අද හුඟක් දෙනෙකුගේ හිත්වල තාත්තා සිංහල ජාතියට බුද්ධාගමට කරපු සේවය ගැන තැකීමක් නැහැ

ප්‍රවීණ ගායක අල්හාජ් මොහිදීන් බෙග්ගේ වැඩිමහල් දියණිය ජනප්‍රිය ගායිකා මොයිනා බේගම්

ශ්‍රී ලාංකීය සංගීත ක්‍ෂේත්‍රයේ බොදු බැති ගී පිළිබඳ කතාකිරීමේ දී අල්හාජ් මොහිදින් බෙග් ප්‍රවීණ ගායන ශිල්පියාට සුවිශේෂ තැනක් හිමිකර දීමේ කිසිදු වරදක් නැත. අඩසිය වසකට ආසන්න කාලයක් පුරා සිංහල සංගීත ක්‍ෂේත්‍රයේ සුවිසල් ප්‍රතිරූපයක් ගොඩනංවා ගැනීමට සමත් වූ මේ මහා ගායකයාමීට වසර විසි තුනකට පෙර එනම් 1991 වසරේ අප කිසිවකුත් නොසිතූ ලෙස මෙලොව හැර ගියේ සකල විධ ශ්‍රී ලාංකීය සංගීත ලෝලීන් සේම සමස්ත ශ්‍රී ලාංකීය බොදු ජනතාවම සෝ ගඟු‍ලේ ගිල්වමිනි.
නමුදු එදා මෙදා තුර රසික හදවත් තුළ නිබඳවම ලැගුම් ගත් සෑම වෙසක් සමයක් සමග මෙම මහා ගායකයා ගේ ගැඹුරු බැති ගී ස්වරය මේ දිවයිනේ දස දෙස පැතිර යනුයේ කිසියම් හාස්කම් බලයකින් මෙනි. මේ එම සුවිශේෂ ගායකයාණන්ගේ වැඩිමල් දියණිය වන ජනප්‍රිය ගායිකා මොයිනා බේගම් සමග රැජිණ කළ සුහද පිළිසඳරකි.

* සෑම වෙසක් සමයක් සමගම රටපුරා රැව්දෙන ඔබේ පියාගේ බොදු බැති ගී හඬ ගැන මොකද හිතෙන්නේ ?
සෑම වෙසක් කාලෙකම අපේ තාත්තා ගැයූ බෞද්ධ ගීත ප්‍රචාරය නොවෙන ගමක් නගරයක් නැති තරම්. හුඟක් පන්සල්වල, තොරන් කූඩු ළඟ වගේම දන්සල් ළඟත් තාත්තාගේ ගී වරදින්නේම නැහැ. සමහරුන් විහිළුවට වගේ කියනවා දන්සල් බතක් හරියට ඇඟට අල්ලන්න නම් බෙග් මාස්ටර්ගේ සින්දුවකුත් ඇහෙන්නම ඕනේ කියලා තවත් අය කියනවා මේ රටේ වෙසක් උත්සවේ තියනකම් අපි කවුරු මළත් බෙග් මාස්ටර් නම් මැරෙන්නේ නෑ කියලා. මේවා මිනිස්සු කියන කතා මිසක් අපි හදපු කතා නොවෙයි.

* මනා ගායන හැකියාවක් තිබුණත් මොයිනා ගායනයට එකතු වුණේ ඔබේ පියාගේ අභාවයෙන් පසුව. ඇයි ඒ ?
මගෙ තාත්තා සංගීතය වෙනුවෙන් ජීවිතයම කැප කරපු කෙනෙක්. නමුත් ඔහු කැමති වුණේ නැහැ; මමවත් අයියලාවත් ඊට යොමු වනවා දකින්න.

* ඇයි ඒ ?
සංගීතයට ඇප කැප වුණාට මගෙ තාත්තාට ලැබුණු දෙයක් නැහැ. තාත්තා ඉන්න කාලෙත් අපි බොහෝම ආර්ථික ගැටලුවලට මුහුණ දුන්නා. ඒ නිසා තාත්තා අපිව සංගීතයට යොමු කරවන්න කැමති වුණේ නැහැ. ඒ අපිත් හැමදාමත් දුක් විඳියි කියන බයට.

