19.4 C
London
Thursday, June 19, 2025
spot_img

අනංග හොරා මාට්ටු වු හැටි

කඩවත සූරිපාළුවේ පිහිටි ඇඟලුම් සේවිකාවන්ගේ නේවාසිකාගාරයට මහ රෑ ඇතුළුවූ සොරෙකු සේවිකාවන් නිදාසිටි ස්‌ථානවලට ගොස්‌ ඔවුන් අතපත ගා ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන 8 ක්‌ සොරා ගෙන ගොස්‌ කඩවත පොලිසිය යෙදවූ උපාය දූතිකාවක්‌ මගින් හෝරා කීපයක්‌ ගතවීමට පෙර අපරාධ අංශයේ ස්‌ථානාධිපති පො.ප. ගැමුණු ගුණරත්න මහතා විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.

සේවිකාවන්ගේ පැමිණිල්ල මත නේවාසිකාගාරය පරීක්‍ෂා කිරීමට ගිය පරීක්‍ෂකවරයා සොරකම් සිදුකර පලාගොස්‌ ඇති සැකකරු අල්ලා ගැනීමට සූක්‍ෂම උපායක්‌ යෙදිය යුතු බව තීරණය කර ඒ සඳහා උපාය දූතිකාවක්‌ යෙදවීමට කටයුතු කළේය.

ඒ අනුව සොරාගත් ජංගම දුරකථන කීපයක අංක ලබාගත් පොලිස්‌ පරීක්‍ෂකවරයා ඒ සඳහා යොදවා ගත් දූතිකාවට අවශ්‍ය උපදෙස්‌ දී දුරකථන අංක කීපයක්‌ දී ඉන් එකකට ඇමතීමට අණ කළේය. එය අසාර්ථක විය. දෙවැනි අංකය දී එයට අමතන ලෙස දැනුම් දුන්නේය. එය සාර්ථක විය. ඒ අනුව ඔහු සමඟ කථා බහට එක්‌වූ ඇයට ඔහු සමඟ මිතුරුදමක්‌ ඇතිකර ගැනීමට වැඩි වේලාවක්‌ ගතවූයේ නැත. මිතුරු දම සුළු මොහොතකදී ආදරවන්තයන් බවට පත්කර ගැනීමට ඇයට ගතවූයේ සුළු මොහොතකි.

ඔහු සමඟ දැඩි සමීපතාවකට පත්වූ ඇය ඔහු කථා කරන ඕනෑම ස්‌ථානයකට පැමිණීමටද කැමැත්ත ප්‍රකාශ කළාය. ඇගේ වචනයෙන් කුල්මත් වූ ඔහු ඇයට පැමිණිය යුතු ස්‌ථානයක්‌ දැනුම් දුන්නේය. එම ස්‌ථානයට පැය 1/2 ක්‌ ගතවීමට පෙර පැමිණෙන බවට සහතික වූ ඇය ඔහුගේ දුරකථන අංකයද ලබාගෙන සංවාදය නිම කළාය.

උපාය දූතිකාව සඟවා ගෙන සිටි දුරකථනයට සවන් දෙමින් සිටි පොලිස්‌ පරීක්‍ෂක ගැමුණු ගුණරත්න මහතා ඇතුළු කණ්‌ඩායම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ජුනි මස 17 දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සැකකරු ඉහළ බියන්විල ප්‍රදේශයේ මත්කුඩුවලට ඇබ්බැහිවූ කාන්තා ඇසුරට කැමැති 37 හැවිරිදි අයෙකි.

කඩවත පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ගැමුණු ගුණරත්න මහතා සමඟ මෙම වැටලීමට උ.පො.ප. සුභාෂන, පො.කො.(12853) ප්‍රියදර්ශන, පො.කො.(83825) ඒකනායක යන නිලධාරීහු සහභාගි වූහ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles