කවුරුවත් කියලා දෙන්නේ නෑ. කාගෙන්වත් අහන්නත් බෑ. මගේ හිත දැන් උදේ හවස කියන්නේම එක දෙයයි, පෘථිවිය භ්‍රමණයවීම එක්වරම නතර වෙලා අදින් පස්සේ දවස් යන්නේ නැතිව මුළු විශ්වයම එක සැරේ නතර වෙයන් කියලා. නැතිනම් මම මගේ එකා ඉස්කෝලෙට යවලා වෙන කාගෙ හරි දරුවෙක් අරගෙන මොන්ටිසෝරිය ළඟට යනව යනවමයි….. ඒ කියන්නේ මට පිස්සු….! මට පිස්සු… දෙසැම්බර් අන්තිම කාලෙදි මේ ගැටලුවට මැදිවෙච්චි සමහරක් අම්මලාට වගේම මටත් පිස්සු.
ටීචර් මොනව කරමින් හිටියත් මගේ ඇස් දෙක තිබුණේ මගේ පොඩි එකාගේ ළඟ. එයා තාමත් අඬනවා. සැරෙන් සැරේට මතක් වෙන ගාණෙ හඬ උස්පහත් වෙනවා. හැංගිලා වගේ ඉන්න මාව චුට්ටක් හරි දැක්ක ගමන් ආයෙත් වැඩියි.
මගේ පුතාට ඔය විදියට අඬන්න ඇරල මම කවදාක්වත් මේ විදියට බලාගෙන ඉඳලා නෑ. ඒත් කරන්න දෙයක් නෑ.
එයාලට පේනදුරින් තියෙන මොන්ටිසෝරියට තවත් හිස් ගොඩනැඟිල්ලක් අසලට, අඬන දරුවන්ගේ අම්මලා එකතු වෙන්න ගත්තා.
පැය භාගයක්, පැයක් යන්න ඇති. දරුවන්ගේ ගැනම සිහියෙන් හිටපු අම්මලා ඊට පස්සේ තමයි එකිනෙකා එක්ක යාන්තමට හරි හිනාවෙන්න ගත්තේ. ඒත් වැඩිපුර කතාබහක්, හඳුනා ගැනිල්ලක් නෑ. අපි හැමෝටම තිබුණේ එකම අරමුණක්. පොඩි එකා අඬද්දි දාලා යන්නේ කොහොමද කියන එක.
ඒ සමඟම අපේ ඉස්සරහට ආව මොන්ටිසෝරි ලොකු ටීචර්. කතා කෙරුවේ ටිකක් අමනාපයෙන් වගේ.
“කරුණාකරලා ඔය අම්මලා ඔතැනින් පොඩ්ඩක් එහාට ගියානම් හොඳයි. ළමයි දන්නව ඔයාල මෙතැන ඉන්නව කියලා. ඒකයි එයාලගේ ඇ¾ඩිල්ල නතර කරගන්න බැරි. තරහ නැතිව දැන් ගෙවල්වලට ගිහින් එකොළහමාරට මෙතෙන්ට ආවනම් හරි…!”
ටීචර් එහෙම කිව්වට අපි කොහොමද මේ බෙරිහන්දිදී අඬන දරුවෝ දාලා යන්නේ. ආපහු එක්කගෙන යන්නත් බෑ. ඒත් කරන්ඩ දෙයක් නෑ… ටීචර් කියන හින්දා මෙතැන තවත් ඉන්න එක ඒ තරම් හොඳ මදි.
සර්වෝදය ගොඩනැඟිල්ලේ, මේ විදියට අසරණ වෙච්චි අම්මලා අපි හිටිය විස්සකට කිට්ටුව. තාත්තල හිටියේ තුන්දෙනෙක් වගේ. අපි ඇවිදගෙන ආවා මහපාරට.
විනාඩි දහයක් විතර ගියාම එතැනින් අම්මලා දෙතුන් දෙනෙක් තමන්ගේ ගෙවල්වලට හරි වෙන කොහාට හරි පිටවෙලා ගියා. ඒත් අපි දහයක් ෙදාළහක් විතර පාරට වෙලා මොන්ටිසෝරිය දිහා බලාගෙන හිටියා. සද්දෙ ඇහෙනවා. මිසක් පේන්නේ නෑ. ඒ හින්දා සිතුණේ දැන් දරුවන්ගෙන් කරදරයක් නෑ වගෙයි.