* වෘත්තීය ගායකයකු විදිහට බෙග් මාස්ටර් මුහුණ දුන් ආර්ථික ගැටලු ගැන කතා කළොත් ?
තාත්තාට පස්සෙ කාලෙක ආදායමක් ලැබුණේ සංගීත ප්‍රසංගවල ගී ගැයීමෙන් විතරයි. හැමදාම සංදර්ශන නැහැ. අවුරුදු කාලෙකට ටිකක් වැඩිපුර ප්‍රසංග තියෙනවා. ඒ වගෙ කාලවලදී තාත්තා හවස 6.00ට ගෙදරින් පිටත්වෙලා පහුවදා එළිවෙලා තමයි ගෙදර එන්නේ. ඒ දවස්වලට සමහර ප්‍රසංගවලට තාත්තට ලැබෙන්නේ රු. 500ක් 1000ක් වගෙ ගාණක්. අසනීප තත්ත්වය තියාගෙනත් තාත්තා රෑ එළිවෙනකල් සින්දු කියලා සමහර දාට රුපියල් 500ක් විතර තමයි අරගෙන එන්නේ.

* ප්‍රසංග සංවිධායකයන් මුදල් නොදී හැරියද?
නැහැ. තාත්තාට එක රැයකට ප්‍රසංග දෙක තුනක් ලැබෙන දවසකුත් තිබුණා. ඒත් ඒ ප්‍රසංගයක් ඉවර වෙලා තවත් එහෙකට යනකොට අන්තිමට යන ප්‍රසංග අවසන් වෙලා. එතකොට ආයෙම හැරිලා එන්න සිදුවූ අවස්ථාත් තිබෙනවා.

* සංගීත සංදර්ශනවල ගායක ගායිකාවන් වේදිකාවට පිවිසිය යුත්තේ පැමිණි අනුපිළිවෙළට ඒත් බෙග් මාස්ටර් වැන්නකු එසේ ‍පෝලිම්වල රඳවා ගෙන නොතබා ප්‍රමුඛත්වය දිය යුතුව තිබුණා. 
දැන් ඉතින් ඒ ගැන කතා කරලා වැඩක් නෑ. පස්සේ කා‍ලේ සංගීත ක්‍ෂේත්‍රයේ සිද්ධ වුණු දේවල්වලින් තාත්තා හුඟක් කලකිරිලයි හිටියේ.

 * ප්‍රසංග වේදිකාව තුළ වගේම ක්‍ෂේත්‍රය තුළත් බෙග් මාස්ටර්ට වූ සිදු වූ අසාධාරණකම් ගැන කතා කළොත් ?
මොහිදින් බෙග් කියන්නේ මේ රටේ ශ්‍රේෂ්ඨ ගායකයෙක් කියලා තාත්තාට ගරු කළ අයත් සිටියා. එසේ නොකළ අයත් හිටියා. කවුරුත් දන්න විදිහට තාත්තා බොහොම අහිංසක මනුස්සයෙක්. ඇතැම් අය විහිළුවට දුරකථනයෙන් කථා කරලා ප්‍රසංගවලට ආරාධනා කළ අවස්ථා තිබුණා. තාත්තා නියමිත දිනේට එතැනට යද්දී ඒ කියන විදියේ ප්‍රසංගයක් එතැන නැහැ. අපි දන්න විදිහට කලාක්‍ෂේත්‍රයේ ජනප්‍රිය කෙනෙකුත් ඔය වගේ වැඩ කළා. ඒ වෙද්දී තාත්තට වයස හැත්තෑපහයි. ඒ පුද්ගලයා ඒ වගෙ විහිළුවක් කළේ තමන්ගෙ තාත්තගෙ වයසේ කෙනෙකුට. ඒ වගෙ දෙවල් හින්දා තාත්තා හරියට හිත රිදවා ගත්තා.

* ඉතින් මොකක්ද ඒකට එරෙහිව ගත්තු පියවර ? 
ඒ හින්දම පහුවෙන කොට දුරකථනයෙන් ලැබෙන ආරාධනා භාර නොගන්න තාත්තා තීරණය කළා. ගෙදරට ඇවිත් අත්තිකාරම් මුදලක් දීලා ආරාධනා
කළොත් විතරක් ප්‍රසංග භාරගන්න පටන් ගත්තා. ඒකෙන් ප්‍රසංග අඩු වුණා.

