සිදුවීම් සිය ගණනක් වූ පසුවත් විරෝධයක් නැති අපේ රටේ මන්දනා ඉස්මයිල් අබේවික‍්‍රම හා රොමේෂ්ගේ නිවහනට සන්නද්ධ මැරයන් කඩාවැදීම සාමාන්‍යකරණය වී තිබේ. යුද හමුදා සොල්දාදුවන් ලෙස සිටි පිරිසක් විසින් සිදු කළ මේ ‘වික‍්‍රමය’ ගැන පුවත්පත් සාකච්ඡාවකින් හෝ ජනමාධ්‍ය නිවේදනයකින් සෑහීමකට පත් වන්නට බොහෝ දේශපාලන පක්ෂවලටත් සිදුව තිබේ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සියලූ දෙනාටම පෙර නිවේදනය කළේ මෙය කොල්ලකෑමක් මිස අන්යමක් නොවන බවයි. කිසිවකු ඒ ගැන අදහස් පළ කරන්නට පෙර නියෝග අනුව පොලිසියේ අදහස මෙසේ කියන්නට ඔහුට සිදුව තිබුණා විය හැකිය.
සිදුවීමට සම්බන්ධ හමුදා භටයන් ගැන වෙබ් අඩවිවලින් කල්තියාම ඒ තොරතුරු මුදා හරින ලදී. ඉන්පසුව ඒ තොරතුරු සත්‍ය බව බලධාරීන්ට පිළිගන්නට සිදු විය. අපරාධයක් සිදුව තිබිය දී ඊට සම්බන්ධ චූදිතයන් හසුවී සිටිය දී එකී පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු හෙළිදරව් කරන්නට ඔවුන් අකැමැති වූයේ ඇයිදැයි සැකයකි. හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා බොහෝ ප‍්‍රමාද වී කියා සිටියේ මේ සිදුවීමට සම්බන්ධ සොල්දාදුවන් හමුදාව හැරගොස් බොහෝ කල් බවයි. එයින් අතපිසදා ගන්නට ආරක්ෂක අමාත්‍යාංශයට හැකි යයි කිසිවකු කල්පනා කරනවා විය හැකිය.
දැන් මේ පුවත ගැන මෙරට ජනමාධ්‍යවල ප‍්‍රමාණවත් තොරතුරු පළ වූවාදැයි ගැටලූවක් ඉතිරිව තිබේ. සතිඅන්ත බොහෝ පුවත්පත්වලට එය ආවරණය කරන්නට නොහැකි වූයේ ඒ වන විටත් පුවත්පත් මුද්‍රණය කර අවසන්ව තිබුණු බැවිනි. එහෙත් ඉරිදා බෙදාහරින පුවත්පත්වල ද මේ සිදුවීම ගැන ප‍්‍රමාණවත් අවධානයක් යොමු වූයේ නැත. ඒ නිසාම මෙය තිරය පිටුපස සාකච්ඡුාවකින් යට ගසන්නට නියමිත බව නම් පැහැදිලිය. මින් පෙර ජනමාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය වෙත එල්ල වූ ප‍්‍රහාරවල දී සැකකරුවන් කිසිවකු හසුකර ගන්නට අසමත් වූ අවස්ථා සිය ගණනකි. එහෙත් මන්දනාගේ සිදුවීමේ දී කතාව බොහෝ වෙනස්ය. ඒ නිසාම අපි ඒ කතාව කෙටියෙන් ලියා තබන්නෙමු.
බම්බලපිටිය සාන්ත පාවුලූ බාලිකා විදුහලට ආසන්නයේ ඩික්මන් පාරේ පිහිටි නිවස දෙසින් වෙඩි හඬ ඇසුණි. ගැහැනුන් පිරිමින් බියපත්ව විලාප දෙන හඬ නිසා සිය ප‍්‍රදේශයේ සෙසු නිවෙස්වල ජීවත් වූ නාගරිකයෝ බියපත් වූහ. සිදු වන්නේ කුමක්දැයි කුතුහලයට පත් වූහ.