හිටගෙන ඉඳල -ඉඳල කකුල් දෙක කැඩෙන්න වාගේ. බැරිම තැන බස් හෝල්ට් එකට ගිහින් ඉඳගත්තා.
ඊට පස්සේ තමයි අපි එකිනෙකා කතා කරලා අඳුරගත්තේ. දෙයි හාමුදුරුවනේ, කොයිතරම් දුර බැහැර ඉඳලද මේ දරුවෝ එක්කගෙන ඇවිල්ල තියෙන්නේ.
ඇත්ත. මේ පළාතේ තියෙන හොඳම මොන්ටිසෝරිය මේක. ඒක තමයි අම්මල මෙච්චර දුක් විඳින්නේත්, රස්තියාදු වෙන්නේත්.
අපි එකිනෙකාගේ තොරතුරු විමසමින් කතාවට වැටුණට පස්සේ වෙලාව යනවා තේරුණේ නෑ. එකොළහ හමාර වෙනකොට මොන්ටිසෝරියෙ සීනුව වැදුණා.
හරියට අපිට ගැහුවා වගේ. අපිත් හිටගත්තා.
පොඩි උන් පේළියට එනව අපි දිහාවට. මගේ පුතත් එනව. චහ්! මීට වඩා ලස්සන ඇඳුමක් මෙයාට අන්දවගෙන එන්න තිබුණා. අනෙක් ළමයි සේරම වගේ ඇඳගෙන ඉන්නෙ ගොඩාක් වටිනා පාට පාට ලස්සන ඇඳුම්. හොඳ සල්ලිකාරයන්ගේ දූ දරුවො වෙන්නැති. පේන්නෙ නැද්ද අම්මලත් රත්තරන් පුරවගෙන ඉන්න හැටි.
මට හිමීට මගේ කර අත ගෑවුණා. ඒ චූටි චේන්එක තියෙනව. මේක තියලා හරි පුතාට හොඳ ඇඳුම් ටිකක් අරන් දෙනව. පව් කොල්ලා.
ඒත් ඒ චූටි පැටියාගේ මුහුණේ එහෙම දෙයක් පෙනුණේ නෑ. එයා හිනාවීගෙන දුවගෙන ආවේ පොත් බෑග් එකත් උස්සගෙනම.
එයා කොච්චර හිනාවුණත්, හුරතල් වුණත් මගේ ඇස් ගියේම අනෙක් ළමයින්ගේ ඇඳුම් දෙසට. මමත් දන්නෙම නැතිව මම ඒ ඇඳුම් මගේ පුතාගේ ඇඳුම එක්ක හිතින් සංසන්දනය කරන්නට උත්සාහ කළා.
දරුවන්ට මේ තරම් වටිනා ඇඳුම් සපත්තු අන්දවන්න මේ ගෑනුන්ගේ මිනිස්සු මොනවා කරන අයද දන්නෙ නෑ. කොහෙන්ද මෙච්චර සල්ලි.
ඊයේ අන්දවගෙන ආවට වැඩිය අද ඇඳුම් ලස්සනයි. ඊටත් වැඩිය අම්මල. එයාලගේ මෝස්තර එකකට එකක් පරාද නෑ. ඇඳගෙන ඉන්න සාරි, ගවුම්, රත්තරන් බඩු, නහය කඩාගෙන යන සෙන්ට් සුවඳ, අපිට නම් ඉතින් ඒව සදාකාලික හීන විතරයි.
දරුවෝ මොන්ටිසෝරිය ඇරිලා එනකම් අපි මේ බස් හෝල්ට් එකට වෙලා ඉන්න එක පුරුද්දක් කරගත්තා.
උදේට නම් තාත්තලා දෙතුන් දෙනකුයි අම්මල සෑහෙන පිරිසකුයි ඉන්නව. ඒත් කොහේ කොහේ යනවද දන්නෙනෑ. මොන්ටිසෝරිය ඇරෙනකම් අපි දහ ෙදාළොස් දෙනෙක් තමයි මෙතනට වෙලා ඉන්නේ. ඇරෙන වෙලාවට තමයි අනෙක් අය සේරම දුවගෙන ඉන්නේ.
