කාන්තා රැකවරණයට රිවෝල්වරයක්

ඉන්දියාවේ ‘කන්පුර්’ නගරයේ, ‘ඉන්දියන් ඕර්ඩ්නන්ස්’(IOF) අවි කම්හල කාන්තාවන්ගේ ආත්මාරක්ෂාව සහතික කිරීම සඳහා පාවිච්චි කළ හැකි ගිනි අවියක් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත.

එය කාන්තා රැකවරණය සඳහා නිපදවුන පළමු ඉන්දියානු ගිනි අවියයි.

2012 දෙසැම්බර් මාසයේ දිල්ලි සමූහ දූෂණ අපරාධයට වසරක් පිරීමත් සමඟ හඳුන්වා දෙනු ලැබුණ නව සැහැල්ලු රිවෝල්වරය, එම දුෂණයට ගොදුරු වූ ‘නිර්භයා’ ශිෂ්‍යාවට පිදෙන උපහාරයක් හැටියට නම් කරනු ලැබ තිබෙන්නේ ‘නිර්භීක්’යනුවෙන්.

‘ටයිටේනියම්’ ලෝහයෙන් නිපදවා ඇති ‘නිර්භීක්’බරින් ග්‍රෑම් 500 ක සැහැල්ලු රිවෝල්වරයකි. එය කාන්තාවකට සිය අත් බෑගයේ තබා ගත හැකි මට්ටමිනුයි සැලසුම් කරනු ලැබ තිබෙන්නේ.

‘නිර්භයා’ නාමයෙන්

IOFසමාගමේ ප්‍රධාන කළමනාකරු වන අබ්දුල් හමීඩ් පවසන්නේ,’නිර්භීක්’ රිවෝල්වරය සඳහා ලද ඇණවුම් වලින් 80% ක් ම ගිනි අවි බලපත් හිමි කාන්තාවන්ගෙන් ලැබුණ බවයි.

දිනපතා පොදු ප්‍රවාහන සේවා මගින් ගමන් බිමන් යන කාන්තාවන්ට මුහුණ දීමට සිදු වෙන අතවර වලින් බේරී සිටීමට අවශ්‍ය රැකවරණය රිවෝල්වරයකින් ලැබෙනු ඇතැයි බොහෝ ඉන්දියානු කාන්තාවන් විශ්වාස නො කරන බවයි පෙනී යන්නේ.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනියක් මෙන්ම ලේඛිකාවක් ද වන තිලගාවතී BBC යට අදහස් දක්වමින් කියා සිටියේ, රිවෝල්වරයක් මගින් කාන්තා රැකවරණය සහතික කළ නො හැකි බවයි.

“ඇතැම් පුද්ගලයන් හිතන්න පුළුවන් මෙය කාන්තාවන්ට ආරක්ෂක උපකරණයක් වේවි කියල.මේක මුදල් ඉපයීමේ ව්‍යාපාරයක්” විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනිය පවසන්නීය.

එසේම ගිනි අවි බලපත් හිමියන්ට පමණක් මිළට ගත හැකි මෙවැනි රිවෝල්වරයක් ලබා ගැනීම පහසු කාර්යයක් නොවන බවත් තිලගාවතී පෙන්වා දෙන්නීය.

බලපත් අවශ්‍යයි

ඉන්දීය කාන්තා රැකවරණය වෙනුවෙන්.
“මේ රිවෝල්වරය ලබා ගන්න නම් ගිනි අවි බලපතක් තියෙන්න ඕන. බලපත්‍රයක් ලබා ගැනීම පහසු නැහැ. බලපත් අවුරුදු පතා අලුත් කළ යුතුයි.”

‘‘නිර්භීක්’ රිවෝල්වරය වට හයක පතරොම් ගබඩා කළ හැකි ගිනි අවියකි. පසුගිය ජනවාරි හය වෙනිදා වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබුණ ‘නිර්භීක්’ රිවෝල්වරයේ මිළ ඉන්දියානු රුපියල් 1,22,360 කි.

එය පහසු මිළක් නොවන බවයි, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනී තිලගාවතී පවසන්නේ.

“මේ මිළ ගණන් අනුව එපමණ මුදලක් වැය කළ හැකි කාන්තාවන්ට දැනටමත් අවශ්‍ය රැකවරණය ලැබෙනවා. මෙය සල්ලිකාරියන්ට පමණක් මිළ දී ගත හැකි අවියක්” තිලගාවතී පෙන්වා දෙන්නීය.

‘නිර්භීක්’ රිවෝල්වරය නිපදවීම සහ විකිණීම තහනම් කළ යුතු බවයි, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනී තිලගාවතී කියා සිටින්නේ. එසේ නැත්නම්, ගිනි අවි නීති ලිහිල් ඇමෙරිකා එක්සත් ජනපදය සහ වෙනත් රටවල පවතින අනතුරුවලට ඉන්දියාවත් ගොදුරු විය හැකි බවයි, ඇය කියා සිටින්නේ.

BBC

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...