කැරම් ක්‍රීඩාවේ බහිරවයා

අතට අත දෙන්නේ ග‍්‍රීක ජාතිකයකු හට නම් අතේ ඇඟිලි පහම තිබේදැයි බලන්න යන්න පැරණි බටහිර පිරුළකි. එය අදට උචිත පරිදි මෙපොළොවෙහි කනපිට ගසන්නේ නම් රාජපක්ෂ නැවත බලයට ගෙනෙන්නට වලිකන අය දේශපාලන අනාථයන් පමණක් නොව කම්බ හොරුන් බවද වටහා ගත යුතුව ඇත.මේ අයට ඇති එකම පිහිට රාජපක්ෂ නැවත රජ වීමය. ඒ හරහා මේ අයගේ හොරකම් ජඩකම් යට ගැසීමය. නැවත පුරුදු පරණ සෙල්ලම යහමින් කරගෙන යෑමය. බරපතළ ගණයේ මූල්‍යමය අපරාධ විමර්ශනය කිරීම සඳහා වෙනම පොලිස් කොට්ඨාසයක් ස්ථාපිත කිරීමට මොවුන් විරුද්ධ වන්නේ එම නිසාය. අල්ලස් කොමිසමට මොවුන් විරුද්ධය. කොටින්ම දූෂණ වංචා පිළිබඳ සෙවීමටම මේ අය විරුද්ධය.

අලූත්ගමගේ කැරම් ගැසීම

හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ගේ අනුදැනුම මත 2014.11.07 දින සභාපති, සීමාහිත ලංකා සතොස ලිමිටඞ් වෙත ක‍්‍රීඩා අමාත්‍යංශ ලේකම් නන්ද මල්ලවආරච්චිගේ අංක So/05 හා 2014.11.07 දිනැති ලිපිය මගින් පාසල් සහ ක‍්‍රීඩා සමාජ අතර බෙදාහැරීම සඳහා කැරම් සහ දාම් බෝඞ් 14,000ක් ආනයනය කිරීමට කටයුතු කරන ලෙසත් පසුව අවශ්‍ය ප‍්‍රතිපාදන ලබාදෙන බවත් දන්වා ඇත.

හිටපු ජනාධිපතිගේ මැතිවරණ කටයුතු සඳහා අල්ලස් ලෙස මෙම භාණ්ඩ බෙදාදීම මුඛ්‍ය අරමුණ වූ බැවින් ඉහත ලිපිය ප‍්‍රකාරව ලංකා සතොස ආයතනය මගින් කැරම් බෝඞ් සහ දාම් බෝඞ් මිලදීගෙන ක‍්‍රීඩා අමාත්‍යංශයට සපයා ඇති අතර එහි වටිනාකම රු. 39,061,290,17 ක් වී තිබුණි. සතොස ආරංචි මාර්ග පවසන ආකාරයට මෙය සම්පූර්ණ නීති විරෝධියි. ආයතන සංග‍්‍රහයේ රෙගුලාසි සහ රජයේ මුදල් රෙගුලාසි බරපතළ ලෙස ඒ හරහා උල්ලංඝනය වන බැවිනි.
සතොස හරහා මෙම භාණ්ඩ ආනයනය කළ බව පැවසුවද තොග කුවිතාන්සි ආනයනය කළ කැරම් බෝඞ් ලංකා සතොස ආයතනයේ තොගවලට ඇතුළත් කිරීමේ නීත්‍යනුකූල ලේඛනය මේ වන තාක් සකස් කර නැත. ආයතනයේ පරිගණක පද්ධතියේද මේ පිළිබඳ කිසිදු විස්තරයක් නොමැති බව පැවසේ.
එපමණක් නොව ණයට විකිණිීමේ ලේඛනය (Credit memo) ආනයනය කළ කැරම් බෝඞ් ලංකා සතොස තොගවලට ඇතුළත් කළ පසු ක‍්‍රීඩා අමාත්‍යංශය වෙත ණයට නිකුත් කිරීමේ නීත්‍යනුකූල ලේඛනය, මෙම ලේඛනය ද මේ වනතෙක් සකස් කර නැත.

හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ගේ උපදෙස් මත එහි ලේකම් මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චි විසින් නිකුත් කරන ලද ව්‍යාජ ලිපියක් පදනම් කරගෙන මෙම කැරම් බෝඞ් ආනයනය කර ඇති බව සතොස අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මෙයට ව්‍යාජ ගිණුම් ලේඛන සකසා සහාය දුන් සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මුදල් ආසිරි ප‍්‍රනාන්දු මේ වනවිට අධිකරණයෙන්ද කට්ටි පනිමින් සිටී.

ඔහුගේ විදෙස් ගමන් බලපත‍්‍රයද අධිකරණය මගින් තහනම් කොට ඇත. ඒ මේ සම්බන්ධයෙන් ව්‍යාජ ලේඛන සකස් කර ඇති බැවිනි.
මෙහි ඇති විශේෂත්වය නම් සතොස නොදන්නා භාණ්ඩ එනම් කැරම් බෝඞ් සහ දාම් බෝඞ් ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගබඩා බාරකරු වන පී.ජී.එන්. ගුණසේකර සහතා විසින් බාරගෙන තිබීමය. එලෙස ලබාගත් බවට ඔහු ලිඛිතව අත්සන් කොට ඇත.

එහෙත් විගණකාධිපති දෙපාර්තමේන්තුව කරන පරීක්ෂණයේදී හෙළිවන නිරීක්ෂණ කියනුයේ වෙනම කතාවකි. ඒ අනුව විගණකාධිපති වාර්තාවේ නිරීක්ෂණයන්ට අනුව ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් විසින් අංකSo/05 සහ 2014 නොවැම්බර් 17 දිනැති ලිපියෙන් කර ඇති ඇණවුම් නීතියට පටහැනි ඇණවුමක් බව එම නිරීක්ෂණයයි.
මෙම මිලදී ගැනීම සඳහා අයවැයගත ප‍්‍රතිපාදන නොමැතිවීම ඒ අතර ප‍්‍රධාන කරුණකි. මෙවැනි මිලදී ගැනීමක් කිරීමට පෙරාතුව අංක 08 දරණ 2006 ජනවාරි 25 දිනැති ප‍්‍රතිසම්පාදන චක‍්‍ර ලේඛනයෙන් හඳුන්වා දී ඇති රජයේ ප‍්‍රතිසම්පාදන මාර්ගෝපදේශ කිසිවක් අනුගමනය නොකිරීම නිරීක්ෂණයේදී ඔප්පු වූවකි.
මුදල් රෙගුලාසි සංග‍්‍රහයේ 127 වන රෙගුලාසියෙහි ප‍්‍රධාන ගණන්දීමේ නිලධාරියකුගේ වගකීම නිශ්චිතව සඳහන් කර ඇති අතර ගනුදෙනුව සිදුව ඇත්තේ එයට පටහැනිවය.

මෙලෙස භාණ්ඩ තොග වශයෙන් ගෙන්වීමට පෙර ඒවා බෙදාදෙන ක‍්‍රමවේදය පිළිබඳ අධ්‍යනයක් කර තිබිය යුතු වුවත් එවැන්නක් මෙහිදී සිදු වී නැත. පාසල් සහ ක‍්‍රීඩා සමාජ අතර බෙදාහැරීමට යනුවෙන් සඳහන් කර තිබුණ ද පාසල් හා ක‍්‍රීඩා සමාජ හඳුනාගෙන ඒවායේ අවශ්‍යතාව පිළිබඳව කිසිදු සමීක්ෂණයක් කර නැත.
ඒ සියල්ලට වඩා බරපතළ කාරණය වන්නේ ඉල්ලීම් කිරීම්, ලබාදීම් සිදුව ඇති බව ලිඛිතව සඳහන් වුවද මේ එකදු කැරම් බෝඞ් එකක් හෝ දාම් බෝඞ් බෙදාහැරීමක් සිදුව නොතිබීමය. විගණකාධිපති වාර්තාවෙන්් ද ඒ බව පැහැදිලිය.