වෙඩිහඬ ඇසුණු නිවසේ ගේට්ටු කණුවේ M.M.Ismail යනුවෙන් නිවෙස් හිමියාගේ නම සලකුණු කර තිබේ. සන්ඬේ ලීඩර් පුවත්පතේ මාධ්‍යවේදිනියක ලෙස සේවය කරන මන්දනාගේ නිවස එයයි. ඇය සිය ජීවන සහකරු රොමේෂ් සමඟ එම නිවසේ ජීවත් වූවාය.
හරියටම වේලාව කිව නොහැකි නමුත් පසුගිය දා අලූයම 2.00ට පමණ තම කාමරයේ ආගන්තුක කිසිවකු සිටින බවට මන්දනාට දැනුණි. සිය සහකරුවා එවෙලේ නිවසේ නොසිටි නිසා ඇය බියපත් වූවාය. ‘‘කවුද ඔතන?’’ යනුවෙන් ප‍්‍රශ්න කිරීමට ඇය ධෛර්යය උපදවා ගත්තාය.
පිහියක් හා මන්නයක් ගත් දෙදෙනකු ඇය යටත් කරගත්හ. මුහුණුවල ඇස් පමණක් ඉතිරි වන ලෙස ආවරණය කරගෙන සිටි ආගන්තුකයෝ තර්ජනාත්මකව දන්වා සිටියේ කෑ ගැසීමෙන් ඵලක් නොවන බවය. කපා කොටා මරාදමන්නට තරම් වරදක් තමන් කිසිවකුට කර නැති බව විශ්වාස කළ ඇය ඔවුන්ට කීවේ මුදල්, රත්තරන් බඩු වැනි වටිනා සියල්ල ගන්නා ලෙසත් නිවැසියන්ට හිරිහැර නොකරන ලෙසත්ය.
තමන් පැමිණියේ ඇයට සතුරු කෙනෙකුගේ කොන්ත‍්‍රාත්තුවකට බව පවසමින් එවර ආගන්තුකයෝ සුහදව කතා කරන්නට වූහ. ඒ වන විට ඇගේ පියා සහ මව අවදිව සිදු වෙමින් තිබෙන දෙයින් භීතියට පත්ව නිහඬව සිටියහ. ආගන්තුකයන්ගේ නියෝග අනුව මන්දනාට ඇගේ පෞද්ගලික ලිපිගොනු පෙන්වන්නට සිදු විය. මුදල් හා රත්තරන් බඩුවලින් සෑහීමකට පත් නොවී වෙනත් යමක් ඔවුන් සොයන බව ඇය තේරුම් ගෙන තිබිණි. පැය තුනකට ආසන්න කාලයක් ගෙවී ගියේය.
පෙරදින සවස නිවසෙන් බැහැරව ගිය රොමේෂ් නිවෙසට ළඟා වූයේ පාන්දර 5.00ට පමණය. පවුලේ සෙසු සාමාජිකයන් අවදි නොකරනු පිණිස මන්දනාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගත් ඔහුට දැනගන්නට ලැබුණේ එය ක‍්‍රියාවිරහිත බවය. නිවසේ ගේට්ටුව විවෘතව තිබීමත් මේ තරම් උදයේ විදුලි පහන් සියල්ල දල්වා තිබීමත් නිසා ඔහුට වැටහුණේ අසාමාන්‍ය යමක් සිදු වෙමින් තිබෙන බවය. දින කිහිපයකට පෙර නිවස ඉදිරියේ බළලකුගේ මළකුණක් දමා ගොස් තිබීමත් පෙර දිනයේ තම මෝටර් රථයේ ටයරය කපාදමා තිබීමත් නිසා ඔහුට යම් අනතුරක සේයාවක් දැනුණි. දොරට තට්ටු කිරීමෙන් ද ප‍්‍රතිචාර නොලැබුණු නමුත් නිවස තුළ ආගන්තුකයන්ගේ කටහඬ ඔහුට ඇසුණි. වහාම තම ජංගම දුරකථනයෙන් 119 අංකය ඇමතූ ඔහු තම නිවසේ කිසියම් අනතුරක් බවට පැමිණිලි කළේය.