දැන්නම් හුඟ දෙනෙක් එකිනෙකාව අඳුරනව. ඉන්න තැන්, ගෙවල් ෙදාරවල් විස්තර, මහත්තයලගේ රස්සාවල් ඒ සේරම වාර්තා කරගෙන ඉවරයි.
අපි සිටින බස් හෝල්ට් එක ඉස්සරහ නතර කළේ අලුත් කාරෙකක්. අපි අතර හිටපු කෙනෙක් ෆෝන් එක කනේ ගහගෙනම අපිට බායි කියල කාරෙකට නැඟල යන්න ගියේ විදුලි වේගයෙන්.
ඒ වාගේ සල්ලිකාරයොත් එක්ක ෆයිට් කරල මගේ පුතා මේ මොන්ටිසෝරියට දාගත්තු එක ලොකු දෙයක්. කමක් නෑ. මේ මාසෙ මහත්තයා පඩි ගත්තාම මොන මොනව අඩු කරල හරි පුතාට තව සූට් දෙකතුනක් අරගෙන දෙන්න ඕන. සපත්තු නම් එක හොඳ ජෝඩුවක් ගත්තම ඇති.
මේක ඇඳුම් තරගයක් නෙවේනේ. කොහෙන් හරි සල්ලි ටිකක් හම්බවෙනකම් මම මේ තියෙන සාරි දෙක අඳිනවා. ගවුම් දෙක තුනකුත් තියනවානේ…! ඒත් කවුරුවත් තාම ගවුම් නම් ඇඳල ආවෙ නෑ. ඔව්! පුතාට හොඳ නැතිවෙයි.
මොනව නැතත් රෝල්ගෝල්ඩ් වළලු දෙක තුනකුයි, චේන්පොටකුයි ගන්නම වෙනවා. පේන්නෙ නැද්ද අනෙක් අම්මල දාගෙන ඉන්න රත්තරන් ගොඩ.
එහෙම කළේ නැත්තන් මෙයාලා හිතයි අපි දුප්පත් කියල. ටීචර්ගෙනුත් පුතාට තියෙන සැලකිලි අඩුවෙන්න ඉඩ තියෙනව.
ටීචර්ට මගේ දරුව කොන් කරන්න දෙන්න බෑ. මමත් ඉල්ලගෙන හරි හොඳට ඇඳගෙන එන්න ඕන. රත්තරන් බඩුවලට ඉමිටේෂන් ගන්න පුළුවන්. ඒත් ඒකටත් රුපියල් දාහක් දෙදාහක් හොයාගන්ඩ වෙනවනේ.
“මොකද අනේ ඔයා ඔච්චර කල්පනා කරන්නේ!”
මම උඩ ගියේ බස් හෝල්ට් එකේ හැමදාම හිටිය අක්ක කෙනෙක් පිටට තට්ටු කරලා කතා කරන කොට.
මට වැඩිය අවුරුදු හතර පහක් විතර වැඩිමල් අක්කා කෙනෙක්. ඇය පිළිතුරක් අපේක්ෂාවෙන් මගේ මුහුණ දිහා බලාගෙන හිටියත් මට කතා කරන්න, කියන්න දෙයක් තිබුණේ නෑ. හිනා වුණා විතරයි.
“එන්න අපි යමු! ටවුන් එකට ගිහින් තේ එකක් බීලා එමු!”
මෙයාගේ හිතට මාව අල්ලල ඇත්තේ අනෙක් අම්මල වගේ වාචාලකමට කච කච ගාමින් ලොකුකම් කතා කරන්නේ නැතිව පාඩුවේ ඉන්න හින්දා වෙන්නැති.
එයා තේ බොන්න ගොඩවුණේ සුද්‍ෙදා පවා යන එන ඉහළ පෙළේ් කැෆේ එකකට.
ඇත්තම කියනවානම් ජීවිතේටම මෙහෙම තැනකට ඇවිල්ලා නෑ. අක්කා කතා කළාට පස්සේ ළඟට ආවේ සුදු ඇඳගත්තු වේටර් කෙනෙක්. ඕඩරයට අනුව ගෙනාවේ සෝටීස් පිඟානක්. සුවඳම සුවඳයි. කන්නත් බෑ නොකත් බෑ.
“ඇයි ඔයා සෝටීස් කන්න අකැමැතිද? එහෙනම් පැණිරස මොනවත්!”
මට කට අරින්න ඉස්සර එයා කේක් ගේන්ඩ ඕඩර් කරලත් ඉවරයි.
අක්කා බිල ගෙව්වේ දෙදාහෙ කොළයකින්. සල්ලි මිටියක් එයාගේ පර්ස් එකේ තිබුණා.
දාහෙ කොළ, දෙදාහේ කොළ, පන්දාහ, ….. අනේ අපේ මහත්තයාගේ පඩි පැකට් එකේ එක දවසයි පන්දාහෙ කොළයක් ආසාවට බලන්න වගේ තිබුණේ.
“ඔන්න ආයෙමත් කල්පනා කරන්න ගත්තා. ඇයි නංගී ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද?”
ඒ අක්ක කතා කරනකොට තමයි මටත් තේරුණේ මේ තේ බොන්න ඇවිල්ලත් මම ඉඳල තියෙන්නේ වෙන කල්පනාවක.
කැෆේ එකෙන් එළියට එන ගමන් එයාගේ ඇහැ ගියේ ඔරලෝසුවට.
“තව පැය භාගයකටත් වැඩිය තියෙනවා…..! එන්න අපි යමු මොනව හරි ඇඳුම් ටිකක් බලමු. මම ඊයේ හවස මහත්තයත් එක්ක ආපු වෙලාවේ දැක්කා අලුත් සාරි වගයක් ඇවිල්ලා තිබුණා. වෙලාවක් තිබුණෙ නැති හින්ද ගියා…”
ඇත්ත අලුත් මෝස්තරවල සාරි වගයක් ඇය තෝරනවා. මමත් ඒව බොරුවට අත ගාමින් හිටියා. එයා සාරි තුනකට සල්ලි ගෙව්ව. මට හිතාගන්ඩ බෑ. එයින් එකක් අරගෙන තියෙන්නේ මට.
“ඔය සාරිය ඔයාට ලස්සනට තියෙයි. මොන්ටිසෝරියට එන අම්මලාගෙන් ලස්සනම ලස්සන තරුණ අම්ම ඔයා. ඒකයි මම අරගෙන දුන්නේ.”
ඇත්තටම එදා රෑට මම නිදිවරාගෙන හැට්ටෙ මහගත්තා. පහුවදා ඇන්දේ ඒ සාරිය. මට ඕන වුණේ හැමදාම වගේ එකම විදිහේ ඇඳුමක් ඇඳගෙන ගිය මගේ දිහා නෝන්ජලේට වගේ බලපු අනෙක් අම්මලාට පෙන්වන්න…!
දැන් මොන්ටිසෝරිය පටන් අරගෙන සතියකටත් වැඩියි. අනෙක් ළමයි එක ඇඳුම දවස් දෙකක් ඇඳගන ආවේ නෑ. ඒත් මගේ හිඟන පැටියට ඒ මොකුත් තේරෙන්නේ නෑ. එයා හැම තිස්සෙම මොන්ටිසෝරිය ඇරුණාම හිනාවීගෙන දුවගෙන එන්නේ එයාලට උරුම ළමා හිනාවෙන්. පව්! කනබොන එකෙන් අඩුකරලා හරි පුතාට තව සූට් දෙකතුනක් අරගෙන දෙනවාමයි….. එතකොට ගිය මාසෙ හිඟවෙලා තිබුණ ගෙවල් කුලිය…! ආයෙත් ගිනිගොඩක්….!
මහත්තයට තුන්මාසේ ලෝන් එකවත් දාන්න පුළුවන්ද දන්නෙ නෑ….. බලමු මොකක් හරි කරන්ඩ පුළුවන් දෙයක් වෙයිනේ.
ඒ කල්පනාව බින්දෙත් අක්කා ඇවිත්. එයාටත් දැන් මම නැතිවම බෑ. එක වෙලාවකට එයා කියන කතාවල් සම්පූර්ණ ඇත්ත කියල හිතෙනවා. අපි මොන්ටිසෝරි ඇරෙනකල් කියල පැය තුනක් විතර මේ බස් හෝල්ට් එකට වෙලා කාලය කා දමන එක මොනතරම් අපරාධයක්ද. බස්වල යන්ඩ එන මිනිසුන්ටත් අපි හින්ද කරදරේ.
අරමුණක් නැතිව වගේ අපි දෙන්න ටවුන් එක පුරාම ඇවිදිනවා. කඩ සාප්පුවලට ගොඩ වෙනවා. බඩගිනි වුණාම මොනව හරි කනව. තේ බොනව. ඒ සේරම අක්කගෙන්. මට මෙච්චර දවසකට ශත පහක් වියදම් කරන්න දුන්නේ නෑ.
සති දෙකක් විතර යනකොට පුතා මොන්ටිසෝරියට හුරුවෙලා. දැන් ඉතින් එයාගේ තනියට කියලා නිකම් බොරුවට බස් හෝල්ට් ගාණේ හිටගෙන ඉන්ඩ ඕනෙ නෑ. පුතා දාලා ඇවිත් ගෙදර වැඩක් පලක් කරගන්නව….. ඒත් ගෙදර වැඩ මොනවද තියෙන්නේ…
මහත්තය උදේ වැඩට යනකොට දවල් කෑම එක අරගෙන යන හින්ද උදේටයි දවල්ටයි එකට කෑම උයන්නේ. රෙදි ටිකක් හෝදන්ඩ තිබුණොත් ඇරෙන්ඩ වෙන වැඩක් ඇත්තෙම නෑ. ගෙදරට වෙලා ටී.වී. එක බලාගෙන ඉන්ඩ තමයි තියෙන්නේ.
මේ මොන්ටිසෝරියට අපේ පැත්තෙන් වෙන කවුරු හරි දරුවෙක් ආවනම් එයාලා එක්ක පුතා එවන්න තිබුණා. එහෙමත් නෑනේ.
සති දෙක තුනක්ම පාරට වෙලා ඕප දූප කතා කරමින් හුරුවෙච්චි අමුතු ජීවිතේ හින්ද ගෙදරට වෙලා උදේ වරුවේ ඉන්ඩ හිතෙන්නෙම නෑ.
ඒ නිසාම මම පහුවදා උදේ සිරිත් පරිදි පුතාව මොන්ටිසෝරියට කැදවාගෙන ගියේ හුඟාක් සතුටින්.
පුතාව තියලා ආපහු බස් හෝල්ට් එක ළඟට එනකොට දුර තියාම මගේ දෙස බලාගෙන ඉන්න අක්කාගේ මුහුණ ඒ තරම් හොඳ නැති බව මට තේරුණා.
මම කෙළින්ම ගියේ අක්කා ළඟට.
“ඇයි ඊයේ ආවේ නැත්තේ?”
“මම ආවේ නැතිවට මහත්තය එක්ක පුතාව එව්ව!”
“අනේ… ඔයාගේ මහත්තය මෙහාට ආවද…! මට බලන්න බැරිවුණානේ…! ඒත් මම බලාගෙන හිටියේ ඔයා එයි කියලා… මේ ආ…! හරි හරි! අර තැපැල් නයින්ටියක ආවේ…! එයා දරුව භාරදීලා යනකොටයි මම දැක්කේ… ඒත් මම කල්පනා කෙරුව කවුද මේ අලුත් මනුස්සයෙක් ඇවිත් යන්නේ කියලා! ඇත්තම කියන්ඩ… ඒ ඔයාගේ හස්බන්ඩ්ද?”
“ඔව්!”
“දැක්කද බොරු කියන හැටි. එයා ඔයාට වැඩිය ගොඩාක් වයසයිනේ. තට්ටෙකුත් තියෙනවා.”
“ඇත්තමයි! ඒ මගේ මහත්තය තමයි තැපැල් නයින්ටියෙ ආවේ..!”
“එයා මොනවද කරනව කිව්වේ….. ඕආ….! ඔෆිස් එකක වැඩ කිව්ව නේද….! …. කොහොමද එයා හම්බවුණේ…”
“ගෙවල්වලින් කතා කරලා.”
“ඒක තමයි දෙන්නගේ වයසයි, පෙනුමයි දිහා බලපුවාම ලව් එෆයාර් එකක් වෙන්න බෑ කියල තේරෙනවා. හරි ඒ කතාව පැත්තකින් දාමුකෝ. මම ඊයේ දවසම හරිම පාළුවෙන් හිටියේ ඔයා නැතිව. මෙච්චර දවසක් රවුම් ගැහුවට මොකද ටෙලිෆෝන් නොම්බරේවත් අරගෙන තිබුණේ නෑනේ…!”
“බින්දුවයි පහයි දෙකයි….”
“ඒ ලෑන්ඩ් ෆෝන් නොම්බරයක්නේ. මම ඉල්ලන්නේ ඔයාගේ සෙල් නොම්බරේ…!”
“අනේ මම ෆෝන් එකක් පාවිච්චි කරන්නේ නෑනේ…!”
“මෝඩි! එහෙම කියන්න එපා! සෙල්ෆෝන් එක කියන්නේ දැන් මිනිසුන්ට අත්‍යවශ්‍ය දෙයක්!”
එදා දවසේ ටවුමට ගිය විගස ඇයගේ මුල්ම ක්‍රියාව වුණේ මට ජංගම දුරකතනයක් අරගෙන දෙන එක. මේක දැන් කොහොමද පාවිච්චි කරන්නේ. හංගගෙන ඉන්නත් බෑ. කෝල් එකක් ආවම මහත්තය දැන ගනියි. ඇත්තම කියන්ඩ පුළුවන් අක්ක කෙනෙක් අරගෙන දුන්නා කියලා. ඒත් කවුද පිළිගන්නේ එහෙම කතාවක්. ඔව්! පිළිගත්තේ නැතත් ඇත්තම කියන්න වෙනවා.
බොරුවට දහ අතේ කල්පනා කෙරුවේ. එහෙම කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ. මහත්තය ෆෝන් එක අතට අරගෙන හොඳට හරව හරව බැලුව.
“හොඳ ෆෝන් එකක්. පොඩි එකාට එහෙම අහුවෙන්ඩ තියන්න එපා… කඩල දායි..!”
එච්චරයි එයා කිව්වේ.
ආයේ දවසක් අක්ක සාරි තෝරන අතරේ මම නිකමට වගේ බැලුව පුතාට ඇඳුම් කිහිපයක්. අන්තිමට සිද්ධ වුණේ පුතාට සූට් දෙකයි මට සාරි දෙකයි. බිල අක්කාගෙ අතින්. හිතාගන්නම බෑ ඇයි අපි වෙනුවෙන් මේ තරම් වියදම් කරන්නෙ කියල. එයා නම් හැම තිස්සෙම කියන්නේ මම ගැන දුකයි, මම මේ විදියට ඉන්ඩ ඕන කෙනෙක් නෙවෙයි කියල. බඳින්ඩ ඉස්සරවෙලා මුණ ගැහුණානම් චිත්‍රපට නිළියක් කරනවලු. මට කිසිදෙයක් කතාකරන්න ඉඩ තියන්නෙ නෑ.
අදත් එහෙමයි. බිල ගෙවල එළියට ආව වෙලාවේ ඉඳලා ටෙලිෆෝන් එක කනේ තියාගෙන සෑහෙන වෙලාවක් තිස්සේ කවුදෝ එක්ක කතාවක්. කතා කරන්නේ පුදුම සන්තෝසෙකින්.
“….. අපි ඉන්නේ මයුරා එක ඉස්සරහා….! …. හරි මම එන්නම්. ඔයාට බෑ කියන්නේ නෑනේ. මේ ඒක නෙවේ. ඔයාට අඳුරල දෙන්න මගේ යාළුවෙකුත් ඉන්නවා….! ඔව් ඔව් එයත් එක්කගෙන එන්නම්….! ෂුවර්! ආයේ… මම බොරු කරල තියෙනවද….!”
අක්ක මගේ අතින් අල්ලගෙනම ඉක්මන් ගමනින් යනකොට අලුත්ම ජීප් එකක් ඉස්සරහ නතර කරල තියෙනව පේනව. මට පිටිපස්සේ ෙදාර ඇරල දීලා එයා ඉස්සරහ වාඩි වුණා. මට මතකයි එක දවසක් අක්ක එයාගේ මහත්තයව අඳුරල දුන්නා. හැබැයි මෙයා… එයා වගේ නෙවෙයිනේ… එහෙමනම් එයත් මාව අඳුරගෙන මගෙත් එක්ක කතා කරනවනේ.