බඩු නෑ අත්සන් කළා

මෙම වංචාවේ අපූරුම කොටස හෙළිවන්නේ භාණ්ඩ බාරගත් බවට සහතික කරන ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්ත මේන්තුවේ ගබඩා භාරකරුගේ කට උත්තරයේය. පී.ජී.ඒ.එන්. ගුණසේකර වන ඔහු හිටපු ක‍්‍රීඩා අමාත්‍යවරයා හිතවත්කම් උඩ නාවලපිටියෙන් රැගෙන විත් රැකියාව ලබා දුන්නෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2015 අපේ‍්‍රල් 08 වන දින විගණකාධිපති දෙපාර්ත මේන්තුවට ගුණසේකර මහතා කැඳවා ප‍්‍රශ්න කරන අතර ඔහු එහිදී දෙනුයේ අපූරු පිළිතුරකි. හිටපු ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මියගේ සහ අමාත්‍යංශ ලේකම් කාර්යාලයෙන් ලැබුණු නියෝගයක් අනුව උක්ත භාණ්ඩ භාරගත් බවට ලේඛනවලට අත්සන් කළ බවය.

අදාළ භාණ්ඩ තමා භෞතිකව (දෑසින් නොදුටු) බවත් තොග ලේඛනවලට ඇතුළත් කර නොගත් බවත් එසේ කටයුතු කිරීම බරපතළ වරදක් බවත් ඔහු පිළිගෙන ඇත.
තොග භාරගත් බවට අත්සන් කළ ලේඛනවලට තමාගේ නම නිශාන්ත ගුණතිලක සහ හැඳුනුම්පත් අංක 761991350V යනුවෙන් සාවද්‍ය ලෙස සටහන් කර ඇති බවත් එය නිවැරදි නොකර තමාගේ අත්සන යෙදූ බවත් මොහු පිළිගෙන ඇත. මෙය බරපතළ වංචාවකි. සියල්ල සිදුව ඇත්තේ සූක්ෂ්ම ලෙසය. ගබඩා භාරකරුද ලිපි කීපයක අත්සන් කිහිපයක් යොදා ඇත. ආණ්ඩු මාරු නොවෙතැයි සිතා සැහැල්ලූවට සියල්ල කළ ද අද ක‍්‍රීඩා අමාත්‍යංශයේ ගබඩා භාරකරු ජී.ජී.ඒ.එන්. ගුණසේකර විගණකාධිපති පරික්ෂණයේදී සහතික වන්නේ එම භාණ්ඩ තමන් කිසි දිනක නොදැක්ක බවත් එම භාණ්ඩ සැබැවින්ම ලැබුණාද කියා නොදන්නා බවත් කොටින්ම එලෙස භාණ්ඩ බෙදාහැර ඇතැයිද කියා තමා නොදන්නා බවය. වත්මන් ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා තමාගෙන් මේ පිළිබඳ විමසූ බවත් එහිදී කිසිවක් ඔහුට ප‍්‍රකාශ නොකළ බවත් ඔහු විගණකාධිපති පරීක්ෂණයට දුන් කට උත්තරයේ සඳහන්ය.

එදා අලූත්ගමගේලාට ඕනෑ ලෙස ක‍්‍රියා කළ අද ඒ සියල්ල වැරදි බව පිළිගන්නා ගබඩා භාරකරු හිතාමතාම දැනුවත්භාවයෙන් යුක්තව මෙම සාවද්‍ය ගනුදෙනුවට සම්බන්ධ වී ඇති බැවින් සිදුවී ඇති මූල්‍ය අලාභයට ඔහුද වගකිව යුතු අයෙකු බව නිරීක්ෂණය වී අවසන්ය.

මෙවැනි තක්කඩිකම් කළ මහින්දානන්ද අද වීරයෙක්, පාරිශුද්ධ චරිතයක් ලෙස සමාජයේ පෙනී සිටියි. මේ පිළිබඳ දැන දැනම නවීන් දිසානායක ද මෙම වාර්තා අඩංගු ලිපිගොනු රහසේ ආරක්ෂා කරයි. ඇත්ත තත්ත්වය එයය.