පොලිස් කණ්ඩායම නිවෙස වට කළ අතර තමන් කොටු වී ඇති බව වටහා ගන්නා විට ආගන්තුකයෝ වියරු වැටුණාහ. නිවස තුළට ඇතුළු වීමට උත්සාහ කළ පොලිස් නිලධාරියකුගේ හිසට මන්නා පහරක් එල්ල කර පලා යාමට ඔවුන් ගත් උත්සාහය ව්‍යර්ථ විය. පොලිස් වෙඩි පහරින් තුවාල ලැබ පලා ගිය අයකු අසල මාවතක දී පොලිසියට හසු විය. අනෙක් සිව් දෙනෙක් නිවස තුළදී ම අත්අඩංගුවට පත් වූහ.
මන්දනා ඉස්මයිල් අබේවික‍්‍රම ජනමාධ්‍ය වෘත්තිය තුළ කැපී පෙනුණු කාන්තාවකි. සන්ඬේ ලීඩර් පුවත්පතේ ඇය කළ කාර්ය භාරය වෙනුවෙන් කිහිප වරක්ම ජනමාධ්‍ය සම්මාන ලැබූ ඇයට සතුරන් සිටියේ නම් ඒ ඇය කළ හෙළිදරව් කිරීම් නිසා කුපිත වූවන් බව පැහැදිලිය. ආණ්ඩුවේ ඉහළම පුද්ගලයන් හා ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් ඇය කළ හෙළිදරව් කිරීම් අතුරින් කවුරුන් විසින් ඇය ඉලක්ක කළාද යන්න විසඳිය යුත්තේ අපරාධ පරික්ෂණයකිනි.
එහෙත් ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදු වූ අපරාධ ඉතිහාසයේ අලූත් තත්වයක් ඇතිව තිබේ. දැන් අපරාධකරුවන් සිව් දෙනකු අත්අඩංගුවේ සිටී. තමන් පැමිණියේ කොන්ත‍්‍රාත්තුවකට යැයි කී ඔවුන්ගෙන් මේ අපරාධය පසුපස සිටියේ කවුදැයි හෙළිදරව් කරගැනීම අපහසු නොවනු ඇත. ලංකාවේ පොලිසිය මේ දක්වාම එවැනි අපරාධ දින කිහිපයකින් හෙළිදරව් කළ අවස්ථා තිබේ. එහෙත් ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදු වූ අපරාධ කිසිවකට අදාළ පසුබිම හෙළිදරව් කෙරුණේ නැත. මේ දක්වාම එබඳු අපරාධකරුවන් නිදැල්ලේ සිටී. මන්දනාගේ නිවසේ සිදුවීමෙන් දින ගණනාවක් ඉක්ම ගොස් ඇත. එදා පැමිණි පිරිසගේ නම් හා ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු මේ වන විටත් අනාවරණය වී හමාරය. එහෙත් පොලිසිය කියන්නේ මෙය කොල්ලකෑමක් බව පමණි. අපරාධය හෙළි වූ මුල් පැය කිහිපය තුළම එය කොල්ලකෑමක් බව කියන්නට තරම් පොලිසිය ‘දක්ෂ’ වූයේ කෙසේද? අපරාධය පිළිබඳ නිසි ගවේෂණයක්, අපරාධ පරීක්ෂණයක් සිදු නොකොට එවැනි නිගමන ප‍්‍රකාශ වීමෙන් පෙනී යන්නේ පොලිසියට මේ සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් අවශ්‍ය නොවන බවය. කිසියම් බලවේගයක් නිසා පොලිසියට අතපය හකුළා ගෙන සිටින්නට සිදුව ඇත.
මන්දනාගේ නිවසට කඩාපැන ඇගේ ලිපිගොනුවලින් කුප‍්‍රකට ‘ක‍්‍රිෂ් ගනුදෙනුව’ ගැන යමක් සොයා ගැනීමට සන්නද්ධ කණ්ඩායමක් යෙදවූ ‘කොන්ත‍්‍රාත්කරු’ පොලීසියට ද කොන්ත‍්‍රාත්තුවක් දී ඇති බව නම් අනුමාන කළ හැකිය.