* ඒ වගේ තත්ත්වයක් යටතේ ඔබ ඇතුළු පවුල කබලෙන් ළිපට වැටෙන්න ඇති.? 
අපි සහෝදර සහෝදරියෝ අටදෙනෙක් ඉන්නවා. මම පවු‍ලේ බාලයා. තාත්තා නිතරම කිව්වේ දරුවන්ට හොඳට කන්න දෙන්න ඕනෑ කියලා. ඒ හින්දා ලැබෙන හැම සතයක්ම අපි වෙනුවෙන් තමයි වියදම් කළේ. තාත්තා වෘත්තීය ගායකයෙක් වුණු හින්දා අපිට නොයෙක් ආර්ථික ගැටලු තිබුණා. සමහර දවස්වලට අම්මා රත්තරන් බඩු උගස්කරලා ගෙදරට වුවමනා උයන පිහන දේවල් අරගෙන ආවා; තාත්තා සංගීත සංදර්ශනවලින් මුදල් ගෙනැත් දුන්නම ඒ රත්තරන් බඩු බේර ගන්නවා. ඒත් අම්මා එහෙම කරනවට තාත්තා කැමති නැහැ. තාත්තට හොරෙන් තමයි අම්මා රත්තරං බඩු උගස් කළේ. තාත්තා ඒක දැන ගත්තා නම් හුඟක් දුක් වෙන්න ඉඩ තිබුණා.

* බෙග් මාස්ටර්ගේ මරණයෙන් පසු ඔබලාටත් බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදුවුණා
1998 පවුලෙ වැඩිමහල් අයියත් නැතිවුණා. 2000දී අපිට අපේ ගේත් නැතිවුණා. 2006 දී අම්මත් මියගියා. එක දිගට අපිට සිදුවුණේ අභාග්‍ය සම්පන්න සිදුවීම්.

* නිවස අහිමි වීම ගැන කතා කළොත් ?
තාත්තා ලංකාවට ඇවිත් දෙමටගොඩ පාරේ පර්චස් එකයි දශම අටක යන්තම් පය ගහ ගන්න විතරක් පුළුවන් ඉඩමක් අරගෙන හදපු ගෙදර තමයි තාත්තාගේ මුළු ජීවිතේම ගත වුණේ. ඒ ගෙදර 2000දී චන්ද්‍රිකා ජනාධිපතිතුමියගේ රජය පවතින කාලයේදී නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත්තා. නිවස අලුත් වැඩියා කරලා වසර දෙකකින් නැවතත් අපට දෙන ‍පොරොන්දුව පිට තමයි ගත්තේ. ඒත් ඒ විදියට ගත්තු එක ගෙයක්වත් ආපහු හිමිකරුවන්ට ලබාදුන්නෙ නැහැ. දැන් ඒ ගෙවල් කඩලා එතැන කාර් පාක් එකක් තියෙනවා. ඒ පාර අල්හාජ් මොහිදින් බෙග් මාවත විදියට නම් කරන බව කිව්වා. ඒත් තවම ඒ දේ සිද්ධ වුණෙත් නැහැ. මට හිතාගන්න බැහැ අපේ තාත්තා මෙච්චර නොවටිනා කෙනෙක් නම් ඇයි තාත්තා කියපු සින්දුවලට විතරක් අද මෙච්චර වටිනාකමක් ලැබෙන්නේ ඇයි කියලා.

* මේ වසර දාහතර ඇතුළත ඔබලා පදිංචිව සිටියේ කොහේද ?
නාගරික සංවර්ධන අධිකාරියෙන් කුලී පදනම මත අපට ගෙයක් දුන්නා. වසර දෙකෙන් දෙකට ඒ කුලිය ගෙවලා පසුව අපටම ගෙයක් දුන්නා. ඒත් අපේ අම්මා ඒකෙන් ගොඩක් මානසිකව වැටුණා. අම්මා ගේ තුළම හැදී වැඩුණු අහිංසක කාන්තාවක්. තාත්තායි අපියි එක්ක ජීවත් වුණු ගේ මාරු කළාම අලුත් පරිසරය ගැන හිතල අම්මා හරියට දුක්වුණා.

* දශක ගණනාවක් කලාවට කළ සුවිශිෂ්ට මෙහෙය වෙනුවෙන් බෙග් මාස්ටර්ට ලැබුණු දේවල් මොනවාද?
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා තාත්තා වෙනුවෙන් යමක් කරන්න අවංකවම උත්සාහ කළා. ප්‍රේමදාස මැතිතුමා තාත්තාට ෆ්ලැට් එකක

Beg-Doter-Homeගෙයක් දෙන්න අදහස් කරලා යතුරු කැරැල්ලක්ම තාත්තා අතට දීලා කැමති ගෙයක් තෝරා ගන්න කිව්වා. ඒත් තාත්තා ඒක ප්‍රතික්‍ෂේප කළා.