විගණකාධිපති වාර්තාවට අනුව මෙය බරපතළ වංචාවකි. ලංකා සතොස ආයතනයෙන් මේ පිළිබඳව විමසා බැලීමේදී මෙම කැරම් සහ දාම් බෝඞ් ක‍්‍රීඩා අමාත්‍යාංශයට සපයා ඇති බවත් ඒ වෙනුවෙන් රු.39,061,290,17 ක මුදලක් ඔවුන්ට ලැබිය යුතු බවත් සඳහන්ය. ඒ කෙසේ වෙතත් විගණන පරීක්ෂණයේදී පවා මෙම කැරම් සහ දාම් බෝඞ් කිසිවක් අමාත්‍යංශය මගින් බෙදැහැරිය බවට සාක්ෂි කිසිවක් අනාවරණය කරගෙන නොමැත. ඒ නිසාම මෙය බරපතළ මූල්‍ය වංචාවක් වශයෙන් විගණන පරීක්ෂණය මගින් නිරීක්ෂණය කර ඇති අතර ඒ අනුව 1982 අංක 12 දරණ පොදු දේපලවලට එරෙහි වූ වැරැුද්දක් ලෙස සලකා ක‍්‍රියාකළ යුතුව ඇති බව නිරීක්ෂණයෙන් නිගමනය වී ඇත. තවද මේ පිළිබඳව මුදල් රෙගුලාසි සංග‍්‍රහයේ 156 සහ 103(1)(ආ) වගන්තිවලට අවධානය යොමු කළ යුතු බවත් නිරීක්ණයේ ඉල්ලීමයි.

හිටපු ක‍්‍රීඩා අමාත්‍යාංශ ලේකම් නන්ද මල්ලවආරච්චි මහතා නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ බැවින් ඔහු ගෙන්වා ප‍්‍රශ්න කිරීමට එම අංශවල නිළධාරීන් මැලිවන බව පැවසේ. තත්ත්වය එසේ නම් තවමත් පවතිනුයේ රාජපක්ෂලාගේ පාලනයමද? ජොන්ස්ටන්, බැසිල් කළ දේම මහින්දානන්දද කර ඇත. එසේ නම් මහින්දානන්ද අලූත්ගමගේ බන්ධනාගාර රෝහලට දාන්නේ කවදාද? මන්ත‍්‍රීවරු අත්අඩංගුවට ගැනීමට එරෙහිව නීතිය ඉදිරියට යනවා යැයි සුසිල් පේ‍්‍රමජයන්ත මහත්වරු අද කියනුයේ මෙවැනි හොරුන් වෙනුවෙනි.

හොරුන් වුව තමන්ගේ පැත්තේ නම් කම් නැත යන්න මේ දේශපාලනය කියන රහසය. ප‍්‍රසිද්ධ රහසය. අලූත්ගමගේගේ කැරම් සෙල්ලමේ ලිපි ගොනුව යට ගසමින් ක‍්‍රියා කළ නවීන්ලාගේ යහපාලනයේ තරමද ඉන් කියාපාන්නේ ද ඒ රහසමය. හොරුන් දූෂිතයන් ඇල්ලීමට සැවොම කැමති නැත. ඊට කැමැත්තේ සුළුතරයකි. මෙතරම් හෝ දේ නිරවුල් වන්නේ ඒ සුළුතරය හේතුවෙනි. අලූත්ගමගේගේ අලූත් සෙල්ලම සහ එකම සෙල්ලම මෙය නොවන බව කිව යුතුව ඇත. හුඟක් සුද්දෙට වැඩ කළ අය බොහෝ සුද්දෙට වැඩ කරගෙන ඇති බව කිව යුතුව ඇත.

අතට අත දෙන්නට බිය විය යුත්තේ ග‍්‍රීකයන්ට නොවන බව නූතනයට අනුව ගලපා ගත යුතුය.

රාවය පුවත්පත

Check Also

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...