මහත්තය වෙන්ඩ ඇති. මට අමතක වෙලා වෙන්ඩ ඕන. නැත්නම් පිට කෙනෙක් නම් අක්ක ඔය විදියට ළංවෙලා කතා කරකර යන එකක් නෑ.
අපි ගියේ විශාල වත්තක් මැද්දේ තිබුණ තරමක් පාළු ස්වභාවයක් ඉසිලූ හොටෙල් එකකට.
බැස්සට පස්සේ තමයි දන්නේ මේ අක්කගේ මහත්තයා නෙවේ කියලා. අක්කාගේ හොඳම හිතවතෙක්ලු. එයාගේ තමයිලු මේ හෝටලයත්.
අක්ක මාව අඳුන්නල දුන්නා. එයා බොහොම සුහදශීලීව මාව පිළිගත්තත් වැඩිපුරම කතාවට වැටුණේ අක්කත් එක්ක.
“අපි දෙන්නම පොඩි එකාව මොන්ටිසෝරියට දාපුවාම පැය තුනක් විතර නිකම් ඉන්නව. මොනව හරි තිබුණොත් කෝල් එකක් දෙන්ඩ. මෙයාට නම් පොඩි එකා ගත්තට පස්සේ හවස තුන විතර වෙනකලුත් ඉන්න පුළුවන් වෙයි… මම ගැන ඉතින් අලුතෙන් කියල දෙන්ඩ ඕන නෑ. ඕන වෙලාවක රෙඩි කියල ඔයා දන්නවානේ…!”
හෝටලය ඇතුළට කැඳවාගෙන ගිහින් බීම වීදුරු දෙකක් බොන්ඩ දුන්නා. අක්කට සෙම වැඩියි කියලා කූල් බීම එක බිව්වේ නෑ. ඒකත් අරගෙන හෝටලය ඇතුළටම ගියේ කෝපි එකක් ඉල්ලගෙන බොන්ඩ කියලා.
මටත් ගාණක් නෑ. කොහේ හරි නිකම් ඉඳගෙන ඉන්න එකනේ. අක්ක එනකම් මම සැටියේ තිබුණ පත්තර සඟරාවලින් බාගයක් විතර ඇද ඇද කියෙව්වා. කීප දෙනෙක් මම ඉන්න තැනින් එහාට මෙහාට ගියත් ඇයි ඉන්නේ කාව හම්බ වෙන්නද, මොනවද ඔය අදින්නේ, ඒ මොකක්වත් නෑ. හරි වැඩක්නේ. හෝටලේ අයිතිකාරයගේ වාහනේම ආපු කෙනාට කවුරු මොනව කියන්නද?
පැය භාගයකටත් වැඩිය ගෙවුණට පස්සේ තමයි අක්ක එළියට ආවේ. එයාට මම එළියේ ඉන්නව කියලා අමතක වුණාලු!
කොහොම වුණත් මොන්ටිසෝරිය ඇරෙන්න කලින් හෝටලේ මහත්තයා එයාගේ ජීප් එකෙන්ම අපි දෙන්නව ආපහු බස් හෝල්ට් එක ළඟටම ගෙනත් දැම්මා.
අද දවසේ වෙච්ච දේවල් ගැන ආපසු කල්පනා කරල බලනකොට දැනෙන මොකක් හෝ නොතේරෙන අමුතු දෙයක් සිද්ධවෙමින් තියෙනව කියලා.
ඇයි ඒ අක්කා මෙච්චර මට උදව් කරන්නේ. මවුපියෙක්වත් කරන්නේ නැති විදියට. මට සාරි! දරුවට ඇඳුම්!! හිතාගන්ඩ බෑ. සම්පූර්ණ ඔළුවම අවුල් වෙලා වගේ.
ඒත් ඒ සිතුවිලි සේරම සුනු විසුනු වෙලා ගියේ උදේම පුතාට අලුත් සූට් එක ඇන්දෙව්වට පස්සේ. අනේ ඒ ඇඳුමට කොයි තරම් හැඩද මගේ කොලු පැටියා. ඔය සූට් එකටම හරියන සපත්තු දෙකකුත් තිබුණානම් වටිනාකම කියල නිම කරන්න බෑ. සමහර විට පුතාව අද දැක්කාම අක්ක සපත්තු දෙකකුත් අරගෙන දෙන්න බැරි නෑ.