* ඇයි ඒ ?
ඒ නිවාසවල සාලය, නිදන කාමරය නාන කාමරය වැනි ප්‍රධාන අංග තිබුණට ඉඩකඩ මදි. මට මගේ දරවෝ අට දෙනා එක්ක එකට ඉන්න ඕනෑ. මට මේ ගේ මදි කියලා තාත්තා කිව්වා. අද කලා ක්‍ෂේත්‍රයට ඇවිත් මමත් මේ ක්‍ෂේත්‍රයේ ඉන්න අය ගැන හොඳට දන්නවා අද කලාකරුවකුට ඔය අවස්ථාව ලැබුණා නම් “මටයි මගෙ දුවටයි මගෙ පුතාටයි“ කියලා ගෙවල් දෙක තුනක් ඉල්ලයි. ඒත් මගෙ තාත්තා හරිම ප්‍රතිපත්ති ගරුක කෙනෙක්. ඒ ගෙදර ‍පොඩියි කියලා ඒක ප්‍රතික්‍ෂේප කළා මිසක් වෙන කිසිම ඉල්ලීමක් කළේ නැහැ.

* ඔබේ ගැන විස්තර ටිකකුත් මෙහි සඳහන් කරමු.
මගේ සැමියා. අක්බර් ෂෙරිෆ්. මට දරුවෝ තුන දෙනෙක් ඉන්නවා. ගායන හැකියාව තිබුණත් මම ගායනයට ආවේ අහම්බෙන්. සී.ටී. ප්‍රනාන්දු මහතා උපහාර උළෙලකට තාත්තාට ආරාධනා කළා. ඒක තිබුණේ මරදානේ එල්ෆින්ස්ටන් එකේ. ඒත් තාත්තා ඊට සති දෙකකට කලින් මියගියා. ඒ හින්දා අයියල දෙන්නටයි මටයි ඒ ප්‍රසංගයට ආරාධනා කළා. තාත්තාට උපහාර පිණිස එදා මමයි ඉෂාග් අයියයි, ඉල්ලියාස් අයියයි අනේකා ජාති සංසාරේ ගීතය ගායනා කළා. ඉන්පසු අපට දිගටම ප්‍රසංග වේදිකාවට ආරාධනා ලැබුණා. තාත්තයි රුක්මණී දේවියි ගැයූ ගීත එහිදී අයියයි මමයි ගායනා කරනවා. මම රූපවාහිනියේ ඉස්ලාම් වැඩසටහන්වලත් ගී ගයනවා. ඉදිරියේදී සී.ඩී. තැටිය කරන්න බලා‍පොරොත්තු වෙනවා.

* නමුත් ඔබ ඊට බෞද්ධ ගීත ඇතුළත් කරන එකක් නැහැ. 
අනිවාර්යෙන්ම ඒ සී.ඩී. තැටියට බෞද්ධ ගී කීපයකුත් ඇතුළත් කරනවා. ඊට හේතුව මම බෙග් මාස්ටර්ගේ දියණිය වීම.

* බෙග් මාස්ටර්ගේ මුණුපුරු මිණිපිරියන් මතුදාක ගායනයට එකතු වේවිද ?
අයියලගෙ දරුවන් අතර හොඳ ගායන හැකියාව තියෙන අය ඉන්නවා. මගෙ පුතාටත් හොඳට ගී ගයන්න පුළුවන්. ඒත් ඒ අය ගායනයට එකතු වනවා දකින්න අපි කීයටවත් කැමති නැහැ.

* මොකක්ද ඒකට හේතුව ?
මේ ක්‍ෂේත්‍රය තුළ නොයෙක් අසාධාරණකම් තියෙනවා. ඒ වගේම එක එක අන්තවාදී අදහස් තියන අයගෙන් අපිට සාධාරණයක් බලා‍පොරොත්තු වෙන්න බැහැ. තාත්තා සිංහල ජාතියට, බුද්ධාගමට කරපු සේවය ගැන කිසිම තැකීමක් අද හුඟ දෙනෙක්ගේ හිත්වල නැහැ. ඒ අයට ඕනේ තාත්තා කියපු සින්දු විතරයි. ඒ වගේම ලංකාවේ ගායනය තුළ ඉඳලා ආර්ථික පැවැත්ම ගෙන යාමත් අසීරුයි. ඒ හින්දා අපි අපේ දරුවො සංගීතයට යොමු කරන්නේ නැහැ.

ආරියවංශ කුලතිලක

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...