සිය අනියම් සැමියා සමග හොර රහසේ පෙම් සුව විඳිමින් දෙදෙනාගේ නිරුවත් ඡායාරූප ජංගම දුරකථන කැමරා කාචයට අසුකර ගනිමින් අනියම් සැමියාගේ බැංකු ගිණුමේ තිබූ රුපියල් ලක්‌ෂ ගණනක මුදල් සූක්‍ෂම අන්දමින් වංචා සහගතව ලබාගනිමින් පසුව ඔහු තමාට හිරිහැර කරන ලද බවට මතුගම පොලිසියට පැමිණිල්ලක් කළ බව කියන කාන්තාවකගේද ඇයගේ අනියම් සැමියාගේද ජංගම දුරකථන ඡායාරූප පිළිබඳව පරීක්‍ෂණ පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස මතුගම අතිරේක මහෙස්‌ත්‍රාත් තරංගා මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්‌ෂණ ඉංජිනේරු පීඨයට නියෝග කළාය.
කළුතර නගර මධ්‍යයේ පස් මහල් රාජ්‍ය ගොඩනැඟිල්ලක ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්‌ථානයක සේවය කරන මෙම කාන්තාවගේ පැමිණිල්ල මතුගම පොලිසිය කළුතර කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රන්මල් කොඩිතුවක්‌කු මහතාගේ උපදෙස් පිට කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශය වෙත පරීක්‍ෂණ සඳහා ඉදිරිපත් කර තිබිණි. පැමිණිල්ල පිළිබඳව පරීක්‌ෂණ පැවැත්වීමට ඇයගේ අනියම් සැමියා වන ලංගම බස් රථ රියෑදුරු පොලිසියට කැඳවූ අවස්‌ථාවේදී ඔහු සිය බැංකුවේ ගිණුමෙන් මුදල් ගෙන ඇය වෙත මුදල් ලබාදුන් ආකාරයද ප්‍රකාශ කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මම ඇයට හිරිහැර කරන්නේ නැහැ. මා සමග ඇය අඹු සැමියන් ලෙස ගත කළ අයුරු මෙම ජංගම දුරකථන කැමරාවේ තිබෙනවා යෑයි ඔහු පොලිසියට ප්‍රකාශ කිරීමෙන් පසුව එම කැමරාවද ගමනා ගමන වෛද්‍ය මණ්‌ඩලයේ සේවය කරන පැමිණිලිකාර කාන්තාවගේ ජංගම දුරකථනයද මෙසේ පරීක්‍ෂණ සඳහා පොලිස් භාරයට ගෙන ඇත.
මෙම කාන්තාව ප්‍රබල දේශපාලනඥයෙකුගේ ආදරය කාලයක් දිනාගෙන සිටි බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයිද වාර්තා වේ.
කළුතර කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රන්මල් කොඩිතුවක්‌කු මහතාගේ උපදෙස් පිට කළුතර කොට්‌ඨාස භාර කාන්තා හා ළමා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂිකා මල්කා තුෂාරි මහත්මිය මේ පිළිබඳව වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.