ඉන්දීය අගමැතිවරයා ලෙස නරේන්ද්‍ර මෝඩි මහතා දිවුරුම් දීමේ උළෙලට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඇරැයුම් කිරීම පිළිබඳව භාරතීය ජනතා පක්‍ෂයට සහාය දැක්වූ පක්‍ෂයක් වන එම්. ඩී. එම්. කේ. පක්‍ෂයේ මහලේකම් වයිකෝ විරෝධය පළකර තිබේ.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට උත්සවයට ආරාධනා කිරීමෙන් ඉන්දියාවේ දෙමළ ජනතාවගේ හැඟීම්වලට පීඩාවක් වන බව පවසන වයිකෝ පරාජිත කොංග්‍රස් ආණ්ඩුව එල්. ටී. ටී. ඊ. ය පරාජය කිරීමේ සටනේදී ශ්‍රී ලංකාවට උදවු කිරීම නිසා දහස් ගණනක් දෙමළ ජනතාව මියගිය බවයි.
සිය දිවුරුම් දීමේ උත්සවයට සාෆ් රටවල නායකයන්ට ආරාධනා කිරීමේ කැමැත්ත පිළිබඳ භාරතීය ජනතා පක්‍ෂ නව නායක නරේන්ද්‍ර මෝඩිට හා පක්‍ෂයේ ජාතික සභාපති රජ්නාත් සිං වෙත “පැහැදිලි කළ නොහැකි” ශෝකයකින් ලිපියක් යවා ඇති වයිකෝ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා උත්සවයට පැමිණියහොත් ලොව පුරා වෙසෙන දෙමළ ජනතාව පීඩාවට පත්වනු ඇතැයිද සඳහන් කර ඇත.
එවැනි තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට උත්සවයට සහභාගි වන ලෙස ආරාධනා පත් යැවීම බරපතළ ගැටුමක් වන තත්ත්වයක් බව පෙන්වා දී ඇති එම්. ඩී. එම්. කේ. නායකයා සාක් රටවල රාජ්‍ය නායකයන් හට ආරාධනා කිරීමේ පදනම මත ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ආරාධනා කිරීම පිළිගත නොහැකි බව පවසා තිබේ.
1998 – 99 ඒ. බී. වජ්පායි මහතා අගමැතිවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයට හා 2004, 2009 එක්සත් ජනතා සන්ධාන රජයේ අගමැති මන් මෝහන් සිං දිවුරුම් දීමේදීද කලාපයේ නායනයන්ට ඇරැයුම් නොකළ බවද වයිකෝ සිය ලිපියෙන් සිහිපත් කර ඇත.