-ශ්‍රී ලංකාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් නවසීලන්තය කඩුලු 3ක ජයක් අද වාර්තා කළේ ය.
ක්‍රයිස්චර්ච්හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජෙලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.
ලකුණු 82ක් තුළ ශ්‍රී ලංකා පළමු කඩුලු 4 බිඳ වැටිණ.
අනතුරුව මහේල ජයවර්ධන සහ ලහිරු තිරිමාන්න ශ්‍රී ලංකා පස්වැනි කඩුල්ලට ලකුණු 73ක සබඳතාවක් ගොඩනැගූහ.
තිරිමාන්නට රැස් කළ හැකිවූයේ, ලකුණු 23ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් එක් කළ මහේල ජයවර්ධන ලකුණු 104ක් රැස් කළේ, සිය 18 වැනි එක්දින ශතකය ද සමගිනි.
ජීවන් මෙන්ඩිස් ලකුණු 23ක් රැස් කළේ ය.
ශ්‍රී ලංකා පිතිකරුවන් 6 දෙනෙකුට ම ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි විය.
වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් මැක්ලෙනගන් ලකුණු 36ට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.
පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 218ක් රැස් කළේ ය.
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස මාටින් ගප්ටිල් ලකුණු නොලබා දැවී ගියේ ය.
බ්‍රෙන්ඩන් මැකලම් සහ කේන් විලියම්සන් අතර දෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 63කි.
27 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ මැකලම් ලකුණු 51ක් රැස් කළේ ය.
කොරී ඇන්ඩර්සන් සහ නේදන් මැකලම් නවසීලන්ත සත්වැනි කඩුල්ලට ලකුණු 60ක සබඳතාවක් ගොඩනැගූහ.
දෙවැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ ඇන්ඩර්සන් ලකුණු 81කි.
ටී.එම්. ඩිල්ෂාන් සහ නුවන් කුලසේකර කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් විය.
පන්දුවාර 43ක් අවසානයේ කඩුලු 7ක් දැවී තිබියදී නවසීලන්තය ජයග්‍රහණය වාර්තා කළේ ය.