය සංකීර්ණයි. අහිංසක පෙම්වතා වගේම විවිධාකාර පෙම්වතුන් සිටිය හැකියි. ඒ හින්දා තිරයේ පෙම්වතෙක් වෙන්න පෙනුමට වඩා අවශ්‍ය වෙන්නේ කුශලතා. ඒත් තිරයේ කොල්ලා වෙන්න පුළුවන් එක්තරා වයසකදී විතරයි. ඊට හැකියාව තියෙන්නේ එක්තරා පෙනුමක් තුළ පමණයි. ඒ හින්දා පෙනුම මත රැඳෙන අයට පුළුවන් ‘කොල්ලා’ වෙන්න විතරයි. හැබැයි ඒ අය හැලෙන දවසක් එනවා. මොකද රංගන හැකියාව නැති නිසා.
* මහේන්ද්‍රට නළු පෙනුම නැති නිසා ඔය විදියට කියනවා කියා කවුරුන් හෝ පැවසුවොත්
මම නළුවෙක් වෙන්න උත්සාහ කළේ නවයොවුන් වියේදී. මගෙ තාත්තාත් කලාවට බොහොම ලැදියි. ඒත් මම නළුවෙක් වෙන්න යනවා කියල දැනගත්තම තාත්තා මොකද දන්නවද කිව්වේ …. “දොඩම් ගෙඩි දෙකක්වත් උස නැති උඹ කොහොමද බං නළුවෙක් වෙන්නෙ … ඔන්න ඔහෙ බැරි වැඩ නොකර හිටපං” කියලයි. ඒත් ඒ ප්‍රකාශයන් වැරදි බව මම ඔප්පු කළා. පෙනුම කියන දේ මට වැදගත් වුණේ නැහැ. සාමාන්‍යයෙන් එංගලන්තෙ සුද්දෝ අපිට වඩා උසින් වැඩියි. ඒත් ඩඩ්ලි මුවර් කියන ඉංග්‍රීසි ජාතික ලෝක ප්‍රකට නළුවාගේ උස අඩි පහයි අඟල් දෙකයි.
* නමුත් කාන්තා ආකර්ෂණය වැඩිපුර ලැබෙන්නේ පෙනුමට. ඔබට නිළියන් සම්බන්ධ කටකතා හැදුනෙ නැත්තේ නිළියන් ඔබට කවමදාවත් ආකර්ෂණය වෙලා නැති නිසා නේද ?
ඔබේ අදහස වැරදියි.
කාන්තා ආකර්ෂණයට එකම සුදුසුකම පෙනුම නමෛයි. පිරිමියකුගේ පෙනුමට වඩා කාන්තාවන්ගේ හිත යන්නේ පෞරුෂයට, පිරිමියකුගේ බාහිර පෙනුම කොච්චර හොඳ වුණත් ඒ තැනැත්තාගේ පෞරුෂයක් නැත්නම් කාන්තාවන් ගේ අවධානයට ලක්වෙන්නේ නැහැ. ඒ වගේම තමයි කට කතා හැදෙන එකයි පැතිරෙන එකයි දෙකක්. මං සම්බන්ධ කටකතා හැදෙන පැතිරෙන විදිහේ වැඩ මම කරන්නේ නැහැ.
* නව පරපුරට රංගනය උගන්වන ගුරුවරයෙකු ලෙස ඔබේ අත්දැකීම් හෙළි කළොත් ?
දැනට අවුරුදු දහයක කාලයක පටන් මා රංගනය ගැන පාඨමාලා සහ වැඩමුළු පවත්වනවා. මම හිතන දෙයක් තමයි කවර හෝ විෂයක් ගැන කවුරුන් හෝ ඉගැන්වීමක් කරනවා නම් ඒ ඉගෙන ගන්න අයට අදාළ ක්ෂේත්රයේ ඉදිරියට යාමට මග පාදා දිය යුතුයි. මගෙන් රංගනය ඉගෙන ගත් අය අද
ක්ෂේත්රයේ ඉදිරි තැන්වල ඉන්නවා.
* ඔබෙන් රංගනය හදාරා නළු නිළියන් වූ පිරිස අතර කැපී පෙනෙන සිසු සිසුවියන් කවුද?
විශාල පිරිසක් ඉන්නව. නම් වශයෙන් කියන්න ගිහින් කාගෙ හරි නමක් මගහැරුණොත් ඒක ඒ අයට අසාධාරණයක් වේවි. නමුත් මගෙන් රංගනය හදාරලා අද ක්ෂේත්රයේ ඉහළම තැනකට පත් වුණු බොහෝ දෙනෙක් මාධ්‍ය මගින් ඒ බව සිහිපත් කරන හැටි ඕනෑ තරම් දැක ගන්න පුළුවන්.
ආරියවංශ කුලතිලක